Saturday, January 14, 2012

එක භයානක යකෙක්! (1 කොටස )

පැහැදිලි කල නොහැකි සිදුවීම් වලින් ගහන, උත්තර නැති ප්‍රශ්න වලින් පිරුණු, අත්භූත සිද්ධි දාමයක, අනුදැකීම් එකතුව පටන් ගැන්ම මෙලෙස සටහන් කරමි!

කතාව එක... පළමු කොටස! 

1926 අවුරුද්ද! ඈත ගම්මානෙක ගුරුකම්වලට, පළාතකම ප්‍රසිද්ධ, තරුණ ගුරුන්නාන්සේ කෙනක් හිටියා නමින් මොහු විමලසේන! වෙනත් පළාත් වලින් ගුරුන්නාන්සේව හොයාගෙන එන අයටත්, වෙහෙස නොබලා ගුරුකම් කරලා දුන්න මොහු, කල්‍යාණි නමැත්තිය සමග ඇති වූ විවාහ බන්දනයෙන් පසුව, ඈත පළාත් වලට ගිහින් ගුරුකම් කිරීම නැවත නවතා දැමුවේ, පළමුව තම බිරිදගේ රැකවරණයට කැප විය යුතු නිසයි! 

එත් එක දවසක්….,

ගුරුනාන්සේ... !ගුරුනාන්සේ....!”

මිදුලේ ඉදන් කතා කරන කෙනෙක්ගේ කටහඩ අනුව, ගේ හරහා ආපු විමලසේන, සාලෙට සේන්දු උනේ, මල්ලක් එල්ලාගෙන, දාඩියෙන් නාලා, අමාරුවෙන් හිටන් ඉන්න තරුණ අමුත්තාට, ඉදගන්නයි අතින් සන්කරමින්! හුස්මක් හෙලමින්ම, පුටුවකට වැටුණු අමුත්තා දිහා බලමින්, විමලසේනත් ඉදගත්තේ 

සැහෙන්න දුරක් ගෙවන් ආව හැඩයි කියමින්!

අනේ ඔව් ගුරුන්නාන්සේ, ගම් හතරකට එහා ඉදන් මේ එන්නේ!” යි

 කියමින් විමලසේන ගුරුන්නාන්සේගේ බිරිද, සංග්‍රහ කල වතුර වීදුරුවෙන්, වෙහෙස ටිකක් දිය කරපු අමුත්තා, තමාව සරත්යන නමින් හදුන්වා දුන්නා!

කියමු බලන්න කාරණේ!” 

කියමින් බුලත් හෙප්පුව අමුත්තාට දික් කරමින්, හරි බැරි ගැහි වාඩි උන විමලසේන, අමුත්තා කට අරිනකම්, ඇස් වෙහෙසේවුවේ, හිතේ මානෙට, බාහිර පෙනුමෙන්, මොහුගේ ප්‍රශ්නේ මැනගන්න!

මම මේ ගුරුන්නාන්සේවම හොයාගෙන අවේ, ගුරුන්නාන්සේට කියලා ගුරුකමක් කරගන්න කියලයි! මේ වැඩේට ඔබතුමා ඇර, වෙන කෙනෙක් නැ කියලා රෙකමදාරු කලේ සිරිපාල ගුරුන්නාන්සේ! උන්දැ, දැන් වයසයි නිසා, මේ වැඩ කරන්න බැහැ කියලා තමයි කියන්නේ!” යි සරත් කියද්දී, 

හ්ම්ම් හොදයි! දැන් මොකද්ද, කරගන්න තියෙන ගුරුකම!” යි විමලසේන ඇහුවේ, තව මේ මාසෙට බාර ගත්තු වැඩ කියක්, ඉවර කරන්න තියෙනවද කියලා, හිතෙන් හිතමින්, මේ වැඩේ බාර නොගෙන ඉන්නවා, කියලා හිතට කියමින්!

මගේ බිරිද මාලනීට, පෙරේත බැල්මක් වැටිලා තිබිලා, කාලෙකට ඉහතදී තොවිලයක් කරලා, සිරිපාල ගුරුන්නාන්සේ, ඒක අයින් කරලා දුන්නා! එත් දැන් දැන් අයෙත් පෙරේත දිෂ්ඨියක් ඇග වැටිලා වගේ, හැසිරෙනවා ගුරුන්නාන්සේ…." 

"එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා ඒ නිසා ඉක්මනින්ම, මේක අහවර කරගන්න කියලා තමයි, සිරිපාල ගුරුන්නාන්සේ කිවුවේ…. ඒකයි මම, වෙහෙස නොබලා, ඔබතුමා හමුවෙන්න මේ අවේ!"

අපොයි! ගැබ්බර කෙනෙක් නම්, ටිකක් භයානකයි! අනිත් වැඩ, එකක් දෙකක් එහාට මෙහාට කරලා, මේක කරලා දෙන්න ඕනේ යි කියල හිතෙන්ම හිතමින්, විමලසේන කටහඩ අවදි කලේ, 

වැඩත් ගොඩ වෙලා තියෙන්නේ මටත් මේ, හ්ම්ම්…. හොදයි එහෙමනම්, මගෙත් ගුරුවරයෙක් වෙච්ච, සිරිපාල ගුරුන්නාන්සේගේ කීමට, ගරු කිරීමක් හැටියට, මම මේ වැඩේ කරලා දෙන්නම්කෝ!” යි කියද්දී, 

පින් සිද්ද වෙනවා ගුරුන්නාන්සේට, මේ ලැබෙන්න ඉන්නේ අපේ දෙවෙනි දරුවා... එක දරුවෙක් කුසේදීම, නැති උනා කලින්!” යි සරත් කිවුවේ  දෙනෙත් වලට ආ කදුළු හංගන්න එළිය දිහාව බලමින්….

හ්ම් හොදයි! එහෙනම් මම ලෑස්ති වෙලා එනකන් ඔහොම ඉන්න...!” 

කියමින් ගෙතුලට වැදුණු විමලසේන ගුරුන්නාන්සේ, හාමිනේටත් විස්තරේ කියා, දවස් කීපයක ගමනට අවැසි දේවල් ලෑස්ති කරගෙන, හාමිනේගේ ආරක්ෂාවට, එහා ගමේ ඉන්න, හමිනේගේම දෙමවුපියන්ගේ ගෙදරට, ඇයව ඇරලලා, සරත් එක්ක ඔහුගේ ගමට, යන්න පිටත් උනාවෙහෙසකාරී, දවස් එකහමාරක ගමනෙන් පස්සේ, සරත්ගේ ගෙට ගොඩ උන පයින්ම, ඇග දැවටුණු අහිතකර ශක්තිය නිසා, එළියට ආපු විමලසේන ගුරුන්නාන්සේ, එළියේ ගහක් මුලෙන් වාඩි වෙලා, විවේක ගත්තේ, ගේ ඇතුලෙදි තමන්ට දැනුනු ඒ බලවේගේ තරම, හිතෙන් මැන ගනිමින්!

හ්ම්ම් ටිකක් දරුණු කාරණයක් වගේ! පෙරේතයෙකුත් නෙවෙයි!’ සිතමින්ම තමන් ලගින්ම වාඩි වෙලා ඉන්න, සරත්ගෙන් ඇහුවේ, කොයි කලේද මේ සිද්ධිය පටන් ගත්තේ? මොකද්ද උනේ කියලා සම්පුර්ණ විස්තරේ මට කියන්න  කියලයි!

ගුරුන්නාන්සේ, අපි බැදපු අලුතම, පහල ගග කිට්ටුව තමයි පැල අටවා ගත්තේ! දවසක් හවස් යාමේ, මාලනී ගගට ගිහිල්ලා ඇගපත දොවාගෙන එන්න! මම ගෙදරට එනකොට, එයා කොන්ඩෙත් කඩාගෙන,ගෙයි මුල්ලකට වෙලා, දිය රෙද්ද පිටින්ම,වාඩි වෙලා හිටියා, බය වෙලා!”

මම වද කරලා අහද්දී, තමයි කිවුවේ උන දේ! ….එවෙලේ නම් මම, හිනා වෙලා නිකන් හිටියා ගුරුන්නාන්සේ, මේ ගැනි, කරුවලේ විකාරයක් දකින්න ඇති කියලා! ඒ උනාට දවසෙන් දෙකෙන්, අමුතු දේවල් වෙන්න ගත්ත ගේ ඇතුලේ, වත්තේ එහෙම!….”

හරි මට කියන්න මාලනී කිවුවද, එයා දැක්කේ මොනාද කියලා?”…. “ඔව් කිවුවා ගුරුන්නාන්සේ, එයා කිවුවේ, මුණ හිටන් කලුපාට රෝම වලින් වැහුණු මිනිහෙක්, ගගෙ එහා පැත්තේ කැලේ ඉදලා, එයා හිටපු පැත්තට, වතුරේ බැහැලා ආවා දැක්ක කියලා!”

සරත්, කතාව නවත්තලා,ටිකක් කල්පනා කරමින්, ගුරුන්නාන්සේ දිහා බලලා කිවුවේ  ඒ මිනිහා, ගග මැද ගැබුරට එද්දි, ටික ටික උස යනවා මාලනී දැක්කලු! ගුරුන්නාන්සේ! යක්කු එනවද එහෙම පේන්න! මම නම් මුලින් මුලින්, මේ ගැනිගේ කතාව විස්වාස කළෙම නැහැ! එත් එදා රෑ ජාමෙ, පොළව හොල්ලගෙන,ගේ වටේ දුවන සද්දයක් ඇහෙන්න ගත්තා!”

මම බය නැතිව, එළියට බැහැලා බැලුවා ගුරුන්නාන්සේ, මොකටද බොරු කියන්නේ... මම ඉස්තොප්පුවෙන් එළියට බහින කොට, ගේ පිටි පස්සෙන් දුවනවා ඇහෙනවා... මම පිටිපස්සට දුවන කොට, ගේ ඉස්සරහින් දුවනවා ඇහෙනවා! පස්සේ ටිකක් මගේ හිතත් ගැස්සුනා!

එත් මම, ඉස්සරහ කෑල්ලේ නැවතිලා බලන් හිටියා, දුවන එකා කොයි වෙලාවේ හරි, ඉස්සරහින් දුවයි නේ කියලා!” …. “ටික වෙලාවකින් සද්දේ නැවතුනා!…. මමත් දොර ලෑල්ල දාලා, ගෙට වෙලා හිටියා, බිමට එළිය ටිකක් වැටෙනකන්! යාන්තමට වගේ, එළිය වැටීගෙන එනකොට, මම එලියට බැහැලා බැලුවා ගුරුන්නාන්සේ, මගේ ඇස් දෙක, විස්වාස නැති උනා මට එවෙලේ!”

ගේ වටේම බිම, ඌරො හාරලා වගේ, වලවල් හැදිලා තිබුනා! වටේම තියෙන ගස් වල පොඩි ඇති පතු, ගේ මිදුලේ හැම දිහාවේම වැටිලා, හරියට සුලියක් මිදුලේ කැරකිලා වගේ! දෙවෙනි  දවසේ, දුවන සද්දේ ඇහුනේ නැහැ! ඒ උනාට වහලේ, පොල් අතු උඩ ඇවිදිනවා, ඇහෙන්න ගත්තා රෑ පුරාම! මම හිතුවේ වහලේ, කඩන් වැටෙයි කියලා…. අලියෙක් වහලේ උඩ ඇවිද්දා වගේ

එවෙලේ නිකමට වගේ හිතිලා, හොද තිත්ත කුණුහරුපෙන්, කෑගහල බැන්නා මම... ටික වෙලාවකින් සද්දේ නැවතුනා! යන්න ඇති මොකා උනත් කියලා, හිතලා අනිත් පැත්ත හැරෙන්න උනේ නැහැ, ගේ ලගටම වෙන්න තිබුන කොස් ගහේ, මහා විසාල අත්තක්, ඒ පැත්තේ වහලෙයි බිත්තියයි, කඩාගෙන ගේ ඇතුලට වැටුනා!”

අපි ඇදී රෙදි පිටින්ම දිවුවා, එහා වත්තේ ගෙදරට! අටවා ගත්තු ගේ, පැත්තක්ම බිදිලා ගිහිල්ලා තිබුන, උදේ ඇවිත් බලද්දී! මාලනිව එයාලගේ අම්මලාගේ ගෙදර නවත්තල, මම ගියා, සිරිපාල ගුරුන්නාන්සේ හම්බවෙන්න! ගුරුන්නන්සේව එක්කන් ගෙදර එන කොට තමයි, මම දැනගත්තේ, මාලනීට දරුවෙක් ලැබෙන්න ඉදලා, ඒ දරුවා උදේ, නැති වෙලා ගියා කියලා!”

නැන්දම්මා කිවුවේ මාස තුනක් වගේ, වෙන්න ඇති කියලා ඒ දරුවට! සිරිපාල ගුරුන්නාන්සේ තොවිලයක් නටලා, සෙත් ශාන්තියක් කරලා කිවුවේත්, ආයෙත් මේ යකා එන්න ඉඩ තියෙනවා,ඒ නිසා පරිස්සමෙන්, ජිවත් වෙන්න කියලයි! ඒ කිවුවත් වගේ, දැන් දෙවෙනි දරුවා ලැබෙන්න මාස 4 ක් තියා, අයෙත් මේ කරදරේ පටන් ගත්තා නේ, ගුරුන්නාන්සේ!”

යි කියමින්, සුසුමක් හෙලමින්, කතාව අවසන් කරපු සරත් දිහා, බලන් ඉදපු විමලසේන ගුරුන්නාන්සේ, ටිකක් වෙලා නිහඩවම කල්පනා කළේ, මේක නිකන් පෙරේත බැල්මක් නොවෙන එකේ, අගක් මුලක් නොදැන, වැඩේට අත ගහන එක, එක භයානකයි කියලයි

සිරිපාල ගුරුන්නාන්සේ, පණිවිඩයක් එවලා තියෙනවා, ඇවිල්ලා හම්බ වෙන්න කියලා, විමලසේන ගුරුන්නාන්සේට!” යි

සරත්ගේ නෑදෑ කෙනෙක් කියද්දී, විමලසේනට හිතුනේ, කෝකටත් කල යුතු දේ පිලිබදව, අවසන් නිගමනයකට පැමින්නෙන්න, සිරිපාල ගුරුන්නාන්සේගේත් අදහස දැනගැනීම, වටිනවා මෙතනදි කියලායි 

හොදයි! එහෙනම්, මම කියන බඩු ටික ලෑස්ති කරලා තියන්න, මම ගිහින් සිරිපාල ගුරුන්නාන්සේව හම්බ වෙලා එන්නම්!”

කියමින්, තොවිලෙට එකතු කරගත යුතු බඩු, විස්තර කරලා, සරත් විසින් ලෑස්ති කර දුන් ගොන් කරත්තෙට, නැග ගත්තු විමලසේන, වෙහෙස නොබලා, එහා ගමේ ඉන්න, සිරිපාල ගුරුන්නාන්සේව මුණ ගැහෙන්න ගියේ, තමාට වැඩි අත්දැකීම් ඇති, සිරිපාල ගුරුන්නාන්සේටත්, බැරි උන වැඩේ, තමා කරන්නේ කොහොමද කියලා කල්පනා කරමින්! 

පැය දෙකක පමණ ගමනකින් පසු, සිරිපාල ගුරුන්නාන්සේගේ, ගේ පැත්තට, කරත්තේ හැරෙද්දීම, ඉස්තෝප්පුවේ, හාන්සි පුටුවේ, දිග ඇදිලා ඉන්න, සිරිපාල ගුරුන්නාන්සේව දැකපු විමලසේනට, හිතුනේ මිට අවුරුද්දකට පෙර, තමාගේ විවාහ මංගල්ලෙට සහභාගී වෙද්දී, හිටියට වඩා, දෙගුණයක් විතර, සිරිපාල ගුරුන්නාන්සේ, දැන් වයසට ගිහින් ඇති බවයි!

බාගෙට එක් තැන් වෙලා ඉන්න, සිරිපාල ගුරුන්නාන්සේගේ දැනුමෙන්, විශාල ප්‍රමාණයක් විමලසේනට තෑගි කරපු ගුරුන්නාන්සේගුරු හරුකම් අතරින්, නිතරම කිවුවේ, 

මේ වැඩේ තනියම කරන්න වුනොත්, නොකර අත අරින්න,වෙන දේවල් හිතන්න එපා! සමහර දෝෂ කර්මනුකුලවයි සිද්ද වෙන්නේ!”

ඒවා වලක්වන්න ලේසි නැහැ! ඉතින් මේකට හවුල් කරගන්න කෙනෙක් නැති උනොත්, ශාන්ති කර්මයක් කරලා අයින් වෙන්න!”

උපදෙස් වලට වඩා, අවවාද ලබපු විමලසේන ගුරුන්නසේ, එතනින් එන්න පිටත් උනේ, හිතේ බරක් එක්ක! 

අහවල් ගමේ ඉන්න ගුරාව, අඩගහ ගන්න බලන්න!” තනියම නම්, කරන්න එපා ළමයෝ තෙරුනානේ!” යි

සිරිපාල ගුරුනන්න්සේ අවසානේටත් කියපු නිසාම, ඒ ගමටත් ගිය විමලසේන ගුරුන්නන්සේ, ඒ ගමේ ගුරුන්නසේගෙන් මේ වැඩේට, දායකත්වය ඉල්ලු සැනින් ඔහු කිවේ, 

අපෝ ඔය වැඩේනම් මට බාරගන්න බැහැ! ඕක නුලෙන් ගැස්සුනොත්, මගේ බෙල්ල තමයි, දෙන්න වෙන්නේ යකාට!” කියලයි 

බඩ දරු අම්මා කෙනෙක්ව, අනතුරේ දාලාඅහක බලාගෙන යන එක හරිදතමාගේ බුද්ධිත් එක්ක, මනුස්සකම ගැටෙද්දී, බුද්ධියට වඩා මනුස්සකම ගැන හිතපු විමලසේන ගුරුන්නසේ, තනියම හරි, මේක හැකි පමණින්, ඉවරකල යුතුයි කියලා, අවසානයේ, අවාසනාවන්ත,  අවසන් නිගමනයකට ආවා! 

දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවකගේ ඇගට, යකෙක් ගෙන්වීම, ඉතාම භයානක දෙයක් වගේම, දරුවා ලැබෙනකන්, වැඩේ කල් දැම්මොත්, යකා දෙවෙනි බිල්ලත් ගන්නවා නිසැක බව, සිරිපාල ගුරුන්නසේ කියූ හැටියෙන්, දැනගත් විමලසෙන ගුරුන්නාන්සේ, කලයුතු වත් පිළිවෙත් ධාරණය කරගෙන, හිතේ හයියෙන්,තොවිලේ පටන් ගත්තා!

රෑ මදියමේදී, ගුරුන්නසේ දන්නා ශිල්ප යොදා, යකාව, මාලනිගේ ඇගට ගෙන්න ගත්තේ, දරුවටවත් ආතුරයටවත්, හානියක් කල නොහැකි වෙන්න පුටුවකට තියලා බැදලා, ඒ පුටුවත් හොලවන්න බැරි වෙන්න පොළවට තියලා බැදලායි!

මන්තර ජප කරලා යකා ගෙන්නුවත්, මාලනිගේ ශරීරයට, යකා ආ බව දැන ගැනීමට, කිසිම හෝඩුවාවක් නොපෙන්වා, මාලනී ඉතාම නිශ්ශබ්ධව ඉදගෙන ඉදීමෙන්, මේ යකා, වෙන යක්කු වගේ මෝඩයෙක් නොවන බවත්, කලබල කාරයෙක් නොවුනත්, ඉතාම භයානකම, වර්ගයේ එකෙක්, විය හැකි බවත්, එ මොහොතෙ විදුලියක් වගේ, විමලසේන ගුරුන්නාන්සේගේ ඔලුව හරහා ගියේ, ඔහුගේ හිත ටිකක් ගැස්සේද්දියි!

නර බිල්ලක්ම හැර, උබලගේ ලේ නැති කුකුල්ලු මට එපා!




කතාවේ දෙවෙනි කොටසින්,

යලි හමු වෙමු! 

Thursday, January 5, 2012

යකා අල්ලපු හැටි! අවසාන කොටස (15 කොටස )

2010 අගෝස්තු මස, මැද බාගයේ දවසකින් පටන් ගෙන, දවස් 25 කට ආසන්න කාලයක්, මා ලද ‘අධි ස්වභාවික අත් දැකීමක්, කතාවක් බවට පත් වෙමින්, සයිබර් අවකාශයේ සටහන් වී, අද මෙලෙසින් නිමාව දකී! අත්භූත සිද්ධාන්ත පිළි නොගන්න, මේ විද්‍යුත් සමාජයේ වෙසෙන සියලුම දෙනාට,මේ කතාව, හුදු මනං කල්පිතයක් ලෙස පිළිගන්වන අතර, පෘතග්ජන මනසට හසු නොවන, නමුත් පැවතිය හැකි, අභෞතික අන්තයන් ගැන සොයන්නන්ට, මෙය අනන්ත අප්‍රමාණ අත්භූත සිදුවීම් අතරට, එකතු උන තවත් 'එක් සිදුවීමක්' ලෙසත් පිළිගන්නවමි!

අවසාන කොටස -2

ආච්චි අම්මාගේ කැමැත්ත පරිදි දවස් දෙකක් ඇතුලත තොවිලේට අවශ්‍ය වැඩ කටයුතු සදහා සුදානම් වීමට පවුල් තුනේම නෑදෑයින් රන්දිලගේ ගෙදරට එකතු විය යුතුව තිබුන හෙයින්, තොවිලේ පැවැත්වෙන දාට කලින් දා රෑ ලොකු මාමා, පොඩි පුංචි යන පවුල් දෙකේ අයත් මම සහ ආච්චි අම්මාත්, පොඩි මාමාලාගේ ගෙදරට යන්න පිටත් උනා! 

ගුරුන්නාන්සේව එක්කන් එන වෙලාවට, පොඩි මාමා රන්දිව රෝහලෙන් ගේන්නම් කිවුවේ වේලපහින් ගෙදර ගෙනාවොත් එයාගේ ලෙඩේ වැඩි වෙලා කෙරෙන වැඩේට බාදාවක් වෙන්න ඉඩ තියෙන නිසා කියලයි....! ගුරුන්නාන්සේ දුරකතනයෙන් පැවසු පරිදි ,අවශ්‍ය කළමනා ලෑස්ති කර ගත්තු වැඩිහිටියන් එදින හවස් බාගේ වන විට ගුරුන්නාන්සේව, රන්දිලගේ ගෙදරට එක්කගෙන ගෙන අවේ, පොඩි මාමා රන්දිව රෝහලෙන්, ගෙන ඒමට පිටත් වෙද්දීම වගෙයි!

ගුරුන්නාන්සේ, ආ පයින්ම ගෙදරට ගොඩ නොවී ගෙට ඇතුළු වන තැනම නැවතී ගේ ඇතුල විපරම් කර නැවත හැරී වට පිටාව බලමින් යමක් මතුරමින් ගේ වටේම ගමන් කර නැවත හැරි ගේට්ටුව ලගට ගොස් ඒ ලග බිම හාරා යමක් වළලනු, මම බලාගෙන හිටියේ අද මොනා නමුත් බරපතල දෙයක් වෙයි කියන හැගීමෙන්...! 

ටික වෙලාවකින් ගුරුන්නාන්සේ ගෙට ගොඩ උනේ, “අපි මෙහෙ කටයුත්ත ඉවර උනාම, අනිත් ගෙවල් තුනටත් ගිහිල්ලා එමු නේද ඉස්කෝලේ හාමිනේ!” යි ආච්චි අම්මාගෙන් අහගෙනමයි! 

“හොදයි ගුරුන්නාන්සේ...! අපි එහෙම කරමු! ” යි කියලා ආච්චි අම්මා ලොකු මාමා දිහා බැලුවේ, ‘හරි නේ එහෙනම්’ කියන්නා වගේ බැල්මකින්!

උදේ පටන්ම කට කොනකට ඇදීමෙන් පෙන්නුම් කල උපහාසාත්මක ගතිය පොඩි මාමා සහ ලොකු මාමාගේ මුණවල් වල පෙනෙන්න තියෙද්දී අනෙත් සියලුම දෙනා ‘මොකක් වෙයිද මන්දා’ කියන හැගීමෙන් හිටියා කියලයි මට හිතුනේ! හවස 5 පහුවෙද්දී පොඩි මාමා ගිහින් රන්දිව ගෙදරට එක්කරගෙන අවේ තොවිලේට වැඩ කටයුතු සියල්ල ලෑස්ති වී අහවර වූ පසුවයි! 

උසේ තරමටත් වඩා බර ඇති කියලා හිතෙන තරම්, ශරීරයක් තිබුන කෙනෙක් උන රන්දි පොඩි මාමා එක්ක නාවානම් අදුන ගන්න පුළුවන් ආකාරයේ කිසිම සලකුණක් අපිට තිබුනේ නැහැ..! එතරම් කෙට්ටු වෙලා වැහැරිලා ගිහින් එයා...

ඇවිදින ඇට සැකිල්ලක් බවට පත් වෙලා හිටිය රන්දි ඇවිද ගන්නවත් පණ නැතිව මාමාගේ ශක්තියෙන් ගෙට ගොඩ වෙද්දීම වගේ, සාලේ ඉදපු ගුරුන්නාන්සේ තමන්ගේ බැග් එකෙන් පොඩි කුප්පියක් අරන් අතේ ගුලි කරගෙනම හැමෝටම ඇහෙන්න කිවුවේ,

 “කිසි කෙනෙක් ඉන්න තැන වලින් හෙල්ලෙන්න එපා!” කියලයි... ඒ අණට, ගේ ඇතුලේ එහාට මෙහාට වේවී ඉදපු අයත් ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙද්දී අපි ඔක්කොමලා බය වෙලා පඩි පෙළ දිගේ හිටගෙන කටවල් ඇරගෙන බලන් හිටියේ මොකද මේ කියලා හිතාගනන වත් බැරිව! 

රන්දිව අල්ලාගෙන, පඩි පෙලේ ඉදපු අපිට නොපෙනෙන ඉසවුවක් දිහා බෙල්ල හරවාගෙන බලාගෙන, උදේ ඉදන් දාගෙන හිටපු උපහාසාත්මක මුණ දියවෙලා යද්දී ඇස් ලොකු කරන් බය උන මුණක් ඇදගන්න පොඩි මාමාව දැකලා මගේ හිතේ ගැස්ම වැඩි උනේ ඒ ඇස් වලින් එයාට පේනදේ, යාන්තමට වගේ මට හිතෙන් පෙන්න ගත්තු නිසයි!

අපිට නොපෙනන ඒ ඉසවුව පේන කෙනෙක් උන නැන්දා, බය වෙලා ඉදපු තැනින් අයින් වෙන්න වගේ හැරෙද්දීම ගුරුන්නාන්සේ, දබර ඇගිල්ල නැන්දට දික් කරගෙන “හෙල්ලෙන්න එපා!” යි දෙවෙනි අණ නිකුත් කලා! 

වෙලාව නැවතිලා වගේ දැනෙද්දී, මම බලාගෙන හිටියේ මාමාගේ මුණ දිහාමයි එක පාරටම බයත්, විස්මයත් අතර මැද හඩක් රන්දිව අල්ලාගෙන ඉදපු පොඩි මාමාගේ කටින් පිට උනේ මාමා විසිවෙලා වගේ දොර ලග වැටෙද්දීමයි...! වහාම ක්‍රියාත්මක උන ගුරුන්නාන්සේ, අතේ තිබුන කුප්පියයෙන් තෙල් ටිකක් අරන් රන්දි ලගට පිම්මෙන් ගිහින් නළලේ ගෑවේ කරන්ට් වැදිලා වගේ රන්දීව ගැහෙන්න පටන් ගනිද්දිමයි! 

ඔක්කොමල ඉටියෙන් හදපු පිළිම වගේ ගේ පුරාම හිටගෙන බලන් ඉන්දැද්දී වැටෙන්න යන රන්දිව අල්ලාගෙන ගුරුන්නාන්සේ  “කෝ ඉක්මන් කරන්න, මේ ළමයව අල්ලා ගන්න!” යි කිවුවේ, හැමෝටම තමන්ගේ හොද සිහිය ලං කරමින්! 

ලගම හිටිය මාමාලා දෙන්න, ඉක්මනින් රන්දිව අල්ලාගෙන පුටුවක හාන්සි කරෙවුවේ මුණට මුණ බලා ගනිමින්! ලොකු නැන්දා “අනේ දෙයියනේ!" කියමින් හුස්මක් ඇදගෙන පුටුවකට වැටෙද්දී  “හ්ම් දැන් තොවිලේ පටන් ගමු!” යි පවසා, එතනින් ඉවත් උන ගුරුන්නාන්සේගේ පස්සෙන් වැටුන පොඩි මාමා හිමිට යමක් ගුරුන්නාන්සේගෙන් ඇහුවේ ඔලුවට අතක් තියගෙන මනස කැලබුන පුද්ගලයෙකුගේ විලාසයෙන්...! 

ගුරුන්නාන්සේ, පොඩි මාමාගේ උරහිසට අතක් තියමින් යමක් කියලා එතනින් ඉවත් වෙලා ගියා! අපිට කිට්ටුවෙන් ඉදපු ආච්චි අම්මා ලොකු නැන්දා ලගට ගියේ උන දේ කතා කරන්න කියලා දැනුනු නිසා මමත් ආච්චි අම්මාගේ පස්සෙන් වැටුනේ විස්තරේ අහගන්න! බය වැඩි කමටද මන්දා අඩන ගමන් ගොත ගසමින් නැන්දා කියනවා, “අම්මා මෙහෙදී දැක්කයි කියපු හොල්මන මේ බිත්තිය ලග හිටියා අම්මේ...! මගේ කකුල් ගැහෙනවා තාමත්!”

එහෙනම් අපි දැකපු හොල්මන තමයි, නැන්දත් දකින්න ඇත්තේ...! යි මට සිතෙද්දී මම දැක්කේ සාලේ කොනක පුටුවකට වැටිලා හිස් දෑසින් එළිය බලාගෙන ඉන්න පොඩි මාමාවයි!....

පොඩි මාමා, ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනාවේ ගිලිලා ඉදීම මම දැක්කේ, ‘මාමාගේ මතය උන අද්භූත සිද්ධි, ආවේශ වීම් කියන්නේ මානසික රැවටීමක්, බිරාන්තයක්, ශුන්‍ය තර්කයක් වශයෙන්, තමන් උගත් ශේස්ත්‍රයට අනුව හිතමින් විශ්වාස කරමින් තමන් ගිය පාර මගදී, ‘බොරු වලකට’ වැටුන මිනිහෙක්, තමන්ගේ නවීන මනසට තමන් ඇහින් දැක්ක දේ ඔබා ගන්නේ කොහොමද කියලා හිතමින් ඉන්නවා වගේ’ කියලයි...! 

තිත්ත උනත් ඇත්ත පිළි ගන්න ලොකු මාමාට නම් එතරම් වෙලාවක් නොගිය නිසා ගුරුන්නාන්සේගේ වැඩ වලට උදවු කරන්න ලොකු මාමා යුහුසුළු උනා! තොවිලේට අවශ්‍ය සියල්ල ලෑස්ති කරගෙන, පටන් ගන්න මොහොතකට කලින් ගුරුන්නාන්සේ ගෙදර හිටපු හැමෝටම සාලේට කතා කරලා කිවුවේ, 

“අද මේ වැඩේ මෙතනින් කෙළවරක් වෙන්න අවශ්‍යයි නම්, මම දැන් කියන දේවල් මෙතන ඉන්න කිසිම කෙනෙක්ට කරන්න තහනම්!” ගුරුන්නාන්සේගේ ගෝලයා අපි හැම කෙනෙක්ගෙම අතේ සුදු පාට නුල් බදිද්දී ගුරුන්නාන්සේ අපිට නීති රීති පැහැදිළි කළා... 

“එක, මොනම හේතුවක් නිසාවත් මේ වැඩේ කෙළවරක් වෙනකන් මගෙන් අහන්නේ නැතිව වත්තෙන් එළියට බහින්න තහනම්...! 
දෙක, මේක ඉවර වෙලා මාස තුනක් යනකන් මේකට සහභාගී වෙන මේ අය හැම දෙනාටම රහමෙර පානය, මස් මාංශ කරවල බිත්තර බැදුම් කෑම, මස් මාංශ බිත්තර උයලා තම්බලා වත් අනුභවය තහනම්...! සම්පුර්ණයෙන්ම නිර්මාංශ අහර වේලක් මාස තුනක් යනකන් කන්න බොන්න ඕනේ! 

ඊළගට විනාඩි පහකට වඩා කැස්ස ගුරුන්නාන්සේ, පපුව අත ගා ගනිමින් කිවුවේ, 

"තුන, තමන්ගේ ගෝලයව පෙන්වමින්, මහා මන්තරේ මතුරන කොට මේ මගේ උදවුවට ඉන්න දරුවා හැරෙන්න කිසි කෙනෙක් නැගිටින්න එපා ඉදන් ඉන්න තැන් වලින්...! ඔය අතේ බැදලා තියෙන නුල නිසා කාටවත් කරදරයක් වෙන්නේ නැහැ.!. මහා මන්තරේ කියන වෙලාවට ගෙට එන අයාලේ යන ආත්මවල බැල්මට අහුවෙන්න අවශ්‍ය නැති නිසා ඉවසීමෙන් ඉදගෙන ඉන්න!"

ඒ කියපු ටිකටත්, පපුව ගැහි ගැහි ඉදපු අපි දිහත් බලලා...
"හතර, මේක අත්‍යවශ්‍යම නැහැ හැබැයි කරනවා නම් හොදයි! මේ අද්භූත සිද්ධි ගැන කතාබහ අදින් පස්සේ නොකර ඉන්න මාස හයක්වත්... පිට තැනකදී වත් කාත් එක්කවත් මේවා කතා කරන්න යන්න එපා...! මේ සිද්ධි අමතක වෙන්න දෙන්න මනසට ටික කාලයකට... තෙරුනානේ?!” කියමින් අපි “ඔව්” කියනකන්ම මුණ දිහා බලන් හිටිය ගුරුන්නාන්සේ, 

“හොදයි එහෙමනම්, පැය කිහිපයකට වාඩි වෙලා ඉන්න ලෑස්ති වෙලා ඇවිත්, මේ දාලා තියෙන පැදුරු වලින් වාඩි වෙන්න...!” කියමින් හදුන් කුරු මිටියක් පත්තු කරන්න උනා!

මොනවා දකින්න වෙයිද, අහන්න වෙයිද කියලා හිතේ මායිමටවත් හිතාගන්න බැරිව ගැහෙන හිතින් කිටි කිටියේ ලං වෙලා අපි ඔක්කොමලා බිම එළලා තිබුණු පැදුරු වලින් වාඩි උනේ පොඩි මාමා රන්දිව කාමරෙන් එක්කගෙන ඇවිත් ගුරුන්නාන්සේගේ ලගම එළලා තිබුන පැදුරෙන් වාඩි වෙද්දීයි... රන්දී ඇස් ඇරන් හිටියට සිහියකින් හිටියා අපිට පෙනුනේ නැහැ... එයා වට පිට හැරි හැරී තමන් වටේට ඉදන් ඉන්න අය දිහා බලනවා.. 

රන්දිගෙයි මගෙයි ඇස් එකට මුණගැහුන වෙලේ... මගේ බඩ ඇතුලේ අමුතු පෙරලීමක් වගේ දැනුනා... එත් එක්කම අමුතුම හැගීම් පෙළක් ඔලුව හරහා විහිදිලා ගියා.. නිකන් මේක කරන්න ඕනේ නැහැ... අපිට ප්‍රශ්නයක් නැහැනේ වගේ හැගීමක් ඒක.. අමුතු අප්‍රසාදයක් ගුරුන්නාන්සේ ගැන මට ඇති වෙද්දී මට හිතුනා මේ නම් මගේ සිතුවිලි නෙවෙයි කියලා.. ඒ සිතුවිල්ලත් එක්කම අර අප්‍රසාද හැගීම් අපහසුතා සියල්ල නැතිවෙලා ගියා...! 

හරිම අමුතුයි..! මම මගේ වට පිට ඉන්න අය දිහා බැලුවේ මට ඇති උන පුදුමේත් එක්ක.. දිලූ මගේ ලගින්ම ඉදපු කෙනා.. එයා ඔලුව බිමට නමාගෙන, ඇදෙන් වැටිලා කැඩිලා හොදවෙමින් තිබුන ඇගිල්ලෙන් පොළොවට අනිනවා දැකපු මම එයාගේ අතින් අල්ලලා නවත්ත ගත්තේ මොකද කරන්නේ කියලා අහන්නේ නැතුව එයා දිහා බලමින්...!

එක පාරටම අසිහියෙන් ඉදලා සිහිය අවා වගේ " ආවූ........." කියමින් කැඩුණු ඇගිල්ල සහිත අත අල්ලාගෙන ඇස් වලට කදුළු කැට පිරෙද්දී කෙදිරි ගාන්න ගත්ත දිලූ දිහා බලපු ගුරුන්නාන්සේ ලගින් තියාගෙන හිටිය සුදු පාට බෝතලයක් එයාගේ ගෝලයට දුන්නේ සාලේ වටේටම ඉහින්න කියලයි...

"මේ අයාලේ යන එකාලා එක්ක තමයි ඔක්කොටොම වඩා කරදරේ... මුන් මේක අස්සේ රිංගගෙන තෝල්ක කම් කරන්න තියාගත්තා ඒ පාර...!" කියමින් නැගිටලා පන්දමක් පත්තු කරලා ඒක සාලේ වටේම මොනවද මුමුණමින් අරන් ගිහින් නැවත වාඩි උනේ කහිමින්... 

රෑ 9 ට කිට්ටු වෙද්දී ආරම්භ කෙරුණ තොවිලය 12 :30 වගේ වෙනකන් හිමින් ඇහෙන මන්තර සහ ගුරුන්නාන්සේට අතරින් පතර ඇති උන වියලි කැස්ස අතරින් වැඩි කරදරයක් නැතුව කෙරීගෙන ගියා! එකම වදේකට සිද්ධ උනේ, කොහෙන්ද මන්දා ආපු බලු රැලක් සාලේ පැත්තේ තාප්පෙට කිට්ටුව රන්ඩු වෙන්න ගත්තු එකයි... මහා කන්දොස්කිරියාවක් උන ඒ බලු රණ්ඩුව ඇහෙන්නේ නැහැ වගේ ගුරුන්නාන්සෙයි ගෝලයයි දෙන්නා මන්තර මතුරමින් තොවිලේ කරගෙන ගියා...

තවත් පැය බාගයක් වගේ ගිය තැන, අපිට තුන් වන නිතිය නැවතත් මතක් කරපු ගුරුන්නාන්සේ, මේ කරදරවලට මුලික උන ස්පිරිට් එකට එන්න කියලා කළ යම් ආකාරයක අණ කිරීම් විනාඩි දහයකට වඩා කෙරුනේ දල්වපු විලක්කුවක් අරන් ඒකට දුම්මල ගහලා හොදින් මහප්‍රාණ ශබ්දකරමින් කියපු අමුතු වචන තිබුන මන්තරයක් සමගිනුයි!

ටික වෙලාවක් සියලු මන්තර නවත්තපු ගුරුන්නාන්සේ ඇස් පියාගෙනම හිටියා... විනාඩි පහක් දහයක් එහෙමම ගතවෙද්දී මල් තට්ටුව උඩ පත්තු කරලා තිබුණු පහන් තිර හෙලවෙන්න ගත්තේ එතනට විතරක් ‘හුළගක් හැමුවා’ වගේ කියලා මට හිතෙද්දියි! සෑම් භය වෙලා දණ ගහගෙනම ලොකු මාමා ලගට ගිහින් ඉදගනිද්දී, ගුරුන්නාන්සේ නැවතත් සද්දෙන් මන්තර කියමින් දුම්මල ගසමින් මල් තට්ටුව උඩ තිබුන නුල් වලින් හදපු ටිකක් මහත වල්ලක් වගේ එකක් අතට අරන් එක කට ලගට අරන් මතුරන්න ගත්තා....

ඒත් එක්කම රන්දීගේ අමුතු කලබලයක් එක්කම ඉන්න තැනින් නැගිටින්න වගේ හදද්දී පොඩි මාමයි ගුරුන්නාන්සේගේ ගෝලයයි එයාව බිම ඉන්දවගෙනම තියා ගන්න අමුතු වෙහෙසක් ගත්තා කියලා අපිට පෙනුනේ බාප්පත් නැගිටලා ගිහින් රන්දිව අල්ලගත්තු නිසයි... ඒත් එක්කම වගේ උඩ තට්ටුවෙ බර දෙයක් අපේ ඔලුව උඩ තිබුන පොළොවට වැටෙන සද්දයක් ඇහුනයින් උඩ විසි උන අපි බයෙන් ගැහෙමින් එවෙලේ පඩි පෙළ දිහා බලන් හිටියේ ඒක දිගේ හොල්මනක් පහළට බහිනකන් වගෙයි! ඒ, උඩ තට්ටුවේ වැටුන දේ පඩිපෙළ පටන් ගන්න තැනටම පෙරලිලා ආවා වගේ අපිට ඇහුන නිසයි!  

තවත් ටික වෙලාවකින් නොසිතු පරිදි හැමෝගෙම බය, එක එක ශබ්දෙට කටවල් වලින් පනිද්දි අපේ පිටිපසෙන් බිත්තියේ එල්ලලා තිබුණු චිත්‍රයක් කඩාගෙන වැටුනේ ඒ කිට්ටුවෙන් ඉදන් ඉදපු කිහිප දෙනක්වම නැගිට්ටුවමින්! ඉදගන්නයි අතින් සන් කරමින් අමුතුම භාෂාවකින් මන්තර කියන්න ගත්තු ගුරුන්නාන්සේ සද්දෙන් ඒ මන්තරවල වචන ශබ්ධ කරමින් බර කරමින් මට හිතෙන ආකාරයට ‘මහා මන්තරේ’ කියන්න පටන් ගත්තා!

එයා මතුර මතුර ඉදපු නූල් වළල්ල අරගෙන ඒක කුඩා වෙන්න පැත්තකින් ගැටයක් දාලා බුලත් කොළයක් උඩ තිබ්බේ ඊලග පියවරට යන්නයි කියලා මම හිතද්දී "මොන කරදරයක්ද මන්දා මේ බල්ලෝ!! " යි කියමින් ලොකු නැන්දා සාලේ පැත්තේ තාප්පේ දිහා බලද්දී ඇත්තටම එතන බලු රණ්ඩුව ඉවර වෙලයි තිබුනේ... නැන්දට එහා පැත්තෙන් වාඩි වෙලා ඉදපු ආච්චි අම්මා "මොන බල්ලෝද?!" යැයි අසමින් මගේ දිහත් බලද්දී, නැන්දා මොනවා හරි කියන්න කට ඇරියත් නොකියා තාප්පේ දිහාම බලන් හිටියේ ඇයි කියලා එවෙලේ මට තේරුනේ නැහැ ... 


ගේ ඇතුලේ නානාප්‍රකාර ශබ්ද ඇහෙද්දී මම ගැස්සී ගැස්සී වට පිට බැලුවත් මට ලගින් ඉදපු අයගේන් මට ඇහුන ඒ සද්ද වලට කිසි ප්‍රතිචාරයක් නොතිබීම මට මුලින් ගැටළුවක් උනත් පස්සේ මට තේරුණා අපි හැමෝටම ඒ සද්ද ඇහෙන්නේ නැති බව...! වවුලෙක්ද මන්දා ජනේලේට මහා සද්දෙන් වැදුන එක නම් අපි ඔක්කොටම ඇහුනා හැබැයි...! එවෙලේ ජනේලෙට කිට්ටුවෙන් වාඩි වෙලා ඉදපු චිත්‍රා පැදුරෙන් නැගිටලා ගුරුන්නාන්සේගේ, ගෝලයා කෑගහද්දීම අපිවත් පෙරලගෙන බිත්තියක් ගාවට දිවුවා...! චිත්‍රා එක්කම වගේ නැගිටින්න ගිය මල්කිව පුංචි, අතකින් ඇදලා වාඩි කෙරෙවුවේ සැරේට බනින ගමන්! 


ගේ පුරාම අමුතු සද්ද වැලක් ඇහෙද්දි, ජනේල් තිර රෙදි ඇත් මෑත් උන තැනකින් ජනේලේ කිට්ටුවටම වෙන්න අහම්බෙන් වගේ මම දැක්කා අදුරු චයාවක් තියෙනවා!  එසැනින් අහක බලාගත්තු මම ඇස් වහගත්තේ ඒ ගැන නොහිතා ඉන්න උත්සාහ කරමින්... ගුරුන්නාන්සේගේ ගෝලයා ජනේලේ තිර අදින සද්දේ මට ඇහෙද්දී ඒ චායාව එයත් දකින්න ඇතියි මට හිතුනා... චිත්‍රා ඉකිගසමින් පැදුරට ඇවිත් වාඩි උනේ මම ඇස් අරිද්දියි! “කිසිම කෙනෙක් නැගිටින්න එපා!” යි ගුරුන්නසේගේ ගෝලයා සැරෙන් කිවුවේ ගුරුන්නාන්සේ ඇස් පියාගෙන නොනවත්වාම මන්තර කියද්දීයි! 

තවත් ටික වෙලාවක් ගත වෙන්න ඇති, මහා අමුතුම භයානක හැගීමක් මගේ හිතට පුරවමින් ඉද්දක් ගැහුවා වගේ එකපාරටම නැගිට්ට රන්දී, හරි කෙලින් පැදුර උඩ හිට ගත්තේ මට උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවමින්! එයාව අල්ලන් ඉදපු මාමලා දෙන්න එයාව නැවත වාඩි කරවන්න දගලද්දී මගේ බය ඉනිමගක් දිගේ නගිනවා වගේ නැග්ගේ එයා හැරිලා අපි දිහා බැලුව විදිහටයි... උබලව මරාගෙන මැරෙනවා වගේ හැගීමක් ඒ බැල්මේ තිබුනේ... ඇග සිතල වෙලා යන ඒ බැල්මෙන් අපි ඔක්කොම දිහා බලාගෙන ගිහින් ගුරුන්නාන්සේ දිහාවට හැරෙද්දීම ගුරුන්නාන්සේ නුලෙන් කලින් හදල තිබුන වළල්ල වගේ එක රන්දිගේ අත් වටයට දාලා එහි ගැටය තද කලා!

අත ඉස්සරහට දික් කරගෙන අතට උණුවතුර වැටුනා වගේ වේදනාවෙන් කෑගහමින් ඇඹරෙමින් රන්දී ගුරුන්නාන්සේ ලග දණ ගහ ගත්තේ දරාගන්න බැරි අමාරුවකින් වගේයි මට පෙනුනේ..! ඊලග විනාඩියේදී රන්දිගේ දැගලීම නැවතිලා පණ නැතිව මාමාගේ ඇගට වාරු වෙද්දී ගුරුන්නාන්සේ හිමිට මතුරමින් රන්දිගේ අතේ තිබුන නූල වළල්ලක් ගලවන ආකාරයට තොන්ඩුවේ ගැටේ තදකරමින්ම අතින් අයින් කරගත්තා! 

එක පාරටම සියලුම දේවල් වලට තිතක් තිබ්බා වගේ වට පිටත් සියල්ල නිශ්ශබ්ද වෙද්දී අමුතුම සාමකාමී බවක් මට දැනෙන්න ගත්තා කාලෙකට පස්සේ... ගුරුන්නාන්සේගේ අතේ තිබුන‘නුල’ සුදුපාට පොඩි බෝතලේකට දාපු එයා සැනෙකින් තවත් මන්තරයක් පටන් අරන්, රන්දිගෙන් ගලවගත්තු ‘නුල’ සහිත බෝතලය තම ගෝලයා අතට පත් කරමින් චිත්‍රාට ලගට එන්න කියලා එයාගේ නළලට අතක් තියාගෙනම මොනවද මුමුණලා තෙල් වගයක් ඔලුවේ ගැවා! 

දෙවි දේවතාවුන්ට පින් දෙද්දී ගුරුන්නාන්සේගේ ගෝලයා නූල සහිත බෝතලය ගෙදර බුදු පහන උඩින් තිබ්බේ ගුරුන්නාන්සේ පිරිත් කියමින් සෙත් පතත්දීයි! උදැසන 6 වෙද්දී සියලුම කාර්යන් ඉවර කළ ගුරුන්නසේ තොවිලේ අවසන් කරේ හැම දෙනාගේම සිත් සතන් සුවපත් වෙද්දියි! චිත්‍රාටත් සනීපයක් ලැබෙද්දී අපි දැක්කේ කලින් චිත්‍රාගේ අතේ බැදලා තිබුන නුල ජනේලේ ලග වැටිලා තියෙන හැටියි! එත් ඒක අතින් ගැල උනේ කොහොමද කියලා එයාවත් දන්නේ නැහැලු! 

ඊටත් වඩා පුදුමේ නම් රන්දිට ‘මන්තර නුල’ දාපු අත් වටයේ තද රතුවට කැළලක් තිබීමයි! කෙසේ නමුත් ඇල්ල ට්‍රිප් එක යන දවසේ උදේ අපේ පවුලේ අයගේ තිබුන මානසික නිදහස් බව අපේ හිත් වලට නැවත ඇවිල්ලා තිබුන බව හැමෝගෙම මුහුණු වල ලියවිලා තිබුනා! මමත් ඇතුළුව අපි හැමෝම අමුතු මානසික සුවයක් අත්විදිමින් හිටියේ හරියට ඔලුව උඩ තිබුණු කළු වළාවක් පාවෙලා ගිහින් එළියක් වැටුනා වගේ හැගීමක් එක්ක...

උදේ වෙද්දී ගුරුන්නාන්සේගේ කැස්ස හොදටම වැඩිවීම හේතුවෙන් ගුරුන්නන්සේව බෙහෙත් ගන්න එක්කන් ගිය බාප්පා එයාව එක්කන් එද්දී කැස්ස හොදටම අඩු වෙලා තිබුනා! උදේ අපි එක්ක කෑමත් ගත්ත ගුරුනාන්න්සේ ඒ අතරේදී එයාගේ අත්දැකීම් කිහිපයක් අපි එක්ක බෙදාගන්නත් අමතක කලේ නැහැ!  ගුරුන්නාන්සේ කිවුවේ කලින් ගෙනා කට්ටඩියා පෙරේත බන්දනයක් කර තිබු බවත් එවිට ඒ පෙරේතයෝ යන යන තැන පස්සෙන් එමින් මනුස්සයින්ව අනතුරු වලට තල්ලු කරන බවයි!

ලොකු මාමලා වාහන අනතුරකට ලක්වීම උදාහරණයක් හැටියට කියපු ගුරුන්නාන්සේ,  "මේ කාලේ කට්ටඩි එක්ක ගනුදෙනු හදාගන්න එපා! කොටි වලිගේ අල්ල ගත්තා වගෙයි අහු උනාම! පෙරේතයෝ එක්ක ජිවත් වෙන මිනිස්සු, දියුණුවක් නැතිව එක තැනම ලගින්නෙත් පෙරේත බැල්ම නොමිළේම ඔය කට්ටඩින්ටත් ලැබෙන නිසයි!"

"මතක තියා ගන්න රහමෙර පානය, මස් මාළු බැදුම් කෑම තහනම් කරන්නේ රහමෙර වලට බැදුම් මස් මාංශ වලට මිනිස්සුන්ට වඩා දස දහස් ගුණයකින් පෙරේතයෝ කැමති වීමයි! ඔය පෙරේතයෝ වෙන්නෙත් ඕනෙවට වඩා ඕවට ගිජු මිනිස්සු වීමම  තමයි හේතුව ! භූත ප්‍රශ්ණ වලට මුහුණ දුන්නම කාලයක් යනකන් තවත් භූතයෝ වටේ කැරකෙනවා... හරියට නිතර කාපු හෝටලේ ලග බල්ලෝ පුසෝ ගැවසෙනවා වගේ... ඒ නිසා මාස තුනක් හතරක් ඔය දේවල් වලින් වැළකිලා හිටියම හෝටලේ වහල නිසා බල්ලෝ පුසෝ නැවතිලා බලන් ඉන්නේ නැතුව යන්න යනවා වගේ, ඒ ආත්මත් හිමිට අයින් වෙලාම යාවි... " 

කි ගුරුනාන්සේ දවල් වරුවේ අනිත් ගෙවල් වලටත් ගිහින් ආරක්ෂාවක් කරලා ඇවිත් මාමලා එක්ක තමන්ගේ ගෙදර යන්න ලෑස්ති වෙලා අපෙන් සමු ගනිද්දී කිවුවේ, 

“ඔයාලට මේ ලැබුන අත්දැකීම්, අමතක කරන්න එපා...! අවතක්සේරු කරන්නත් එපා...! හොදට මතක තියාගන්න මේ වගේ නොපෙනෙන බලවේග වල, ගොදුරක් නොවෙන්න නම් මෝහොතකටවත් අමාරුවෙන් ලැබුන මනුස්සකම නැති කරගන්න එපා! නරක කර්ම ලං වෙද්දීත් හොද සිතින් හොද සිහියෙන් ලැබෙන දේ භාරගෙන මිනිස්සුන්ට උදවු කරගෙන ජිවත් වෙන්න...!"  

"විශ්වාස කලත් නොකලත් 'ධර්මය රකින්නාව, ඒ ධර්මය විසින් රකිනවා'! එක විශ්ව නීතියක්!” 

අර නූල දාපු සුදු පාට විදුරු බෝතලේ අරන් යන්නත් එයා අමතක කලේ නැහැ! ඒකට ගුරුන්නාන්සේ කලේ මොකද්ද කියලා අදටත් අපි දන්නෙත් නැහැ... කවුරුත් හෙවුවෙත් නැහැ!    


නිමි….! 



මායා ලෝකයන්ගෙන් පිටවී, මනුස්ස ලෝකයට එබෙන, අමනුස්සයින් ගැන, අනුදැකීම් කතා පෙළක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න!



සුබ දවසක් ඔයාලට! නැවතත් කතාවකින් හමු වෙමු!