තොවිලෙන් පස්සේත් නැවත පරණ කරදර පටන් ගැනීම වගේම ආච්චි අම්මගේ රෝගී තත්වයේද යම් වැඩි වීමක් පෙන්නුම් කිරීම හේතුවෙන් ආච්චි අම්මගේම තීරණය පරිදි අපි නැවත අපේ ගෙදර එන්න පිටත් උනා...! පෙර පරිදිම පුංචිලගේ ගේ ඇතුලේ තැනින් තැන සිද්ද වෙන අමුතු දේවල් වල අඩුවීමක් නොවුණු අතර දවසින් දෙකෙන් තත්ත්වේ උඩු දුවපු පිළිකාවක් වගේ පැතිරුනේ සතියකට විතර පොඩි පුංචිලාට තමන්ගේ ගෙදර වාසය අහිමි කරමිනුයි...!
තොවිල් වලින්ම බඩ පුරවගන්න අර හොර කට්ටඩියා දිගින් දිගටම තවත් තොවිලයක් කරන්න පාර කපාගන්න බාප්පලගේ පස්සෙන් වැටිලා හිටියේ තවත් තොවිලයක් නොකලොත් කවුරු හරි මැරෙන්න ඉඩ තියෙනවා කියමිනුයි.. ට්‍රිප් එක ගිහින් ආපු අලුත වත් අපි මුහුණ නොදුන් ආකාරයේ අප්‍රසන්න සිදුවීම් වලට මේ කට්ටඩියගේ පලවෙනි තොවිලෙන් පසුව අපිට මුණ දෙන්න සිදු වීම නිසාම නැවතත් කිසිම ආකාරයකට කිසිම දේකට ඒ කට්ටඩියව සම්බන්ද කර නොගන්න වගේම නැවතත් කිසිම කට්ටඩියෙක් ගේ පැත්ත පලාතෙකට වද්දා නොගන්නත් මාමාලා තීරණය කරලා තිබුනා..
රන්දිගේ තත්ත්වේ හොද අතට හැරිලා කියලා එයාව ගෙදර ගෙනාපු පොඩි මාමා ඊලග දවසෙම එයාව නැවතත් රෝහල් ගත කලේ, “ගෙදර ගෙනාවම තත්ත්වේ බරපතල උනා” යි කියමින්...! ඒ අතරේ ලොකු මාමගේ පවුලේ අය වාහන අනතුරකින් රෝහල් ගත වීම ආච්චි අම්මගේ මානසික සහනයට වැදුන ලොකුම පහර වෙමින් බලාගත්තු අතේ බලා ගෙන ඉන්න තැනට ආච්චි අම්මව පත් කලා...! අවසානයේ බලන් ඉදලා බැරිම තැන ආච්චි අම්මා තීරණය කලා තනියම හරි ගිහින් අබේපාල ගුරුන්නාන්සේව හම්බවෙලාම කතා කරනන..
“ගුරුන්නන්න්සේ ඉන්නේ දැන් අවිස්සාවේල්ලේ කියලා එයාගේ දුව කිවුවා! ඉතින් ඒ හැටි දුරක් නැහැනේ... අපි දෙන්න හෙට අනිද්දාට ඒ පැත්තේ ගිහින් එමුද දුව?!” ආච්චි අම්මා ඇහුවේ, මම අකමැති වෙයි කියලා හිතාගෙන කියලයි මට හිතුනේ... ඒ වෙද්දී මගේ සෙමිස්ටර්ස් පටන් අරන් තිබුන නිසා මම වැඩ ගොඩක හිටිය බව එයා දන්නවා... ආච්චි අම්මට මානසික සහනයක් ලැබෙනවා නම් මගේ වැඩ ටිකක් පහු උනත් මොකදයි සිතු මම “හරි! අපි අද යමු! ” කියාගෙන උඩට ගිහින් ඇදුමක් දා ගෙන එද්දී ආච්චි අම්මා ලෑස්තිවෙලා ඉදගෙනත් ඉන්නවා සාලෙට වෙලා!
“දුට පින් සිද්ද වෙනවා වැඩ අස්සෙත් මාව මේ ගමන එක්කන් යන්න කැමති උන එකට...!” යි කියමින් ඇස් දෙක පිහිදාගෙන එලියට බැහැපු ආච්චි අම්මා ගැන මට ඇති උනේ පුදුමාකාර දුකක්! කලින්දා රෑ පොඩි මාමාට මේ ගමන යන්න කථා කරත් එයාගේ අකමැත්ත වැඩ රාජකාරි වලට මුවා කරලා ප්‍රකාශ කරපු වෙලේ ඉදන් ආච්චි අම්මා හිටියේ පුදුමාකාර හිතේ දුකකින් බව මම දැක්කා..!
කමක් නැහැ! මාමලා කියන විදියට කට්ටඩියෝ ඔක්කොම බොරුකාරයෝ උනත් මේ ගමනෙන් ආච්චි අම්මගේ හිතට සහනයක් වත් ලැබෙයි නේ කියන අදහසින් මම ගමන යන්න පිටත් උනා..! ගුරුන්නාන්සේගේ දුවට සැරෙන් සැරේ කථා කරමින් පාර අහගත්තු අපි පැය 3 කට ආසන්න කාලයකට පස්සේ ගුරුන්නාන්සේගේ ගෙදරට ගියේ වයසක අයෙකුට අවශ්‍ය විදිහේ තෑගි ටිකකුත් අරගෙනයි...!
තේ වතු රබර් වතු මැද්දෙන් වැටුන පාරවල් හරහා ගිහින් අවසානයේ බොරලු පාරකට වැටුණු අපි මහා විශාල ගස් මැද්දෙන් ගිහින් නැවතුනේ පරණ කුඩා වලවුවක සිරියක් තිබුන ගෙදරක් ඉදිරිපිටයි...! වටේට ලැටිස් ගහපු පරණ කාලේ ගෙයක්! පන්සලක වගේ පොළොවට වැලි අතුරපු ඒ ගෙදර අපුරු නිහඩ සුන්දරත්වයකින් පිරිලා තිබුනා...
වාහනේ මිදුලේ නවත්තද්දීම සිනහවක් මුවේ රදවාගෙන ගෙයින් එලියට අවේ වයසක කාන්තාවක්.. අපිට ගෙට ගොඩවෙලා වාඩි වෙන්න කියපු ගුරුන්නාන්සේගේ දුව “තාත්තව එක්කන් එනකන් ඉන්න! ” යි කියමින් දොරින් නොපෙනී ගියා... ගෙනාපු තෑගි ටික වාහනෙන් අරන් එතන තිබුණු පොඩි මේසෙකින් තියපු මම නැවත එලියට බැස්සේ වට පිට බලන්න හිතාගෙනයි..
පොළවට හලලා තියෙන සිනිදු වැල්ල පාගමින් වත්තේ තියෙන ගස් වල පිපිලා තියෙන මල් බලමින් විනාඩි දහයක් විතර ගත කල මම ගෙට ගිහින් ඉදගනිද්දීම වගේ ගේ දොරින් මතු උනේ කන්නාඩි දාපු හොදටම වයසට ගිය කෙට්ටු උස සියා කෙනෙක්...! පරිසරයේ තියෙන එළිය අතින් මුවා කරමින් හිමීට ඇවිදගෙන ඇවිත් හිමින්ම වේවැල් හාන්සි පුටුවක වාඩි උනේ අපි දිහා බලමින්...
කලුපාට එක කෙස්ගහක්වත් නැති රැවුල පවා සුදුම සුදු උන වයස 100 ක විතර පෙනුමක් තිබුණු ඒ සියා ඉදගත්තට පස්සේ එයාගේ දුව “තාත්තට දැන් කන් ඇහෙනවා මදි... ටිකක් හයියෙන් කතා කරන්න වෙයි...! මම තේ ටිකක් හදාගෙන එන්නම්! ” කියමින් ගෙට යද්දී ඉදගෙන සිටි පුටුවෙන් ටිකක් ඉස්සරහට උන ආච්චි අම්මා ගුරුන්නාන්සේට දෙයක් කියන්න කට අරින කොටම වගේ හිමිට ඉදගෙන ඉන්න තැනින් නැගිට්ට ගුරුන්නාන්සේ මගේ ලගට ඇවිල්ලා මගේ නළලට අතක් තියලා වාහනේ දිහත් බලලා එලියට බැස්සේ නව පණක් ලැබුන කෙනෙක් වගේ අමුතු ප්‍රබෝදයකින්!
කෝකටත් කියලා මම එයාගේ ලගට ගියේ වයසක කෙනෙක් නිසා හදිස්සියෙවත් උදවුවක් ඕනේ උනොත් කියලා හිතලයි..! මම ලගට යද්දීම අතින් සන් කරලා මට නවතින්න කියපු ගුරුන්නාන්සේ වාහනේ ලගට ගිහින් ඇතුල බලලා බිමට නැවිලා මිදුලෙන් වැලි අහුරක් අරගෙන කට ලගට තියාගෙන මොනවද මුමුණලා, වාහනේ වටේටම දාගෙන ගිහින් හිනා වේගෙන ගෙට අවේ “දැනට ඔහොම ඉදපු දෙන්! ” කියාගෙනයි....
ප්‍රශ්න ගොඩක් ඔලුවට ආවත්, එකක්වත් කටින් පනින්න නොදී බොහොම ඉවසීමෙන් මම බලන් හිටියේ ඊළගට වෙන දේ ගැනයි! ආ පයින්ම වාඩි වෙන්නේ නැතුව ගේ ඇතුලට ගියපු ගුරුන්නාන්සේ නුල් වගයක් අරගෙන ඇවිත් “මෙහෙට අවා නම්” කියලා පුටුවකින් ඉදගත්තේ අපි දෙන්නවම ලගට කැදවමින්...! මුලින් ගියපු ආච්චි අම්මගෙ අතේ නුලක් බැදලා දෙවනුව මගේ අතෙත් නුලක් බැදලා “කොහොමද ඉස්කෝලේ හාමිනේ, දැන් අසනීපෙ හොදයිද බලන්නකෝ!?” කියමින් මගේ මුණ දිහත් බැලුවේ අපේ කටකින් වචනයක් එනකන් වෙන්න ඇති කියලා මට හිතුනා!
මොකද්ද ඇහුවේ කියලා මට තේරුනේ නැතත් ආච්චි අම්මට නම් තේරුණා කියලා මට හිතුනේ, ආච්චි අම්මගේ මුණ වෙනස් වෙලා ගියපු නිසා! “ඔව් ගුරුනාන්සේ, මගේ ඇගේ අමාරුව කොහෙන් ගියද කියලා නැහැ! ඔක්කොටම වඩා හිතට සනීපයි වගේ...” කියමින් පුටුවකට වැටුණු ආච්චි අම්මා ඇස් වලින් වැටෙන කදුළු හොරෙන් වගේ පිහදාද්දි, “කොයි තරම් වයසට ගියත්, ගුරුන්නාන්සේගේ ‘සිහි බුද්ධිය’ නම් තරුණයි කියලා, ‘ඉස්කෝලේ හාමිනේ’ කියපු එකෙන්ම මට තේරුණා!
ආගිය විස්තර කතා කරද්දී ගුරුන්නාන්සේගේ දුව තේ ගෙනාවේ “මේ අම්මා වෙන්න ඇති, කලින් දාකත් මට කතා කලේ!?” කියමිනුයි “ඔව් ඒ මම! ” යයි ආච්චි අම්මා උත්තර බදිද්දී... “තාත්තාට මම විස්තරේ කිවුවා, එත් කොහෙද ලෙඩ වැඩි උනාම තාත්තාට ගමන් බිමන් යන්න බැහැනේ!” කියමින්,
“තාමත් කරදරයි ද?” අහද්දීම, ගුරුන්නාන්සේ වාහනේ පෙන්නමින් කියනවා “ඔය ඉන්නේ එක්කෙනෙක් එක්කගෙනත් ඇවිත්! හැබැයි එයාගෙන් නම් ලොකු කරදරයක් වෙන්න විදියක් නැහැ! මොකද්ද උනේ කියලා කියමු බලන්න මට මුල ඉදලාම ” යි කියමින් කථාව පටන් ගන්න අවසර ලැබෙද්දී ආච්චි.අම්මා නිහඩ උනායින්, සිදු වූ සියල්ල පැවසීම මට භාර උනා...! සද්දෙන් කතා කරමින් මම විස්තර කරපු කතාව අවසානයේදී, මගේ උගුර ලෙලි ගිහින් වගේයි මට දැනුනේ...! පවත්වපු කතාවට ලැබුණු තෑග්ගට නම් මම අදත් සතුටු වෙනවා...!
ගුරුන්නන්න්සේ කියපු දේවල් වලින් හිතන්න වත් බය පැත්තක් නිරාවරණය උනේ මට අදටත් ගොඩක් දේවල් හිතන්න ඉතිරි කරමින්!
“කලාතුරකින්, පෙර කරපු යම් කුසලයක බලයෙන් බලවත් ආත්ම බවට පත් වෙන ඔය වගේ ආත්ම දුෂ්ඨ වැඩ කරනවා ජිවත් වෙන අයට! ඔය බලවත් උන ආත්ම වලට පුළුවන්, එක එක අවතාර විදියට පෙන්න එන්න! සත්ව වේශ විතරක් නෙවෙයි, මනුස්ස වේශේකින් උනත් මිනිස්සුන්ට පෙන්න ආපු වෙලාවල් තියෙනවා! අපි ඔහේ ජිවත් උනාට අපිට නොපෙනන කිදාහක් දෙනා අපිත් එක්ක ජිවත් වෙනවද, ගැවසෙනවද...! යක්ෂ පෙරේතයෝ විතරක් නෙවෙයි දෙවි දේවතාවුනුත් ගැවසෙනවා මිනිස්සු අතරේ විවිධ වෙස් අරන්!
එයාලගේ වේගවත් ගමන නිසයි මිනිස්සුන්ට නොපෙනෙන්නේ... අකුසල් ශක්තිය පෙරට අවාමයි, යක්ෂ පෙරේතයන්ටත් වෙලාවක් ලැබෙන්නේ මනුස්ස හිතට රිංගා ගන්න!... අනතුරක් කියලා දුර තියාම හිතට දැනුනම, අපේ හිත බය වෙනවා... ඇහැ, කණ, ශරීරය සීරුවෙන් තියනවා අවස්ථාවට මුණ දෙන්න! ඒ වගේ වෙලාවට මනස තුනී වෙනවා! ඇහැ, කණ වෙනදට වඩා පේනවා, ඇහෙනවා.... එතකොට තමයි නොපෙනෙන අයත් පෙන්නේ! මානසික රෝග කියලා, අහක් කරන්න පුළුවන් දේවල් තියෙනවා ඉස්කෝලේ හාමිනේ! එත් ඒ ගොඩට දාන්න බැරි කොටස විශාලයි!"
"හාමිනේගේ පුතාලා, රට රට වල ගිහින් ඉගෙන ගත්තු දේවල් වලින් වැහිලා ඉන්නේ...! අධ්‍යාත්මික නොවෙන හැම ඉගැන්විමක්ම, හැම විෂයක්ම තවත් මනුස්සයෙක් කියපු, එක්කෝ තවත් මනුසයෙක් හිතාපු දෙයක් විතරයි...! කටින් කට පැවතිලා ඇවිත් ශාස්ත්‍රයක් බවට පත් වෙලා! ඒවා ඉගෙන ගත්ත පළියටම සියල්ල දැනගෙන අවසන් වෙන්නේ නැහැ...!"
"ඒ ගොඩේ නැහැ මේ ලෝකෙන් පිට පවතින ලෝකේ ගැන... අවසානේ ඒ ගොඩ ගහපු දැනුමයි බදා ගත්තු සියල්ලයි දාලා අනිත් ලෝකෙට ගොඩ වෙද්දී තමයි මතක් වෙන්නේ අපි නොදන්නා තවත් දේවල් මේ ලෝකේ තිබිලා කියලා…! එතකොට ඉතින් ඒවා අවබෝධ කරන්න පරක්කු වැඩි නෙව...!” යි කියලා කථාව අවසන් කරලා කහින්න ගත්තු ගුරුන්නාන්සේ නැවතත් කතාව ආරම්භ කලේ,
“හොදයි දැන් පොඩි පුතාගේ දරුවා ඉස්පිරිතාලෙද තාමත්?!” යි අහද්දී, ආච්චි අම්මා කිවුවේ “ඔව්! පෙරේදා ගෙදර ගෙනල්ලා ආයෙත් අමාරු වෙලා අරන් ගියා නේ..!” කියලායි. “ඒ දරුවාව ගෙන්න ගන්න පුළුවන් වෙයිද ගෙදරට ලගකදි? කොන් ඉතුරු කරලා වැඩක් කරලා වැඩක් නැහැ...! මට දෙපාරක් තුන්පාරක් එන්න යන්න විදියක්, ඇගේ හයියක් ඇත්තෙත් නැහැ! මගේ දවසත් දැන් ලගයි කියලායි මට දැනෙන්නේ...! ඉතින් හාමිනේට පුළුවන් නම්, ඒ දරුවවයි අනිත් ලොකු දරුවොයි පොඩි ඇයො ටිකයි එක්කාසු කරලා ගෙදර තියාගන්න එක දවසකට,... මම එන්නම්! මේ වැඩේ ඉවරයක් කරලා දෙන්න!” යි ගුරුන්නාන්සේ කිවුවේ, සැරෙන් සැරේ ඇති උන වියලි කැස්සක් අතරිනුයි!
“හොදයි! එහෙම නම් ගුරුන්නාන්සේට ඉක්මනටම දවසක් කියන්නම් කෝ මම!” යි ආච්චි අම්මා කියද්දී, “හොදයි එහෙනම්!” කියල නැගිට්ට ගුරුන්නාන්සේ, ගෙට ගිහින් පොඩි දුබුරු පාට කුප්පියක් ගෙනත් මගේ අතින් තිබ්බේ, “මේක වාහනේ ඇතුලේම තියාගන්න! දුට වාහනේ යද්දී බයක් දැනුනොත් මේකෙන් බින්දුවක් නළලේ ගාගන්න!” කියමිනුයි... අපිට “ඔහොම ඉන්න!” කියලා එළියට ගියපු ගුරුන්නාන්සේ, කලින් වගේම නැවතත් වැලි ටිකක් අරන් කට ලගට කරන් මොනවදෝ මුමුණලා වාහනේ වහලෙට දැම්මේ “ මේ ඉඩමේ කොනකවත් ඉදලා අහු වෙන්න එපා!” යි සද්දෙන් කියමිනුයි!
වාහනේ ලගට අපි යද්දී ගුරුන්නාන්සේ කියනවා “මේ තෑගි ගත්තු තුම්මන් හන්දියේ තියෙන සුපර් මාකට් එකේ අයෙත් නවතින්න එපා! කිසිම තැනක නොනැවතී කෙලින්ම ගෙදර යන්න...!” ඒ ඇයි කියලා අහන්න හිතට ආවත් කැහ කැහ ගෙට යන ගුරුන්නස්සේව දැක්කම එක අමතක කරලා දැම්මේ මේ තරම් අමාරුවෙන්, අපි එක්ක කථා කරපු එකත් කොච්චරක් වටිනවද කියලා හිතමිනුයි...! ගුරුන්නාන්සේගේ දුවටත් යන්නම් කියලා එන්න පිටත් උන අපි ටික දුරක් නිශ්ශබ්දව වාහනේ ඉදිරියට ඇදෙද්දී ආච්චි අම්මා කියනවා..., “දුගේ සීයාගේ, අයියාගේ යාලුවෙක්නේ ඔය ගුරුන්නාන්සේ! දුවට මතකද, දුලා චුටි කාලේ ඒ සියා ආවා අපේ ගෙදර දුගේ සියා එක්ක... !
"දූට මතක නැතිව ඇති මගේ හිතේ..! මාව මුණ ගැහිලා තියෙන්නේ එක වතාවයි!...මම හිතුවේ නෑ අදුන්නලා දෙනකන් අදුන ගනීවි කියලවත් ! බලන්න ඉතින් අපිට වඩා කල්පනාව තියෙනවනේ...!” යි කියූ ආච්චි අම්මා නැවතත් ජනේලෙන් පිට බලාගෙනම නිහඩ උනා...
මගේ පොඩි දවස් වල මතක අතරින්, මතකයේ රැදුණු මුණක් උන ඒ ගුරුන්නාන්සේගේ මුහුණ අද වනතුරුත් ඒ විදියටම මගේ මතකයේ තියෙනවා යයි, මම නොකීවේ ආච්චි අම්මා මගෙන් උත්තරයක් බලාපොරොත්තු නොවුණු බව දැනුන නිසයි... වීදුරුවෙන් එලිය බලාගෙන කල්පනාවකට වැටුන ආච්චි අම්මට බාධාවක් නොවෙන්න නිශ්ශබ්දවම මම ඉතිරි මුළු දුරම අවේ, ගුරුන්නාන්සේගේ ‘වචන’ මතකයේ තැම්පත් කරගන්න කියපු දේවල් නැවත නැවත මතක් කර ගනිමිනුයි...!
වාහනෙන් බහිද්දී, ආච්චි අම්මා කිවුවේ “මාමලාව කැමති කරවා ගන්න එක තමයි, දැන් ප්‍රශ්නේ වෙන්නේ” කියලයි! ඒ කිවුවත් වගේ පොඩි මාමා එක හෙළාම විරුද්ධ වෙද්දී, ලොකු මාමා අනතුරෙන් සිද්ද උන සුළු තුවාල හොද උන ගමන් ලංකාවෙන් යනවායි කියමින්, තවත් කට්ටඩියෝ නම් අවශ්‍ය නැති බව තරයේම කියා සිටියා!
දැන් මොකද්ද කරන්නේ ආච්චි අම්මා බලාගත්තු අත බලාගෙන ඉන්නවා.. රෑට කෑවෙත් නැහැ...! ඒ මදිවට ආච්චි අම්මා, කවදාවත් නැතිව කාමරේ දොරත් වහගෙන! මට හීනියට වගේ අමුතු බයක් ඇති උනත් ආච්චි අම්මගේ හිත හදන්න, මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න සුදුසුම වෙලාවක් බව මතකෙට ආවයින් මම ලොකු මාමට කෝල් එකක් දීලා, විස්තරේ බොහොම බැරෑරුම් කරලා කිවුවා!
අනිත් පැත්තට පොඩි මාමාටත් කෝල් කරලා එයාට ඊට වඩා බැරෑරුම් කරලා කිවුවා! “ආච්චි අම්මා දවල්ට කෑවෙත් නැහැ... රෑට කෑවෙත් නැහැ... ඒ මදිවට හවස ඉදලම කාමරේට ගිහින් දොර ලොක් කරගෙන ඉන්නවා, තට්ටු කලාට අරින්නෙත් නැහැ! කතා කරන්නෙත් නැහැ.. කාමරේ ඇතුලෙන් කිසිම සද්දයක් නැහැ දවල් ඉදන්...” කියලා දෙන්නවම හොදටම බය කරලා තිබ්බා..!
ආච්චි අම්මට කාමරේ ලගට ගිහින් කතා කලාම එයා දොර ඇරියා... මාමල දෙන්න දැන් එන බවත්, ගුරුන්නන්සේව ගෙන්න ගන්න ඒ දෙන්නව කැමති කරවා ගන්න කරන්න ඕනේ දේවල් කියලා දීලා කාමරේට වෙලා දොර වහගෙනම ඉන්න කියලා මම සාලෙට වෙලා හිටියා මාමලා එනකන්!
වැඩියෙන්ම බය කරපු කෙනා ඉක්මනට ආවා... ආපු ගමන් කඩාගෙන බිදගෙන ආච්චි අම්මගේ කාමරේ ගාවට ගිය පොඩි මාමා, “අම්මේ මේ දොර අරින්න!” කියලා සද්දෙන් කිවුවා... ආච්චි අම්මා සද්දයක් නැහැ! ඒ අතරේම ලොකු මාමාත් ආවා... “මොකද්ද අම්මේ මේ කරන විකාර වැඩ! පොඩි ළමයි වගේ...! කෝ එන්න, එන්න එළියට!” කියාගෙන එයත් දොර ගාවට ගිහින් තට්ටු කරන්න ගත්තා!....
ම්හු...! ආච්චි අම්මා සද්දයක් වත් නැහැ! තවත් පැය කාලක් වගේ යන්න ඇති! දොරගාවට වෙලා කියව කියව ඉදල එපා උන පොඩි මාමා හයියෙන් දොරට ගහලා කියනවා, “මම කඩනවා, දොර ඇරියේ නැත්තන් දැන්ම!”යි කියද්දී, ලොකු මාමා පොඩි මාමාට බනින්න ගත්තා “මෝඩයෙක් වගේ කෑ නොගහ ඉන්නවා! අම්මාගේ හිත රිදිලා නේ ඉන්නේ...!” කියලා පොඩි මාමාවත් කථා කරගෙන පැත්තකට ගියපු ලොකු මාමා, පැය කාලක් වගේ කල කථාවකට පස්සේ, දොර ලගට ගිහින් කියනවා “හරි, හරි! දැන් එන්න අම්මේ එළියට! අපි ඒ තොවිලෙත් කරමු එහෙනම්!” කියලා! ටිකක් වෙලා ගියා, ම්හු… ආච්චි අම්මා සද්දයක් වත් නැහැ...!
එතකොටම පොඩි මාමා කියනවා “හරි අම්මේ දැන් ඇති මේ සෙල්ලම! අම්මා කැමති දෙයක් කරමු! දැන් හොද අම්මා වගේ එළියට එන්නකෝ, පින් සිද්ධ වෙයි!” කියලා බිදුණු හඩකින් කියද්දීම වගේ ආච්චි අම්මාගේ කාමරේ දොර අරුණා!
ලොකු උනත්, පොඩි උනත් දරුවෝ කවදත් දරුවොම තමයි කියලා මට හිතුනේ මාමලා දෙන්නම ආච්චි අම්මව බදාගෙන ටිකක් වෙලා හිටපු නිසයි! ඒ අස්සේ පොඩි මාමා හොරෙන් අඩනවා මම බලාගෙන! ආච්චි අම්මත් අඩනවා මන් දිහා බලලා හිනා වෙන ගමන්...! ඇස් කදුලෙන් තෙත් උනත් දෙමාපිය දරුවෝ අතරේ සෙනෙහස වර්ධනය කරවීම ගැන අමුතු සතුටක් ඒ දුක අස්සෙන් මගේ හිතට කාන්දු වෙනවා වගේ දැනුනා මට! නොදැනුවත්වම සැනසුම් සුසුමක් වැටෙද්දී, මට හිතුනේ “හරි දැන් ඒ නඩුවත් ඉවරයි නේ” කියලයි!