Monday, November 28, 2011

ඇල්ල උඩ හොල්මනක් ඉන්නවා !!! (03 කොටස )

මායාවක් කියන්නේ මොකද්ද? සරල තේරුම ගත්තොත්... තාර්කිකව අපිට නිර්වචනය කරන්න බැරි දේ!  අපි දන්නා ගොඩක් මායාවන් වලට විද්‍යාත්මක නිර්වචන තියෙනවා.. මේ ලෝකේ තවත් මායාවන් තියෙනවා විද්‍යාත්මකව ඔප්පු කර ගන්න බැරි උන.... අපි එහෙම මායාවක් දැක්කොත් ?!

'ඇල්ල ට්‍රිප් එක'

මේ ට්‍රිප් එක මගේ පවුලේ අය අදටත් මතක් කරන්නේ  'ඇල්ල ට්‍රිප් එකකියල.... ගිය අවුරුද්දේ අගෝස්ත්තු මාසේ අපි ගියා දවස්  ට්‍රිප් එකක්... නමුත් වාසනාවට දවස් න් එන්න සිද්ධ උනා!



  දිය ඇලි...පන්සල්...යන පාරේදී හම්බ වෙන ඕනෙම විශේෂ දෙයක් බලමු කියල එකග වෙලා තමයි ට්‍රිප් එක ලෑස්ති කර ගත්තේ... ලොකු මාමත් එකග උන ආකාරයටම මග දිගට හම්බ උන අති විශේෂ පෙට්ටි කඩයක් වත් මග නෑර... මහා එපා කරපු ගමනකින් පස්සේ නැවතුනේ 'දුන්හිද ඇල්ල' බලන්න කියලා කලින් වෙන් කරගෙන තිබුන ඇල්ලට කිට්ටු නවාතැනෙන්...



කට්ටියම මහන්සි ඇරගන්න හිතාගෙන තම තමන්ගේ කාමර වලට වැදුනා... නාලා කරලා විවේකයක් අරන් හවස 4 ට විතර ඇල්ල බලන්න ගියා.... හවස් යාමේ වුනත් ඇල්ල පහල වතුරේ බැහැගෙන සැහෙන්න සෙනගක් ඉන්නවා…. දුන්හිද ඇල්ල මගේ මතකේ තිබුන තරම් වතුර කන්දරාවක් නෙවෙයිනේ කියලා මට හිතුනේ ඇල්ල දැක්කම.... ඇල්ල කෙට්ටු වෙලා! 



අපිත් ඊලග දවසේ නාන්න එමු කියලා කථා වෙලා නවාතැනට අවා.... කට්ටියම රෑට කලා බිලා රෑ 11 විතර වෙනකන් හිටියා කතා කර කර.... වෙලාව රෑ 12 ට වගේ ලං වෙද්දී ඊලග දිනයේ වැඩ සටහනත් කතා කරගෙනම කට්ටිය තම තමන්ගේ කාමර වලට වැදිලා නිදා ගත්තා.  මහ ගොඩක් සිතල නැති උනත්, සෞම්‍ය දේශගුණයක් තිබුනේ… හොද නින්දකට හොදටම ප්‍රමාණවත්….  මම නම් හීනයක් වත් දැක්කේ නැහැ..... මහන්සියට වැටුන ගමන් නින්ද ගියා....



මමත් පොඩි පුංචිගේ ලොකු දු, දිලූ ත් හිටියේ එක කාමරේක.... මහා රෑ ජාමේ වෙන්න ඇති අපේ කාමරේ දොරට තට්ටු කරනවා වගේ ඇහිලා මාව ඇහැරුනා.... පාන්දර වෙද්දී සීතලත් වැඩි වෙලා… මම යාන්තමට ඇහැක් ඇරලා බැලුවා… කාමරේ ඇදන් දෙක මැද්දෙන් තියෙන side table එකේ lamp එකක් on  කරලයි තිබුනේ.…එකේ ලා කහ පාට එළියෙන් මම දැක්කා දිලූ කාමරේ දොර අරිනවා.... එයාගේ ඇද, දොරට කිට්ටුවම තිබුන නිසා එයාව ඇහැරෙන්න ඇති මට කලින්....


දොර අරින කොටම සීතල හුලගක් ඇවිත් මගේ මුණේත් වැදුනා... තවත් ටිකක් පොරෝනය යටට ගුලි වෙන ගමන් මම දිලුගෙන් ඇහුවා " කවුද"  කියලා... එවෙලේ එයා කිවුව දේ මට ඇහුනේ නැහැ... දොර වහලා එයා ඇදට ආපු නිසා මමත් එහෙම්මම නින්දට වැටුනා.... හොදටම නින්ද ගිහින්... නින්දෙත් ගැබුරුම නින්දට වැටෙන වෙලේ තවත් පාරක් හීනෙන් වගේ මට ඇහෙනවා සද්දයක්!


නින්දට ඇති ලෝබ කමට ඔහේ ඕනේ එකක් කියලා මම නිදාගෙනම හිටියා…. ටිකකට නින්ද ගියාද මන්දා.... අයෙත් ලාවට වගේ ඇහෙනවා කලින් සද්දේම... ඇස් පියාගෙනම මම සද්දේට කන් දීලා හිටියා… මට හිතුනේ ‘ජනේලේ ළග මොකක් නමුත් දගලනවා වගේ’… එළි වෙන්නත් කිට්ටු ඇති කියලා මට හිතුනා…. සතෙක් වෙන්න ඇති… මට  බැහැ නැගිටින්න කියලා හිතෙන්ම කියලා පොරෝනෙත් ඇදගෙනම අනිත් පැත්ත හැරුනා නිදා ගන්න... ලාවට ඇස් ඇරිලා තිබුන එවෙලේ මම දැක්කා  දිලූ මගෙ දිහා බලන් ඉන්නවා ඔලුවත් ටිකක් උස්සගෙන…. 


මම ඇස් ඇරලා බැලුවා එයා දිහා… එයා මට ඔලුවෙන් පෙන්නුවා ජනේලේ පැත්ත…. එයාටත්  සද්දේ ඇහිලා.... "හරි වදයක් නේ මේක"  කියලා ලාවට අපු කේන්තියක් එක්ක මම නැගිට්ටා ඇදෙන්... දිලුත් නැගිට්ටා මාත් එක්කම.... තද දම් පාට ඝනකම් තිර රෙදි වලින් වැහිලා තියෙන ජනේලෙන් එහා පැත්තේ එන සද්දේ බලන්න ලෑස්ති උනා අපි දෙන්නා... දිලු කාමරේ light ඒක දානකන් මම ජනේලේ පැත්තට ගියා… " නවාතැනේ භාරකාරයට කියන්න ඕනේ නිදා ගන්න ටිකවත් සැනසිල්ලේ නිදාගන්න බැහැ කියලා මේ ඉලවු සද්ද එක්ක"  කියන ගමන් මම ජනේලෙන් එළියේ light එකත් දැම්මා.... තිර රෙදි දෙපැත්තට ඇදලා බැලුවා… සද්දෙත් නැහැ කවුරුත් ඇත්තෙත් නැහැ!  



ජනේල් දොරත් ඇරියා ( French වින්ඩො ක්‍රමේට හදපු ජනේල් ) එළියට අඩියක් තියලා   බැලුවා.... එළියේ ලා සුදු පාටට ඝන මිදුම පිරිලා… වැඩි දුරක් පෙන්නේ නැති තරමට මිදුම ඝනකමයි… සිතල ඊට වඩා ඝන්කමයි…. කහපාට light එළිය කාමරේ ඉදලා අඩි 4 ක් විතර එළියට වැටිලා… හුලං සද්දේ ඇරෙන්න කිසිම දෙයක් නැහැ… හෙට නාන්නත් ඉන්න එකේ වැඩි වෙලා එළියේ ඉන්න හොද වාතාවරණයක් නෙවි... දෙන්නම ජනේලේ වහගෙන ඇතුලට ආවා…light ඔෆ් කරලා, තිර රෙදි ඇදලා ඇදවල් වලට පැනලා උණුසුම් පොරෝන වලට ගුලි උනේ ඇගේ එතුන සිතල එලවන්න… අපි ඇස් වහගෙන නිශ්ශබ්දව කන් දීගෙන ඇදවල් වලට වෙලා හිටියා... දන්නෙම නැතිව අපිට නින්දත් ගිහින්!  



උදේ 8:30 විතර උදේ කෑමට ගිය වෙලේ මම ඇහුවා දිලුගෙන් "රෑ කවුද අවේ"  කියලා… කවුරුත් නැහැලු! සද්දෙට දොරට ගහපු නිසාලු එයාට ඇහැරුනේත්..... මගේ කනට කරලා එයා කියනවා  "අපේ නඩේ මෝඩයෙක් තමයි ඕවා කරන්න ඇත්තේ, අපිව බය කරන්න හිතාගෙන "... අද රෑටත් තට්ටු සෙල්ලම’ කලොත් හොද පාඩමක් උගන්න අදහසත් හිතේ තියන් අපි උදේ කෑමත් අරන් දවල් කෑමට එන්න බලාගෙන, නාන්න යන්න ලෑස්ති උනා…


නාන්න අවශ්‍ය ඇදුම් ඇදගෙන, පිහිද ගන්න තුවා අරන් අපි ලෑස්ති වෙද්දී, වැඩිහිටි පිරිමි පාර්ශවේ අයත් මුණවල් බේරී කරගෙන යන්න ලෑස්ති උනේ, බවලතුන්ගේ බලවත් විරෝධය නිසා වාහනේට පටවා ගත්ත ‘බිම බෝතල්’ නැවතත් කාමර වලට ඇරලන්න සිද්ධ වෙලා නිසා....



ඇල්ල පහල එදා උදේ වරුවේ සෙනග නම් එතරම් හිටියේ නැහැ... අවුවත් එතරම් සැර නැහැ හුළග නිසා...... නාලා කළු වෙන්න නම් කියාපු දේශගුණේ.... වතුර දැක්කම හැමෝටම ඇති වෙන අමුතු සතුටත් කටවල් වලින් පනිද්දී අපිත් වතුරට බැස්සා.... සීතල වතුර! එත් දණහිස් ගාවටවත් වතුර නැ..... පැය කාලක් විතර වැලි එක්ක වතුර ටිකකට පොර කාලා බැරිම තැන ඔක්කොමල තීරණේ කලා ඇල්ල උඩට යන්න...!



දිය ඇල්ලේ හෝ හෝ සද්දේ කන ගාව ඇහෙන මානෙට ලං වෙද්දී අපිට හම්බ උනා නාන්නම කියාපු අපූරු වතුර වලවල් සහිත රූස්ස ගස් කොළන් එහෙම තියෙන සුන්දර තැනක්… වැඩිය සෙනගත් නැහැ...5 ක් 6 ක් වගේ ඉන්න ඇති... නිදහසේ නාන්න පුළුවන්… හැමෝම එහෙම හිතන්න ඇති... ඒ තරම් නිස්කලන්කයි... කාලෙකට ඉහතදී ගලපු මහා වතුරට ගෙවුන කළු ගල් වටකරගෙන හොද තැනක් බලලා අපිත් බැස්සා වතුරට… 



විනෝද සාගරේ වගේ කාලේ ගත වෙලා යද්දී …සිතල වතුරෙන් පෙගිලා, ඇගවල් හිරිවැටිලා යනකන් වතුරේ නටපු අපිට.... මොනා කලත් ආසාවේ ඉවරයක් නැති මේ මනුස්ස හිත සනසන්න, අපි නාපු තැනට ටිකක් ඉහලින්  තිබුන ඇල්ලෙන් වැටෙන කුඩා දිය ඇල්ලක් ලගට යන්න සිද්ධ උනා..!



කකුලක් තියන්න බැරි තරම් දිය සෙවල බැදුන ගල් එක්ක දගලන්න හිත හදා ගත්ත අපි ටික දෙනෙක්  'වැටිලා බෙල්ල කඩාගන බැ' කියලා මගදීම පරාජය බාර ගත්ත අය හැරිලා යද්දී, කොහොමෙන් හරි පොඩි ඇල්ලට ලං කලා… ගියාට මොකද ඒ හරියේ කුඩල්ලන් විමානයක්!  ආපු මෝඩ කමට ඔන්න ඔහේ ටිකක් නාලම යනවා කියලා හිතාගෙන අපි කුඩා ඇල්ලට ඔලුව අල්ලාගෙන නෑව... අපි නානා හිටපු තැනටත් වඩා සීතලම සිතලයි එතන වතුර...



ඉතාම සුළු වෙලාවකින් වැඩිහිටි පිරිමි පාර්ශවේ අය ඇල්ල උඩ තියෙන ගල් තලාවක් දිහා බලන් ඇස් ලොකු කරන් ඉන්දැද්දී, ලොකු බාප්පා "යමු යමු ඔය ඇති " මහා හදිස්සියකින් වගේ අපිට යන්න කතා කලා... අපි කටවල් ඇරන් බලන් ඉදිද්දී බාප්පා අයෙමත්  "දැන් ඇති නෑවා !! ඉක්මනට පහලට බහින්න!" කියලා හරිම සැරෙන් පල්ලම් බහින්න අණ දුන්නා...



කකුලුත් හුරගෙන ආවේ අපරාදේ කියලා මුමුණ මුමුණ පහලට බැස්ස අපි නහයෙන් අඩ අඩා නඩේට එකතු වෙද්දී.. පහල හිටිය නඩේ වැඩිමහල්ලනුත් එකතු උනා උඩ බැලිල්ලට... ඔක්කොමල ගේ මුණවල් වල තියෙන්නේ බය වෙච්ච බැල්මක්! ගැහැණු  පාර්ශවේ අයගේ මුණවල් ඇද වෙද්දී  "නැ! ස්ස්ස්! අනේ! ඉක්මනට යමු අනේ " වගේ දේවල් තමයි අපිට ඇහුනේ…



මොකද්ද මේ හදිස්සිය! වැඩිමහල්ලන් රොක් වෙලා බාප්පා අත දික් කරපු පැත්ත බල බල යම් දෙයක් කතා කරද්දී අපිත් බෙල්ල දික කර ගෙන උඩහ පැත්ත විපරම් කලා…මුකුත් නැනේ… එක පාරටම ටිකක් එහායින් නානා හිටපු ගැහැණු කීප දෙනෙක් යටි ගිරියෙන් කෑ ගහගෙන ගල් දිගේ වැටි වැටි දුවගෙන වගේ ඇල්ල පහලට බැස්සා… ඒ ගැණු අයගේ කෑගැහිල්ලත් එක්කම නිරායාසයෙන්ම අපි ඇතුළුව නානා හිටපු ඔක්කොමල්ලා ගැහෙන හදවතින් පහලට බහින්න ගත්තා… 


අපි නාපු තැන පහු වෙනවත් එක්කම ලොකු නැන්දා මහා සද්දෙන් කෑ ගැහුවේ අපේ බය දෙගුණ කරවලා... ඒ කිට්ටුව සිටි අපි කීප දෙනෙක් හැරිලා බැලුවා නැන්දා හිටපු දිහාව...නැන්දා බිම වැටිලා! මාමලා දෙන්නෙක් එයාව උස්සනවා..ඊට පිටිපස්සෙන් ගල උඩ කෙනෙක් හිටන් ඉන්නවා!!!


මගේ කකුල් දෙක ගැහෙන්න ගත්තා දැකපු දේට... මම දැක්කේ මිනිහෙක් ගල උඩ හිටන් ඉන්නවා වගේ. එත් මට අදටත් විශ්වාස නැහැ මම එහෙම දෙයක් ඇත්තටම දැක්කද කියලා එවේලේ.  මම දැක්කේ විනිවිද පෙනෙන හෙවනැල්ලක් වගේ මනුස්ස රුපයක් හැඩේට හැදුන චායාවක්! ඒ මොහොතේ මගේ සිහිය විකල් වෙලා වගේ මට දැනුනා… මගේ කකුල් දෙක මාවත් අරන් පල්ලම් බැස්සේ මට වෙන දෙයක් හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර... 


     

"පිටි පස්ස බලන්න එපා! ඉස්සරහ බලාගෙන බහිනවා ඔක්කොමල ඉක්මනට!" මාමලා අණ දිගෙනම අපිව ඉස්සර කරගෙන පුළුවන් තරම් වේගෙන් ගස් ගල් අස්සෙන් අපිව බැස්සුවා... අපි බැස්සට වඩා ලිස්සලා වැටුනා... උඩට නගිද්දී බොහොම පරිස්සමෙන් නැග්ග අය බැස්සේ නම් කකුල් අත පය සිරිලා ලේ ගලද්දී... පහලට බැස්සේ කොහොමද කියලා මට මතක නැහැ තාමත්... පහලටම බැස්ස අපි කෙලින්ම ගියේ වාහනේ නවත්තල තිබුන දිහාවට.. එක මනුස්සයෙක් කෑගහලා කාටද කිවුවා "ඇල්ල උඩ හොල්මනක් ඉන්නවා"  කියලා... තැන් තැන් වල මිනිස්සු එකතු වෙලා කතා කර කර ඉන්නවා අපි දැක්කා... සමහරු මොකද්ද උනේ කියලා අපෙන් ඇහුවත් උත්තර දෙන්න වත් නොනැවතී වාහනේට නැගලා අපි අවා නවාතැනට... !



නවාතැනට ආපු අපි කාමර වලට වැදිලා ඇගපත හෝදගෙන තුවාල වලට බෙහෙත් දාගෙන.. ලොබි එකට එකතු වෙලා වුන දේ ගැන කතා කලා... අපේ කිහිප දෙනෙක් දැකලා තියෙන්නේ විරූපී මුණක් අග පුරා තුවාල තියෙන මිනිහෙක් හැඩේ හොල්මනක් ... තවත් කීප දෙනෙක් දැකලා තියෙන්නේ ඔරවාගෙන වගේ ඉන්න විරූපී මිනිස් බාගයක්!  මම දැක්කේ විනිවිද පෙනෙන චායාවක්...! මම දැක්ක දේ  කවුරුත් දැකල නැහැ ....එවෙලේ මට හිතුනේ ලොකු දෙයක්, ජිවිත කාලෙටම හරියන්න බය වෙන්න තිබුනා අනිත් අය දැකපු දේවල් දැක්ක නම් කියලයි...  


දෙන්නෙක් බලපු නැති නිසා මුකුත් දැකලා තිබුනේ නැහැ ... එදා දවසම ගැහැණු පිරිමි භේදයකින් තොරව ඔක්කොමලා භය වෙලා හිටියේ උපරිමේට... දැක්ක අයට වඩා නොදැක්ක අය අහපු දේවල් දකින්න උනොත් කියලා බයෙන් ගැහි ගැහි තමයි හිටියේ.. එත් ගෙවෙන්න තියෙන රැය ගැන කාටවත් අමුතු බයක් නම් තියෙන්න නැතිව ඇති...!


අපි දැක්කේ එකම හොල්මන වෙනස් විදිහටද? නැත්තන්, අපි හැමෝම බය උනේ අපි හැම කෙනාගේම  හිතේ එකම විදිහට එකම වෙලාවේ ඇති උන දෘෂ්ටි මායාවකටද? මේවා අදටත් උත්තර නැති ප්‍රශ්ණ... 


"ඇල්ල ළග ඉදලා හොල්මනක් අපේ පස්සෙන් ආවද? නැත්තන් හොල්මනක් අපිත් එක්ක ඇල්ල බලන්න ගියාද?" 


4වෙනි පොස්ට් එකෙන් හමුවෙමු...!! 


Saturday, November 26, 2011

හොල්මන් ද මනසේ සෙලවීමක්ද?? (02 කොටස )

හොල්මන් කතාවේ 2

                                (මේක මම නෙට් එකෙන් හොයා ගත්තු හොල්මන් pic එකක් )
          

මාස 3 කට කිට්ටු කාලයක් සැනසිල්ලේ හිටියා... පෙනිලා නොපෙනෙන අයගෙන් කරදරයක් නැතුව.....එත් පෙරේදා ඉදන් පටන් ගත්තා පරණ කරදර අයෙමත්...! මේ වෙන දේවල් මනසේ සෙලවීමක් විතරක් වෙනවා නම් මම වඩා කැමතියි...!! එත් ඇත්ත, පේන දේට වඩා, පොත්වල තියෙන විදිහට වඩා වෙනස්. ගොඩක් වෙනස්...! භයානකයි! ගුප්තයි! අදුරුයි! 


දවස 11/21/2011 : උදේ 7:30….

උදේ ඉදන් විවේකයක් නැතිව වැස්ස වැටුන දවසක්.... බහුතරයක් අපි වැඩ පටන් ගන්නේ 'සදුදා' කියන්නේ මහා එපා කරපු දවසක්' ගානට දාලා නේ... වැස්සත් නිසා, මටත් තවත් එපාම උන දවසක් උනා... ඇග හිරිවැටෙන සීතල…. ගෙදර වැඩ ටික ඉවර කරලා.. උදේට කාලා, හිත සැනසෙන්නත් එක්ක හොද රස්නෙට ලොකු කොපි කෝප්පයක් හදාගෙන උඩට ඇවිත් ,වේග රිද්ද්ම සින්දු ටිකක් තෝරලා දාගත්ත ඇහෙන නැහෙන ගානට… වදෙන් පොරෙන් වට පිටාව ලෑස්ති කරගෙන පටන් ගත්තා වැඩ ටික කරන්න…..


8:15 යි වෙලාව.... ආපු call එකත් answer කරලා මම අයෙත් වැඩ....තවත් පැයක් වගේ කාලයක් ගත වෙන්න ඇති... මට  ඇහැ කොනෙන් පේනවා බාත්රූම් එකේ දොර ඇරෙනවා වගේ… තිබුන සිතල double වෙලා ගිහින් මාව හිරිවැටිලා ගියා එක දැකල... උඩට ගත්ත හුස්මත් අල්ලගෙනම  බෙල්ල කරකවල බැලුව මොකද්ද උනේ කියලා....දැකපු දේ හරි… බලන් ඉන්දැද්දිම  බාත්රූම් එකේ දොර ඇරෙනවා.... Lock කරලා තිබ්බ දොරෙන් බාගයක්ම කිසිම සද්දයක් නැතිව ඇරුන! එකත් කලින් දා රැකදී උනා වගේ ඉබේ ඇරිලා ඉබේ වැහෙනකන්ද මන්ද මම බලන් හිටියා ඒ දිහා.. මුකුත් උනේ නැහැ....ටිකක් බලන් ඉදලා මම නැගිට්ට දොර වහල එන්න... දොරට අඩි 4 ක් විතර තියෙද්දී ....


දඩාස්!!!


කන ළග බෝම්බයක් පිපුරුව වගේ මහා සද්දෙන් දොර වැහුන... දොර වැහුන සද්දේ කන ඇතුලේන් දෝන් කාර දෙද්දී මාව විසි වෙලා වගේ ගිහින් බිම ඉන්ද උනා.... මගේ හර්දය වස්තුව කටින් එන්න තරම් වේගෙන් ගැහෙන්න ගත්තා එවෙලේ... දොර ගලවල මට ගැහුවා වගේ බිම වැටිලා දොර දිහාම බලන් හිටියා මම.....


එහෙම විනාඩි කීපයක් ඉන්න ඇති…. හොද සිහිය එනකොට මොළේත් පැදුනා වගේ.. මට හිතුන මම බලෙන් බය උනාද මන්ද කියලා... කොහොමත් මේ දවස් වල බය වෙන්න ticket අරන් වගේ නේ ඉන්නේ.... මහා වැස්සක් වැටෙන වෙලේ ලාවට හුළං එන්න විදියක් නැහැනේ.... මට හිතුන මේක හුළගට තමයි  ඇරෙන්න වගේම වැහෙන්නත් ඇත්තේ කියලා... 


හ්ම්ම්.. ඇති යාන්තන් වෙන මංගල්ලයක් නොවී එකත් හුළගක් උන එක හොදයි  කියලා හිතාගෙන බිත්තියක් අල්ලාගෙන නැගිටලා බාත්රූම් දොර සම්පුර්ණයෙන් ඇරලා බලලා දොර lock කරලා දැම්මා.. අයෙත් සුළි සුළගක් ආවත් ඇරෙන්න බැරි වෙන්න..... ! හිතත් නිදහස් කරගෙන ආයිත් වැඩ පටන් ගන්න ඉදගත්තා….       



තවත් පැයක් හමාරක් ගත වෙලා… 10:32 වෙලාව…. තව කොපි උගුරක් බොන්න හදනකොට දැක්කේ එකත් අඩියටම ඉවර වෙලා.... පහලට බැස්ස කොපි කෝප්පයක් හදාගෙන එන්න ... කේතලේ plug කරලා වතුර උණු වෙනකන්, මහ දොර ඇරන් ආලින්දයට ගිහින් ඉදගෙන එලිය බලාගෙන හිටියා.... සැරට වැහි වැටෙනවා ...වැස්ස අතරින් ලාවට පේනවා යෝධ උණ පදුරේ අතු බිමටම නැවිලා වතුර කැට වල බරට...... ලා අළුපාට පරිසරය දිහා බලන් හිටියත් නිදි මතයි වගේ…. 



එකපාරටම හිරිකඩත් එකතු කරන් වේගෙන් ආපු හුළගක් නිසා උන්නු තැනින් නැගිට්ටුනා මාව…. නිකන් ice වතුර එකකින් ගැහුවා වගේ…. බාගෙට තෙමුනා ඒ ටිකට.... සුළු මොහොතකින් දෙවෙනි පාරටත් මාවම එල්ල කරගෙන වගේ ආපු සීතල හුළග ඇගේ වැදිලා මාව වෙවුලලා ගියා.... මෙච්චර වෙලා උණුසුමට ඇදන් හිටපු ඇදුම් හිල් වෙලා ගිහින් වගේ…. තවත් හිරිකඩ වලට අහු නොවී ඇගට වැටුන වැහිබිඳුත් ගසල දාලා… ice වෙච්ච අත් දෙකට පිබ පිබ දොරත් වහ ගෙන මම ගෙට අවා... දොර වහන ගමන් මට හිතුනේ හුළගේ වේගේ වැඩි උනාද කියලා එක පාරටම!  දොර වහල හැරෙන කොටම....  මේ මොකද්ද! …..



ලණු කෑල්ලක් !??



අලුත් කොහු ලණු කෑල්ලක්! අඩියක් විතර දිග.... සාලෙට කොහෙන්ද ලණු කෑල්ලක් අවේ?.... උදේ අතු ගාලා කරලා තිබුන ගේ…. දොර ඇරගෙන එලියට යද්දී මේක මග ඇරුනේ කොහොමද?.. දැන් දොර ඇරපු වෙලේ හුළගත් එක්ක ගෙට වැදුන වත්ද? ….


හ්ම්ම්ම්ම්….. මම ලණු කෑ ල්ල අතට අරන් බැලුවා.... තෙමිලත් නැහැ.... එළියෙන් අවෙත් නැත්තන් මේක අවේ කොහෙන්ද?ටිකක් වෙලා බලන් හිටියා... මොකද්ද මීලගට මම කරන්නේ ....කරන්න දෙයක් නැහැ..... Address එක ලණු කෑල්ලෙන් අහන්න කියලද.... ලණු කෑල්ල අදාළ තැනට ගෙනිහින් දානකන්, කුස්සියේ කබඩ් එකක් ඇතුලට දාල වහලා කොපි එකත් හදාගෙන උඩට අවා....උඩට ඇවිල්ලත් මම කල්පනා කලේ කොහොමද ලණු කෑල්ලක් ගේ මැද වැටුනේ කියලයි... 


දැන් ඉතින් ඕක ඔලුව කණපිට හැරෙවුවත් මතක් නොවෙන දෙයක් නේ කියලා මතක් වෙලා ඒක අමතක කරලා මගේ වැඩේ කරන්න ගත්තා.... තවත් පැයක් හමාරක් ගතවෙද්දී.... වටේ පිටේ ඔක්කොම අමතක වෙලා ගිහින්.. කරන වැඩේ ඔලුව පුරා දුවද්දී.... හදිස්සියේම මේ ලෝකෙට පහත් වෙච්ච මගේ සිහිය නිසා ලාවට වගේ මම යමක් දැක්කා…. මම දැක්ක දේ එකපාරටම මොකද්ද කියලා තෝරා බේරා ගන්න මට බැරි උනා…මම බලන් ඉන්නේ මොකක් දිහාද? දෙයියනේ මේ මොකද්ද මේ .....!! 



ලණු කෑල්ල!!!



පුටුවේ ඉදගෙනම ඇස් එළියට පනින්න වගේ පුදුමෙන් මම බලන් උන්නේ කාමරේ ඇතුලේ දොරේ එල්ලලා තියෙන තියෙන ලණු කැල්ල දිහා....! මොන ලෝකෙන්ද මේ  කෙහෙල්මල මෙතනට අවේ? මට ඇති උනේ හිතලා ඉවර කරන්න බැරි ප්‍රශ්නයක්! ...එත් එක්කම අමුතුම බයක්...! කවුරු හරි මාගේ දිහා පිටිපස්සෙන් එබිලා ඉදන් බලන් ඉන්නවා වගේ හැගීමක් මගේ හිතට කාන්ඳු වෙන්න ගත්තා... හිත ගැහෙන වේගේ ටික ටික වැඩි වෙනවා දැනුන මට…..! 



මම පුටුවෙන් නැගිට්ටේ සිහියෙන්ද කියලවත් මට මතක නැහැ ... ඉක්මනට ගිහින් දොරේ එල්ලලා තිබුණ ලණු කෑල්ල ඇදලා ගත්ත මම ඒක අතට ගුලි කර ගන්න ගමන් කෙලින්ම ගියේ balcony එකට ඇරෙන දොර ගාවට... දොර ඇරගෙන එලියට දුවලා ලණු කැල්ල විසි කලේ සර්පයෙක් අල්ලන් හිටියා වගේ වේගෙන්.... කොහාටද වැටුනේ කියලවත් බලන්න ඉන්නේ නැතිව ගියපු වේගෙන්ම දොරත් වහගෙන කාමරේට ආවා...



ඇවිත් පුටුවට වැටුනේ මහා බරක් ඔලුවෙන් අයින් කලා වගේ හැගීමකින්.... මොකද්ද දැන්  මම කරන්නේ කියලා දස අතේ කල්පනා කලා ....හිතලා හිතලාම මගේ ඔලුව පොඩි උන් ඇදපු බලියක් වගේ වෙලා අන්තිමට....මම com  table  එකට ඔලුව තියාගෙන ටිකක් හිටියා.... මොකද්ද මේ වෙන්නේ කියලා අමුතුවෙන් මට මතක් කරලා දෙන්න කෙනෙක් අවශ්‍ය නැති එකේ…. මේ වෙන දේවල් එක්ක මට ඇති උනේ පුදුම කේන්තියක්... පුදුම බයක්….!



බයට වඩා කේන්තිය ඉස්සර කරගෙන හිතට ආපු අදහසක් ක්‍රියාත්මක  කරන්න මම පුටුව තල්ලු  කරලා නැගිටලා පහළට ගියා.... Rack එකෙන් කුඩයක් අරගෙන එළියට ගිහින් ලණු කෑල්ල විසිකරපු තැන බිම වටේම හෙවුවා..... ලණු කෑල්ල මල් ගහක් මුල වැටිලා තිබුනා… ඒක අහුලගෙන එළියෙන්ම අයුධ කාමරේ පැත්තට ගියා. අතට දැනුනේ වේලුන ලණු කෑල්ලමයි. මේ මහා වැස්සේ බිම වැටිලා තිබිලත් මේක තෙමිලා නැහැ!



කුණු ගිනි තියන්න එළියෙන් අරන් තියලා තියෙන භූමිතෙල් ලිටරෙන් බාගයක්ම හැලුව ලණු කෑල්ලට... ගිහිකුරු 20 ක් විතර ගහලා එකක් පත්තු කරගෙන ගිනි තියලා දැම්මා... හරියට පණ තියෙන දෙයක් ගිනි තිබ්බා වගේ හැගීමකින්... වේගෙකින්.... කළු දුමාරයකුත් එක්ක ලණු කැල්ල ඇබරෙමින් පිච්ච්චුනේ මගේ බයත් එකතු කරගෙන වගේ.... ඒක අලුවෙලා යනකන්ම එතන ඉදලා ගෙට අවේ යුද්ධයක් දින්නා වගේ හැගීමක් එක්ක මම...



ගෙට ඇවිත් වාඩි වෙලා ටිකක් වෙලා හිටියා හිතට ඉබාගාතේ යන්න ඇරලා..... හිත ඇතුලෙන් ඒක දිගටම මට ඇහෙන ගත්ත   "බය නැති  කරගන්න නම් බයට මුණ දෙන්න " මම අහල තිබුන දෙයක් ඒක .... එදා මම පුටුවෙන් නැගිට්ටේ අයෙත් මේ ගෙදර මේ  වගේ දේවල් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා හැගීමත් එක්ක....!  



පෙර විදියටම කරන්න තියෙන දේවල් කරලා ගේම cleanse කලා.... තාමත් මුකුත් වෙනසක් උනේ නැහැ .... නිශ්ශබ්ධව අදුරේ   ඉන්න මේ බලවේග අහබු ලෙස එළියට එන්නත් ඉඩ තියෙනවා.... නැත්තන් යටපත් වෙලා බලන් ඉන්නවා එළියට එන්න අවස්ථාවක් හැදෙනකන්....!  

මුලින්ම මේ හොල්මන් අවතාර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න හේතුව දැන ගන්න මගේම මතකයන් ඇසුරෙන් මම research එකක් කලා,.... මම දැන් මුණ දීල තියෙන තත්වේ ප්‍රසාරණය වෙන්න කෙසේ වෙතත් ආරම්භ වෙන්න මුලික වෙන්න ඇති කියලා මට හිතෙන සිද්ධියක් දෙකක් තියෙනවා... මේ ඔක්කොම අද්භූත සිද්දි වලට මුලික උන තැන.... අපි ‘දුන්හිද ඇල්ල බලන්න ගිය ගමන’ කියල මට හිතෙනවා..


-------------------


මේ අද්භූත දේවල් පටන් ගන්න මුලික උන කතාව තව පොස්ට් එකකින් දාන්නම් කියවලා  බලන්න හැමෝටම නැති උනත් මේ වගේ අත්දැකීම් කි දෙනෙකුට තියෙනවද කියලා! (මේ සිද්දිය මගේ පවුලේ ලගම හිතවතුන් හැර, වෙනත් කෙනෙක් දන්නේ නැහැ! මෙය පවුලේ රහසක් හැටියටයි පවතින්නේ! එනමුත් මගේ පවුලේ කිසි කෙනෙක් දන්නේ නැහැ මම බ්ලොග් එකක් ලියන බව! )



ඉතින් මෙයින් පසු දිග හැරෙන කථාව, හොල්මන් විශ්වාස කරන නොකරන සියලුම දෙනාටයි! 


තවත් කොටසකින් හමු වෙමු...


Friday, November 25, 2011

හොල්මන් හොල්මන් !!! (01 කොටස )



කතාව කියනව නම්....,

දවස  - 09 / 04  දවල් ට විතර.

 දවල් වෙලාවෙත් අහස හොදටම කළු කරලා. වැහි පොද සැරෙන් සැරේට වැටෙනවා. දවල්ට කාල එහෙම මම කොම් එකේ බරපතල වැඩක් කර කර හිටියේ.. වෙන කිසිම දෙකට අවදානයක් නොගිය තරම්... හරියට සිහිය නැති  මිනිහෙක් වගේ. සිහිය අවේත් පොඩිම පොඩි සද්දයක් ඇහිලා. හරියට දොරක් වැහුන වගේ සද්දයක්... .සද්දේ ආවෙත් පල්ලෙහා තට්ටුවෙන්.... මම තනියම ගෙදර ඉන්නේ දවල්ට ඒ නිසා පොඩි සද්දෙත් check කරලා බලන එක මගේ පුරුද්දක් වෙලා තියෙන්නේ... වැඩිය හිතන්න දෙයක් නැහැ මම ගියා පල්ලෙහට.....


යන ගමන් මම කල්පනා කලේ  වැහෙන්න මම ඇරලා තිබ්බ දොරවල් මොනාද කියලා....ම්හ්හ්හ් එක දොරක් වත් ඇරිලා වැහෙන්න බැහැ ඉබේට.. මොකද ඔක්කොම එළියේ මිදුලට ඇරෙන දොරවල් ලොක් කරලා තියෙද්දී  ඇතුලේ කාමරේ දොරට අඩයක් තියලා තියෙන්නේ වැහෙන්නේ නැති වෙන්න.... දොරවල් ඔක්කොම check කරලා බැලුවා.... අලුත් දෙයක් උනා කියල පේන සලකුණක් වත් නැහැ... තවත් කාලේ නාස්ති කරන්නේ මොකටද මුකුත් වෙලත් නැත්තන්  කියල හිතල බලන්න තියෙන ඔක්කොම බලල, check  කරලා මම ආව ආයෙත් මගේ වැඩේ කරන්න....


හවස 4.15 ට විතර පහළට ගිහින් කෝපි එකක් එහෙම හදාගෙන... මගේ වැඩත් ටිකක් විතර ඉවර නිසා, පටන් ගත්තා බ්ලොග් බලන්න. ටික වෙලාවකින් මට කුස්සියේ මොකක් නමුත් බිමට වැටෙනවා වගේ ඇහුන. ඉතිං ආයෙත් මම ඉක්මනට ගියා පල්ලෙහට... කලින් සද්දයක් ඇහුනා කියල මතකයක් වත් තිබුනේ නැහැ ඒ වෙනකන්. පල්ලෙහට යද්දී ඒක මතක් උනා වෙලාවටම...  එකෙන් උනේ හිත ටිකක් ගැස්සිච්ච එකයි ... 


ටිකක් බය උනත්…. මම බය උනේ හොල්මනක් කියල හිතලා නම් නෙවෙයි ...කවුරු හරි අයාලේ යන මිනිහෙක් ඇතුලට ඇවිත්ද කියල හිතලයි . ඉතින් සද්දේ සෝදිසි කරන්න කලින් අතට ගන්න බර දෙයක් බැලුවා පඩි බහින ගමන්ම... පඩි දිගේ තියලා තිබුන බර වාස් එකක් අරන් ගියා හිමීට කුස්සියට.... කුස්සියේ දොර ගාවදි නැවිලා හොරෙන් වගේ ඔලුව දාලා බැලුවා ඇතුල ......ම්ම්ම් කිසිම හැල හොල්මනක් නැහැ .මම ටක් ගලා නැගිටලා කුස්සියේ දොර ගාවම තියෙන light ඒක දැම්මා .මහ විසාල කුස්සියක් නෙවෙයි පොඩි එකක්.... ඉතින් light ඒක දැම්මම කරුවල තැන් ඉතුරු වෙන්නේ නැහැ .....


කිසි කෙනෙක් නැහැ... මහ වදයක් නේ මේක කියල හිත හිතම මම ආයෙත් උඩට ආව. ආයේ බ්ලොග් කියවනවා. ටික වෙලාවකින් සැරට වහින්න ගත්තා. current එකත් ගියා... හරි ශෝක් දැන් ඉතින් කරුවලේ උඩ බලන් ඉන්න තමයි තියෙන්නේ කියලා හිතත් හදාගෙන පහලට ඇවිත්, තවත් වතාවක් ගෙදර අහුමුලු ටික check කරලා එහෙම mp3 යත් කණේ ගහගෙන, සිංදු අහන්න ගත්තා….. වහිනවා මදිවට current නැහැ.... මමත් අඩ අදුරේ ගිලිලා ඉස්සරහ මිදුලට වැස්ස වැටෙන හැටි බලන් සින්දුවක් අහනවා....


බලපෑමක් නැතිවම ඇහැට මිදුල නොපෙනි වීදුරුවෙන් පිටි පස්සේ තියෙන කාමරේ ඇතුල පෙනුනා මොහොතකට. වෙලාව හරියටම  06:04 යි....එක පාරටම වගේ මම දැක්ක පිටිපස්සෙ කාමරේ ඉදන් ලා අළු පාට වලාවක් වගේ හෝ හෙවනැල්ලක් වගේ එකක් මගේ දිහාවට වේගෙන් අවා… හෙණයක් වැදුන වගේ උඩ ගිහිල්ල පුටුවෙන් නැගිට්ටේ මම…. නැගිට්ටා නෙවි විසි උනා කියන්න ඕනේ… මොකද මම නැවතුනේ බිත්තියක් ගාවටම ගිහින්…


බලන් හිටියා ටික වෙලාවක් බිත්තියට හේත්තු වෙලා මොකාද ඒ අවේ කියල හිතාගන්න බැරුව .එවෙලේනිකන් බඩට කටු අනිනවා වගේ දැනෙන්න ගත්තා... නිකන් පාවෙනවා වගෙත් දැනුනා... මම බිත්තියට හේත්තු වෙලා හිටිය වෙලාව විනාඩි 5 කටත් වැඩියි මම හිතන්නේ. අතපය හොදටම සිතල වෙලා හිරි වැටිලා වගේ. බලන් ඉදල ඉදල මුකුත් නොවුන තැන මගේම ඇස් රැවටීමක් වෙන්න ඇති කියලා හිතලා වද කරලා බල කරලා හිතට දාගත්ත හොල්මනක් නෙවී මම දැක්කේ කියලා… හිත හදාගෙන මම ආයිත් ඉදගත්ත පිටිපස්සෙ කාමරේ හොදට පේන පුටුවකින්... ඒ වෙනකොට current ඇවිත්.... මම වටේම තියෙන lights දාගෙන ඉදගෙන හිටියා ඇත්ටටම ආයිත් මුකුත් වෙවි කියලා බලාපොරොත්තුවෙන්... රෑ 7 විතර උනත් මුකුත්ම උනෙ නැහැ….


ඒ සිද්දිය එහෙම්මම හිතට අමතක කරවලා කරන්න තියෙන වැඩත් ඉවර කරලා මම රෑ 10:30 ට විතර නිදා ගන්න ගියා…නිදා ගන්න ගියාම අමතක කරලා හිටපු හවස උන සිද්දිය අයෙමත් මතක් වෙලා හිත ටිකක් ගැස්සිලා වගේ ගියා… ඊට පස්සේ මනුස්ස මොළේ තියෙන ආශ්චර්යමත්කමට මම දන්නා මුළු හොල්මන් කථා ඉතිහාසේම මතක් වෙන්න ගත්තා. ඒක මනස සෙලවෙමක් නිසා දැකපු දෙයක් මිසක් ඇත්ත නෙවි කියලා ලෝකේ නැති තර්ක හිතෙන් කරලා හිත හදාගෙන, ඉතිපිසො ගාථාව කියල නිදා ගත්තා.... එත්  වැඩි වෙලාවකට නෙවි…..


මහා පාන්දර ජාමේ….එක පාරටම කාමරේ වහලා තිබුන දොර අරුණ....Corridor එකට දාලා තියෙන light එකේ කහ පාට එළිය මගේ මුණට වැටුන ගමන් මාව ඇහැරුනා. එක පාරටම මම දැක්කේ අල්මාරිය ගව හිටන් ඉන්න උස මිනිහෙක්... මිනිහෙක් කිවුවට එක නිකන් කළු චායාවක් වගේ එකක්…. ලොකු කළු ලොගුවක් වගේ මම දැක්කේ… මුළු ඇගටම ඊයම් වක් කරලා වගේ බර ගතියක් දැනුනා ඒ වෙලේ… මට හෙලවෙන්න වත් බැරි ගතියක් තිබුනේ... උගුර කට වේලිලා ගිහින් තොල් එකට එක ඇලවිලා වගේ. කෙළ පොදක් වත් ගිල ගන්න බැරුව ගල් වෙලා මම ඒ චයාව දිහාම බලන් හිටියා.. 


එ වෙලවෙ මට හිතුනේ ඒ චායාවත් මන් දිහාම බලන් හිටිය කියලා…. ෆෑන් එකේන් එන හුළගේ වේගේ වැඩි උනා වගේ මට දැනුන... ෆෑන් එකෙන් හිම වැටෙනවා වගේ මුළු කාමරේම සීතල වෙලා... පුදුම සීතලක් ! මොහොතකට වෙලාවත් නැවතුනද කියල මට හිතුනා, මම කොතරම් වෙලා බලන් හිටියද කියල හිතා ගන්න බැහැ. නිකන් කල්පයක් ගියා වගේ එවෙලේ නම්...  මොහොතක්ද පැයක්ද මන්ද ගත උනාට පස්සේ අල්මාරිය ගාවින් නොපෙනී ගියා ඒ රූපේ. එකපාරටම දඩාස්! දොර වැහුනා….. දෙවෙනි පාරටත් හෙණයක් වැදුන වගේ ඇදෙන් පැන්න මම නැවතුනේ කාමරේ අනිත් කොනේ බිත්තිය ගාව….


ටික වෙලාවක් යනකන් මට කරන්න දෙයක් හිතා ගන්න බැරි උන මම අල්මාරිය දිහාම බලන් හිටියා ගොඩක් වෙලා.... ඇදට එහා පැත්තේ තියෙන බිත්තියේ ඇනයකින් එල්ලිලා ඉන්න ඔරලෝසුවේ කටු වල සද්දේ කන ලග ඇහෙනවා වගේ…. වෙලාව බලන්න මතක් උනෙත් එතකොට….. පාන්දර  03:06! මීට අවුරුදු කීපයකට කලින් පුදුම ආසාවකින් කිහිප පාරක්ම බලපු හොල්මන් film එකකත් පාන්දර 3 ට හොල්මන් කරන්න පටන් ගන්නවා මතක් උනා වෙලාවටම... ටිකක් කල්පනා කල සිද්දිය මුල ඉදන්ම.... දොර ඇරෙන්න පුළුවන් ද ඉබේටම.... ඊටත් අර තරම් වේගෙන් වැහෙන්න පුලුවන්ද හේතුවක් නැතිව....  හ්ම්ම්ම් දැන් නම් sure හොමනක් තමයි අවේ කියල....


කොච්ච‍ර  බය උනත් හිත හදාගෙන ගිහින් දොර ටිකක් ඇරලා බැලුව....පල්ලෙහාට  ගිහින් බලනවද නැද්ද කියල හිතල නිකන් නුල් දාගන්න ඕනේ  නැහැනේ කියල හිතල දොර lock කරගෙන ඇදට අවා... නින්ද යනකන්ම එක එක විකාර හිතල හිතල, අන්තිමට ඉතිපිසෝ ගාථාව ඇස් පියවෙනකන්ම හිතෙන් කියා කියා ඉදල… නින්ද ගිහින් මට...!


උදේ නැගිට්ට ගමන් මතක්  උනේ ඕක... දොර ඉබේ වැහෙන්න ඇරෙන්න පුලුවන්ද කියල මම ටිකක් ටෙස්ට් කරලා බැලුව....  ම්හ්ම් එහෙම වෙන්න කිසිම ක්‍රමයක් නැහැ... ඉතින් වෙන්න ඇත්තේ හොල්මනක් ආපු එක තමයි කියල ප්‍රත්‍යක්ෂ කරගෙන… හොල්මන් සැරිසරන එක වලක් වන්න  කරන්න තියෙන දේවල් මොනාද කියල මතක් කරගෙන… .ඒ පිළියම් ටික කරලා දැම්මා අනිත් වැඩ ඔක්කොම නවත්තලා එදා දවසෙම මහන්සි වෙලා! ඔන්න එදින් පස්සේ නම් පෙරේදා (11/21) වෙනකන් හොල්මන් කරදර අවේ නැහැ. (මම බලෙන් බය උන ඒවා ඇරෙන්න) නිදා ගන්න, බාත්රූම් එකට යන්න වගේම current යන හැම වාරයක්ම හිත ගැස්සෙන එක නම් මාව අත ඇරියේ මෙ සිද්දිය වෙලත් මාසයක් විතර ගියාට පස්සේ..!


     

ඔන්න අඉත් පටන් අරන් හොල්මන් මාව බය කරන්න!!! 




ඊලග කතාවත් හොල්මන් වේවි  මට හිතෙන්නේ 
නැවතත් කතාවකින් හමු වෙමු!!