Friday, December 16, 2011

අහඹුද! අත්භුතද?!? (08 කොටස )


ගිය අවුරුද්දේ අගෝස්තුව, මට නම් ඇතටම මහා එපා කරපු මාසයක්! ඒකට හේතුව ඇල්ල  ට්‍රිප් එකේ අවසානය, අත්භූත සිද්ධි ගණනාවක ආරම්භය වීම! මම ඇතුළු මගේ පවුලේ බොහෝ දෙනෙකු, මුණ දීපු ප්‍රශ්න, කරදර අස්වාභාවික ස්වභාවයක්  ගැනීම සහ මේ හැම කරදරයක්ම 'ඇල්ල ට්‍රිප් එකට' සහභාගී වුන අයට සහ ඒ පවුල් වල අයට පමණක් සිදුවීම, ඒ හැම එකක්ම ට්‍රිප් එක පස්සෙන් ආපු ප්‍රශ්න බව, සනාථ කරන බවයි මගේ හැගීම! 

කථාව දින අනුව ගත්තොත්.., 

අගෝස්තු 15

ඊයේ සචි බාත්රූම් එකේ වැටිලා කකුලක් කෙටිලා ගිහින්ලු  ...! සචි කියන්නෙ, එයාගේ පිටි පස්සෙන් හෙවනැල්ලක් වගේ දෙයක් තියෙනවා එයා බාත්රූම් එකේ කන්නාඩියෙන් දැක්කා කියලාමයි...! දිලූ කියනවා ඒක ඇත්ත වෙන්න ඇති කියලා... මොකද එයත් මේ දවස් ටිකට සැහෙන්න වතාවක් බය උනාලු කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවා වගේ දැකලා... ට්‍රිප් එක දවස් වල වගේ පාන්දරට කාමරේ බිත්තියේ හෙවනැල්ලක් වැටිලා තියෙනවා එයා තව දවසක් දැක්කලු... දෙන්නම රෑට රෑට භය වෙන නිසා දැන් නිදා ගන්නේ පුංචිලාගේ කමරේ...

ඇත්තටම ගෙදරදී මටත් එහෙම නොපෙනෙන කවුරු හරි ඉන්නවා වගේ එහෙන් මෙහෙන් දැනිලා තිබුනත් ඇස් දෙකට නම් කිසිම විදියක හෙවනැලි චයාවන් වගේ දෙයක් ගෙදරදී තාම නම් මම දැක්කේ නැහැ... පිස්සු විකාර හීන නම් හැමදාම වගේ දකිනවා.... මගේ හීන පොතත් පිරිලා ගිහින් මේ ටික දවසට... හොයලා බලද්දී කවුරුත් මම වගේ හීනෙන් භය වෙලා නැහැ. මේ වෙනකන්... මම භය වෙන්නෙම හීනෙන්... එකත් හොදයි එක අතකට... හීනයක් නේ කියලා හිත හදාගන්න පුළුවන් නේ....  

ඒ අතරේ සැමන්තා වගේම ලොකු නැන්දත්, ගෙදර උදවුවට ඉන්න ගැනු කෙනත් බය වෙලා තිබුනා රෑ තිස්සේ ගේ ඇතුලේ කවුරු හරි ඉන්නවා වගේ දැනිලා...!  ගස් වැටෙන්නේ නැවිලා තියෙන පැත්තට කියන්නේ මේවට වෙන්න ඇති කියලයි මට හිතුනේ.... ආච්චි අම්මා කියන විදිහට හැමෝමටම වගේ මේ දවස් වල ඇහෙන්නේ අනිත් අය භය වෙන, භය උන කථා නිසා නිකනුත් බහුභූත පේනවා දැනෙනවා වෙන්නත් ඇති...   

වටේම ඉන්න අය බය වෙද්දී ලොකු පුංචි විතරක් සැනසීමෙන් හිටියේ... ට්‍රිප් එක ගිහින් ආපු දවසට පහුවෙනිදා ගිහින් ආරක්ෂාවට කියලා සුරයක් දාගත්තු නිසයි කියලා අපි දැනගත්තේ අද! 


අගෝස්තු 17

හීනෙන් ඇවිදින එක නොනවත්වපු රන්දී දැන් ගෙදරටම වෙලා බලා ගත්තු අත බලන් ඉන්න බව එයාව බලන්න ගිය දිලූ කිවුවා... ඒ නිසා මමත් රන්දිව බලන්න ගියා හවස.. රන්දී කථා කරන්නෙත් නැහැ...! අපි කියන ඒවා ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා... මම එයා එක්ක තනියම කථා කර කර පැයක් විතර ගත කරලා ගෙදර එද්දී රෑ 7 විතර උනා...

අපේ ලේන් එකට දාද්දි අහම්බෙන් ලාවට වගේ මම දැක්කා පාරේ අනිත් පැත්තට වෙන්න කරුවලේ මිනිහෙක් හිටන් හිටියා වගේ..! ඉක්මනට හැරිලා බලද්දී කවුරුත් නැහැ...! අනේ මන්දා, ඇහැ රැවටෙනවද කියලා… රෑ මම නිදාගන්න උඩට එද්දී නිකමට වගේ පාර පැත්තට තියෙන ජනේලයකින් එළිය බැලුවා... පාරේ තියෙන ලයිට් කණුවට ටිකක් එහායින් අදුරේ මම දැක්කේ කළු පාට මොකක් හරි දෙයක් තාප්පේ අයිනකට වෙන්න තිබුනා වගේ... ගහක හෙවනැල්ලක් වෙන්න ඇති කියලා ඇදට ආවත් ඒ සිතුවිල්ලෙන් ගැලවිල්ලක් නැති තැන නිකමට වගේ අයෙත් ගිහින් බැලුවා පාර පැත්ත ජනෙලෙකින්..!

 

කලින් දැක්ක දේ තාමත් ඉස්සරහ ගෙදර තාප්පේ ගාව තියෙනවා... කළු පොදියක් වගේ! එක පාරටම ඔලුවට, අවේ ‘කළු බල්ලෙක්’ වෙන්න ඇති කියලයි! 'කළු බල්ලෙක්' = හොල්මනක්ද!? එක පාරටම හිත ගැස්සිලා ගියා උනත්, මම ඒ ඇසිල්ලෙන්ම එළියට ගිහින්  බැලුවා! එතැන හිටියනම් එහෙම සතෙක්, ඒ සතා ඒ වෙනකොට එතන නැහැ ! විකාර, බල්ලෝ කළු උන ගමන්, ‘බලු හොල්මනක්’ වෙනවද!? හරියකට දැක්කා නම් තව කමක් නැහැ බය උනත්!  කියලා හිත හදාගත්තේ, පාට කන්නාඩියකින් බැලුවොත් හැම දේම පෙන්නේ ඒ පාටින් කියන්නා වගේ, බොරුවට උනත් බය වෙන්න ගත්තොත් කෙළවරක් නොවෙන නිසා! 



අගෝස්තු 18

ඊයේ බල්ලෙක් වගේ දෙයක් දැක්කා කියලා ඔලුවේ තියෙන නිසාම උදෙන්ම ගිහින් මගේ  බල්ලෝ දෙන්නව ගෙදර ගේනවා...! එත් තව ටික දවසක් අක්කලාගේ ගෙදරම තිබ්බනම් ඉවරයි කියලා හිතුනේ දවල් දවසෙම පාරෙ යන එන මිනිස්සුන්ට නිස්කාරනේ ගොරවන්න පටන් ගත්තු නිසයි ! බල්ලෝ දෙන්නා රෑ වෙද්දී ගේට්ටුව ලගට වෙලා ගොරව ගොරව ඉන්නේ මොකටද බලන්න මම එළියට ගියා...

මට ඇහුනා එහා ගෙදර බල්ලොත් බුරන සද්දේ,,! රෑ 8:35 යි වෙලාව... මේ වෙලාවට පාරේ කවුරු ඉන්නද… හොරෙක් වෙන්න ඇති ! ඉස්කෝල නිවාඩු මාසේ නිසා ගොඩක් ගෙවල් වල අය ට්‍රිප් ගිහින් ගෙවල් වහලනේ තියෙන්නේ.. මේ කාලෙට හොරු ගැවසෙනවා වැඩියි... ඊයෙත් දැක්කේ හොරකමේ ආපු කෙනෙක්වද දන්නේ නැහැ කියලා හිතුනත්… බල්ලෝ බුරද්දී එතනම ඉන්න තරම් හොරු එඩිතර නැහැනේ කියලා මතක් වෙලා, ඒ අදහස හිතෙන් අයින් කරගෙන මම පොඩි  ගේට්ටුවෙන් ඔලුව දාලා බැලුවා... ම්හු…පේන මානෙක නම් කවුරුත් නැහැ!

සර්පයෙක් දැකලද දන්නේ නැහැ බුරන්නේ කියලා හිතුනත්, හිත කියන්නේම වෙන දෙයක්... කෝකටත් කියලා ට්‍රිගර්ව අරගෙන ගිහින් බලනවා කියල හිතලා එයාව ලීශ් එකට දාද්දි, එහා ගෙදර වීරසිංහ අන්කල් රොජර් ව අරන් එළියට බැස්සා මට ඇහුනා ! දැන් නම් බයවෙන්න දෙයක් නැහැ... වීරසිංහ අන්කල් ඉන්න එකේ කියලා මමත් ඉක්මනට ට්‍රිගර්ව අරන් එලියට බැස්සේ  "මේගොල්ලෝ ගොරවන්නේ සර්පයෙක්ට වෙන්න ඇති අන්කල්" කියමින්...  

හරි හදිස්සියකින් වගේ එළියට පැනපු ට්‍රිගර්, මහා හයියෙන් ගොරවගෙන බුරාගෙන ඉස්සරහ ගෙදර තාප්පේ දිහාවට දිවුවේ, මාවත් අදගෙනමයි! ට්‍රිගර් ගේ කාය ශක්තියට සම වෙන්න බැරිව, දෙවටයක් අතේ කරකවන් හිටිය ලීශ් එකට අල්ල කැපිගෙන යද්දී මම ලීශ් එක අත ඇරියා! 

රොජර් ව අන්කල් අල්ලන් හිටියේ නැහැ, නමුත් රොජර් කලෙත් ට්‍රිගර්ට එකතු වෙලා ‘පිස්සු වැහිලා’ වගේ අපේ ඉස්සර තියෙන ගෙදර හිස් තාප්පෙට බුරපු එකයි, ටිකක් බලන් ඉදලා අන්කල් කියනවා, “ සර්පයෙක් වෙන්න බැහැ දුව ... හොරෙක්ද දන්නේ නැහැ... ඒකයි මම රෝජර්ව එළියට දැම්මේ”  කියලා කියද්දීම බිරිල්ල නවත්තපු බල්ලෝ දෙන්නම, අපේ පැත්තට හැරිලා ඇවිදන් ආවේ “ආ.. දැන් හරි ඔන්න” කියන්නා වගේ!

“කොකොටත් මම රෝජර්ව ටිකක් ඉස්සරහට අරන් යනවා, දුව ට්‍රිගර්ව ගෙට ගන්න.. මෙතන හොරෙක් ඉදලා ගියා වෙන්නත් බැරි නැහැ!”  කියාගෙන අන්කල් රොජර් එක්ක ඉස්සරහට ඇවිදගෙන යද්දී, මම ට්‍රිගර්ව ගෙට ගත්තේ... ඇත්තටම හොරෙක්ද දන්නේ නැහැ කියලා හිතමින්! "මේ ලෙන් එකට හොරුන්ගේ ආකර්ශනය වැඩි කොහොමත්" ආච්චි අම්මා කිවුවේ මම නිදා ගන්න උඩට එද්දියි...


අගෝස්තු 20

බල්ලෝ දෙන්න මොන එකකට බුරනවද මන්ද !? රෑට හරියට නිදාගන්නත් නැහැ සද්දේ නිසා! හෙටත් බලලා අයෙත් ගිහින් දානවා කියලා හිතාගෙනම, දවල් වැඩ ඉවර කරගෙන සෑම් එක්ක රන්දිව බලන්න ගියා… රන්දිගේ හැසිරීමේ යම්කිසි අස්වාභාවික ගතියක් තිබුනා කියලයි මට හිතුනේ! එයා කථා නොකෙරුවත් හොදින් සවන් දීගෙන ඉන්නවා කියලා දැනුනා මට .. ඒ හොරෙන් වගේ කතා කරන අය දිහා එයා බලපු නිසා වෙන්න ඇති...! එයා සිහියෙන් ඉන්නවද කියලා මට සැකයි..! මොකද එයා නිශ්ශබ්දව ඉන්න කෙනෙක් නොවෙන නිසා! 

“රන්දි කෑම කන එකත් අඩු කරලා” කියලා, පුංචි කිවුවේ අඩ අඩා.... “කොහෙද ඕගොල්ලන්ගේ මාමා දොස්තරලා පස්සේ යනවා මිසක්, නුලක් මතුරලා දාන්න වත් කැමති නැහැනේ! .... එයාට දවසක තේරෙයි දොස්තරලටත් කරන්න බැරි දේවල් මේ ලෝකේ තියෙනවා කියලා… ඒ වෙද්දී පරක්කු වැඩි වෙයිද කියලයි මට බය!”

ඇත්ත, අපි විශ්වාස කලත් නොකලත් පවතින දේ පවතිනවා... අත්භූත දෙයක් උනත් ඒක අපි පිළි නොගත්ත කියලා අහෝසි වෙන්නේ නැහැනේ ..... මාමා මේ ගැන මැදිහත්ව හිතුවනම් මේ ප්‍රශ්නෙන් රන්දී මෙතරම් දුක් විදින්නේ නැති වේවි කියලා මටත් එවෙලේ හිතුනා!... 


අගෝස්තු 21

දවල් කෑම ගනිද්දී, කෝල් එකක් අවා දිලුගෙන්... "පොඩි පුන්චිවයි, මල්කිවයි බල්ලෙක් හපලලු! [පස්සේ දැන ගත්තේ, හපලා නෙවෙයි හපන්න පැනලා විතරයි ] පාරේ යන මිනිස්සු දෙන්නෙක් තමයි බල්ලව එළවලා බේරාගෙන තියෙන්නේ!  (ඒ වෙද්දීත්, රන්දිගේ නංගි මල්කි, හිටියේ පොඩි පුංචිලා එක්ක) ‘පිස්සු බල්ලෙක්’ නම් තමයි වැඩේ! නගර සභාවෙන් එනවා කිවුවලු, බල්ලව අල්ලාගෙන යන්න! ඒ පැත්තේ මිනිස්සුත් බල්ලව හොයන්න try කරලා ..  ඌව හොයාගන්න උනේ නැහැලු!" කියූ දිලූ තවත් ඕපාදුප ටිකක් කියවලා කථාව අවසන් කළා

ආච්චි අම්මට විස්තර කියද්දී මට හිතුනේ… “මේ දවස් වල ඇහෙන්නෙම බලු ප්‍රශ්නද මන්දා” කියලයි… 


අගෝස්තු 23

හවස ආච්චි අම්මා එක්ක පන්සලට ගියේ බණක් කියවන්න දවසක් යොදාගන්න, ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න හිතා ගෙනයි! ආච්චි අම්මා ලොකු හාමුදුරුවෝ එක්ක කතා කරලා එනකන් මම බුදුන් වැදලා,  බෝධිය නාවන්න හිතාගෙන කලේ පුරව ගන්න ටැප් තියෙන පැත්තට ගියා... පන්සල පිරෙන්නේ පෝයට විතරයි නේ කියල හිතමින් වතුර කලේ පිරෙනකන් මම බැලුවේ පන්සලේ තාප්පේ බැවුම් වෙන පල්ලම පැත්තේ කැලේ වේලා ගිහින්... වල් වැවිලා..! 

එක කලයක් නාවලා ඇවිත්, කැලේ පැත්ත බලාගෙන තවත් වතුර කලයක් පුරවද්දී  මම දැක්කා, පල්ලමේ අදුරේ තියෙන පදුරු අතරින්, රතු පාටට හුරු පොඩි බෝල දෙකක් වගේ දෙයක්! වතුර පුරවන තැන තිබුන ලයිට් එලිය තරමක් දුරට පදුරු අතරට වැටිලා නිසා හොදට පේනවා...

සතෙක් වෙන්න ඇති කියලා හිතලා …මම ඒ වතුර කලෙත් නාවලා, නැවත එද්දී බලාගෙන ආවේ ඒ සතා ඉන්නවද කියලා… කලින් තැනම නොවුනත් ඊට ටිකක් මෙහායින්, කලින් හිටියට වඩා ටිකක් තාප්පේ ලගට වෙන්න, ඒ රතුපාට බෝල දෙක තියෙනවා දැකපු නිසා මම, නිකමට වගේ ගල් කැටයක් අරගෙන, ඌ හිටපු පදුරු අතරට ගැහුවා... ඌව බය කරන්න හිතාගෙන වගේම රතු ඇස් තියෙන සතා මොකාද කියලා බලා ගන්නත් එක්ක... පුදුමේ කියන්නේ ඌ හෙල්ලුනේවත් නැහැ!

තව ගල් කැටයක් අරන් එල්ල කරලා ඌටම වදින්න ගැහුවා! හරියටම සතාටම වැදුනත් ඌ නෙවෙයි එක දශමයක් හෙල්ලුනේ!  "මු යකෙක් නේ!!" කියලා, කියවුනා මට! ‘වචනාර්ථය’, බය එක්කන් ඔලුවට එද්දිම වගේ මම කලේ තියලා ඉක්මනට බුදු ගේ පැත්තට අවා! මේ සිද්ධියට කිසිම සම්බන්දයක් නැති උනත්, හිතේ සැකේට එවෙලේම මම කෝල් කලා දිලුට! “ MC එකෙන් ඇවිත් අර බල්ලව අල්ලන් ගියාද” ...ඇහුවම දිලූ කිවුවේ ඒ මිනිස්සුන්ට බල්ලව හොයා ගන්න බැරි උන බවයි!.... ඒ සතාව දැකපු කෙනෙක් වත් හොයාගන්න ඉදලා නැහැ කියපු දිලූ කතාව අවසන් කලේ “එකත් මාර වැඩක් තමයි” කියමින්!  


ආච්චි අම්මා සැප්තැම්බර් 10 වෙනිදට පිරිතකට දින යොදාගෙන!…

ගෙදර එන්න පිටත් වෙද්දී මට හිතුනේ, පන්සලේදී සතෙක් ද කියලවත් නොදැන, නොදැක… බොරුවට බය උනා කියලයි!



" නෙලුම් ඔයාට, දැකලා බය වෙන්නත් දවසක් එනවා ලගදීම!"

ඉතුරු ටික දෙවෙනි කොටසින් බලාපොරොත්තු  වන්න  

නැවත හමු වෙමු!   

Thursday, December 8, 2011

අස්වාභාවික දවස් තුනක් !!! (06 කොටස )


අගෝස්තු 10

උදේ නැගිටිද්දී වෙලාව 7 ත් පහු වෙලා… රෑ තිස්සේ නින්දක් නැහැ බල්ලෝ දෙන්නගේ සද්දෙත් එක්ක… පාන්දර 2:20 ට දිලූ ගෙන් මට කෝල්ස් 2 ක් ඇවිත්! cl me asap! මැසේජ් එකකුත් ඇවිත්! මොකද මේ හදිස්සිය... උදේ වරුවේ ආයෙත් ගෙදරට වත් කෝල්ස් අරන් නැති නිසා, දැන් හදිස්සියක් නැතිව ඇති නේ කියලා හිතලා මම නාන්න ගියා! නාලා එනකොට, අයෙත් කෝල්ස්  2 ක් ඇවිත් ෆෝන් එකට! පහලට ගිහින්ම කෝල් බැක් කරනවා කියලා හිතලා ඉවර කරද්දීම ගෙදර ෆෝන් එක රින්ග් උනා.. 

"පොඩි දු ..., ඔයාට කෝල් එකක්, දිල්කිගෙන්...!" කෝල් එක ආන්සර් කරපු ආච්චි අම්මා පහළ ඉදන් කෑගහනවා...මම කෝල් එක receive කරන්න මම පහළට ගියා! 

හරීම හිතවත් කමින් කථාව පටන් ගත්තු දිලූ “දිය වෙනකන්ද නැවේ!?! මම දැන් කි පාරක් කෝල් කලාද!?!  මිස් කෝල්ස්  තියෙනකොට කෝල් back කරන්න බැරිද?! ” 'ශ්‍රියා කාන්තාව මෝල් ගහ ගත්තා වගේ' බැනගෙන බැනගෙන ගිහින් ඇති උනාට පස්සේ, කියන්න අවශ්‍ය කාරණේට බැස්සා...

“ඊයේ රන්දී අයෙත් නින්දෙන් ඇවිදලානේ!... කාමරේ දොර අරින්න හදන වෙලේ, ඒක නවත්තන්න ගිහින් මල්කිගේ අත හපලා..., නැගිට්ටම රන්දිට මුකුත් මතක නැහැලු! ගෙදර ඉන්න බයයි කියලා, මල්කිව අපේ ගෙදර ගෙනාවා පාන්දර!”

හවස රන්දිව බලන්න යමුයි කථා වෙලා ෆෝන් සාකච්චාව ඉවර කල මම, ආච්චි අම්මාටත් විස්තරේ කියලා උඩට එද්දී, මගේ ඔලුවට අවේ, පෙරේදා රෑ දිලූ එවපු msg එක!... රන්දිගේ නංගි වුනු මල්කි ගෙදර ඉන්න බය නොවී තියේයි ද, ට්‍රිප් එකේදී  වුනු දේවල් මතකේ තියෙනකන්!.... ඒක ගිහින් ඇවිත් දවස් 2 යි ගියේ, 'මළ කරදරේ' ආයෙත් පටන් ගත්තා වත්ද?!.... හිමිට එකින් එක ට්‍රිප් එකේ අප්‍රසන්න මතක ඔලුවට එද්දී ... සනීපෙට නාලා හිටපු මට දාඩියත් දාලා!
 
දවසේ කරන්න තිබුණු වැඩ ටික ඉවර කරගෙන 3 වෙද්දී රන්දිව බලන්න යන්න ලෑස්ති වුනු මම, යන වටෙන් දිලුවත් එකතු කරගෙන හවස 4 වෙද්දී පොඩි මාමලාගේ ගෙදරට යන්න පිටත් උනා...ඒ යන අතරේ දිලූ කියනවා… 

“මම කියන්නම කියලා හිටියේ... ගෙදරදී ඔයාට මුකුත් වෙනසක් එහෙම දැනුනද??.... එයා අහන දේ මට තේරුනත් මම දිලූ දිහා මුකුත් නොතේරෙන කෙනෙක් වගේ බැලුවා.. 

"අනේ මන්දා, මට දැනෙනවානේ මගේ පිටි පස්සෙන් කවුරු හරි ඉන්නවා ඉන්නවා වගේ කොයි වෙලෙත් ...! එක පාරක්, මම හොදටම බය උනා කණ්නාඩියෙන් මොකක් හරි මගේ පිටිපස්සෙන් තියෙනවා වගේ දැකලා...නිකන් චායාවක් වගේ... එත් මම අම්මට කියන්න ගියේ නැහැ මේ මොකවත් ...! මේ දවස් ටිකේම, නංගිත් බැනුම් අහ අහ ඉන්නේ හැම එකටම බොරුවට බය වෙනවා කියලා....!” 

එවෙලේ ප්‍රති උත්තර දෙන්න කලින් මම ටිකක් හිතුවා!... ඇත්තටම මමත් ගෙදරදී සෑහෙන්න බය වෙනවා මේ දවස් වල... මගේ කාමරේ, ගෙයින් එළියේ හවසට, රෑට බාත්රූම් එකේදී, මම ඇරුණම තවත් අය ගැවසෙනවා මට දැනිලා තියෙනවා... ඒ කිසි දෙයක් මම දිලුට කියන්න ගියේ නැහැ...! ඒත් එළියට එන්න පොරකන බයක් මගේ හිතෙත් තියෙනවා...!   ආච්චි අම්මා හවසට දාන පිරිත් ඇහෙන නිසා ඒක යටපත් වෙනවා කියලා මට හිතෙනවා..! 

අනික 'ගිහිල්ලා ඉවර උන පෙරහැරට පාවඩ දාන්නේ මොකටද'..., මේ බය යටපත් කරලා දාන තරමට හොදයි කියලා මට හිතුන නිසා  “නිකන් හිතේ බයක් අනේ ඕක!! මමත් සෑහෙන්න බොරුවට බය වෙනවා මේ දවස් වල...” කියලා මට උනේ නැතී ඒවත් අතින් දාලා, දිලුගේ හිත හැදුවා! 

4:40 වෙද්දී රන්දිලගේ ගෙදරට ගොඩ උන අපි, නැන්දා එක්ක ටිකක් කථා කරලා, දවසම කාමරේට වෙලා ගතකරපු රන්දිව හොයාගෙන එයාගේ කාමරේට ගියා... රන්දිගේ මුණ ඉදිමිලා වගේ කියලායි මට හිතුනේ... "අඩන්න ඇති "...! ඇදෙන් ඉදගත්ත අපි දෙන්න, රන්දිගෙන් එක පාරටම ඇහුවේ එකම ප්‍රශ්නේ ... 


"මොකද උනේ?"... 


"මන්දා!... මම නංගිව හපලා!..... එත් මට මතක නැහැ එහෙම කරනවා... මට මොනා වෙලාද කියලා මට තේරෙන්නේ නැහැ...! අද නිදාගත්තොත්, හෙට නැගිටින්න වෙන්නේ නැති වේවි කියලා මට හිතෙන්නේ...! මම නිදාගන්නේ නැහැ අද! මට බැහැ නිදා ගන්න...!"  කදුළු වැල් අස්සෙන් රන්දී කියාගෙන ගියා... අපේ ජිවිත,මේ කෙහෙල්මල් ට්‍රිප් එක නිසා කණපිට හැරිලා කියලා එවෙලේ මට හිතුනා! 
  
5.30 වගේ වෙද්දී, රන්දිලා එක්කම පන්සලට ගියා අපි දෙන්නත්… රෑ 7 විතර වෙනකන් පන්සලේ ගත කරලා, ගෙදර එන්න පිටත් උනේ රන්දිගේ ඇඩිල්ල මැද්දෙයි... " මට තනියම ඉන්න බයයි...!! රන්දී අන්තිමට කියපු දේ ගෙදරට එනකන්ම  මගේ කණ ඇතුලේ ඇහෙනවා ඇහෙනවා වගේ.... අදත් මොනා හරි වෙලා තිබුනොත්  "හෙට රෑට අපේ ගෙදර නවතින්න එන්න කියන්න ඕනේ " කියලා හිතෙන්ම හිතලා, දිලුව බස්සලා, ගෙදර ඇවිත් රෑ නිදා ගත්තේ මහා පාන්දර කෝල්ස් එන්නේ නැතිවේයි කියලා හිතාගෙනයි ...



අගෝස්තු 11


මහ විකාර හීන ගොඩක් එක්ක, බල්ලන්ගේ ගෙරවිලියි ,උඩු බිරිමයි නිසා නින්දත් නොනින්දත් අතරේ පෙරදා රැය වගේම ඒ රැයත් ගෙවිලා ගිහින් ... මම නැගිට්ටේ ඔලුවේ පැත්තකින් එන කැක්කුමකුත්, රෑ තිස්සේ මැරතන් එකක් දිවුවා වගේ මහන්සියකුත් එක්ක..! ඇදෙන් නැගිට්ට ගමන් ෆෝන් එක බලපු මට දැනුනේ ලොකු සැනසීමක්! එක කෝල් එකක් වත් ඇවිත් නැහැ!  'ඇති යාන්තන්'!

කෝපි එකක් හදාගන්න පහලට බහිද්දී, මේ ලේන් එකේ කෙනෙක් ඇවිත් ආච්චි අම්මා එක්ක කථා කරලා යනවා මම දැක්කා… එයා අවේ ඇයි කියලා දැන ගන්න ආච්චි අම්මා ගෙට එනකන්, සාලේ ඉදන් උන්නු මාව දැක්කම ආච්චි අම්මා කිවුවේ,...

"බල්ලෝ දෙන්නව අක්කලාගේ ගෙදරවත් ගෙනිහින් දාන්න පුතේ ටික දවසකට! ගේ වටේම දුවනවා රෑ තිස්සේ! මේ දවස් ටිකේම ඔහොමයි.... උඩු බුරන නිසා මේ ලග ගෙදරක ඉන්න පොඩි අය රෑට බය වෙලා ඇහැරෙනවා කියන්නේ...! මේ ගොල්ලොන්ගේ සද්දේ නිසා මටත් රෑ තිස්සේ නින්දක් නැ.....!”

"හ්ම් ..." කියාගෙන කුස්සියට ගිය මම නිශ්ශබ්දවම කෝපි ඒක හදාගෙන මිදුලට බැස්සේ, ටිකකට කූඩුවට දාපු ට්‍රිගර්ව එළියට ගන්න! ඒ ටිකට දුවලා ගිහින් බෝලයක් හොයාගෙන කෙළ තලියකින් ඒක නාවමින් මගේ කකුල් ලගට ගේන ට්‍රිගර් ඒ කෙළ බොලේ මගේ කකුලේ ගාන්නේ හරිම සතුටින්... ඒ අස්සේ ඩෑෂ්, නැට්ට ගැලවිලා විසි වේවි කියලා හිතෙන තරමට හොලවාගෙන දුවගෙන එන්නේ දැන් බෝල විසිකරන සෙල්ලම කරන්න හදනවා කියලා හිතාගෙනයි ...

බල්ලෝ දෙන්නා අක්කලාගේ ගෙදර ගිහින් දාන්න...! හිතනකොටත් පපුව හිර වෙනවා වගේ! එත් මොනා කරන්නද, මේ දෙන්නගේ අමුතු හැසිරීම හොද අතට හැරෙනකන් එහෙ ඉදපුවාවේ, කියලා හිත හදාගෙන... හවස් වෙද්දී දෙන්නවම ගෙනිහින් දාලා ආව... මගේ හිත වගේම වත්තත් පාලුවට ගිහින් කියලා මට දැනුනේ, ගෙදර ආවමයි...! ඇගෙන් කැල්ලක් නැති වෙලා වගේ හිස් හැගීමක් එක්ක, මහා පාළුවකින් එහෙට මෙහෙට වේවි දවස ගත කල මම, අක්කට 5 වෙනි පාරටත් කෝල් කරලා බල්ලෝ දෙන්නා ගැන අහලා... රෑ 9 වෙද්දී නිදාගන්න ඇදට පැන්නා!

බල්ලොන්ගේ පොඩි දවස් ගැන හිත හිත ඉදලා මට නින්දත් ගිහින්...! රෑ ජාමේ ලාවට වගේ මට සද්දයක් ඇහුනා! මට හිතුනේ මගේ ෆෝන් එක රින්ග්ස් යනවා කියලයි...! ටක් ගාලා ෆෝන් එක අරන් 'යේස්‌' කරලා කණේ තියා ගත්තා... කිසිම සද්දයක් නැහැ..! මම දෙපාරක් හෙලෝ කියලාත්, සද්දයක් නැති තැන... Light එක දාලාම ෆෝන් එක check කලා...කෝල්ස් ඇවිත් නැහැ නේ..!? මම හීනයක් දකින්න ඇති කියලා හිතුවත්, සද්දයක් ඇහුන බව නම් විශ්වාසයි !

ඒ ගමන ෆෝන් එක mute කරලා මම නිදාගත්තා… කෝයි තරමක් වෙලා ගියාද මන්දා, අයෙමත් සද්දයක් ඇහෙනවා මොන ලෝකෙන් හරි... මේ මොන විකාරයක්ද! හොද සිහියට අවාමත් ඇහෙනවා ලාවට ඒ සද්දේ!... මම light එක දාලා ඇදේ ඉදගෙන අහගෙන හිටියා... ඔලුව ඇතුලෙන් ඇහෙනවා ද මන්දා... පාන්දර 4 ටත් කිට්ටු වෙලා, දෙගිඩියාවකින් හිත ගැහෙද්දි, ගග දිගේ ගියාම මුහුදට වැටෙනවා වගේ බය දිගේ ගියොත් තව තවත් බය වෙන ඒක විතරයි නේ වෙන්නේ, මොකටද බලෙන් බය වෙන්නේ, කියලා හිතලා ඔලුවේ ඉදන් පෙරවාගෙන සද්දෙට කන් දීලා හිටියා... ටික වෙලාවකින් මට නින්ද ගිහින්! 



අගෝස්තු 12 


උදේ නැගිටලා ෆෝන් එක බලද්දී මිස් කෝල්ස් 3 යි දෙකක් දිලුගෙන් පාන්දර 4:05 ට ඇවිත් තියෙන්නේ.. අනික සෑම් ගෙන්! උදේ 6 ට වගේ අරන් තියෙන්නේ !.... සෑම් ට අරන් බැලුවා no answer නිසා මම දිල්කිට කෝල් කරලා බැලුවා….එයාගේ ෆෝන් එකත්  ඕෆ්... නිකමට වගේ මම සචි ට අරන් බැලුවා... ගත්ත ගමන් සචී කියවගෙන කියවගෙන ගියා... 

"අක්කා ඊයේ රෑ බය වෙලානේ හොල්මනකට, ඇදෙන් පනින්න ගිහිල්ලා වැටිලා, අතේ ඇගිල්ලක් කැඩිලා! හොස්පිටල් අරන් ගියා පාන්දර... දැන් ටිකකට කලින් ගෙනාවේ... දැන් නම් නිදි!"…  “ආආ එහෙමද...! හරි, මම එන්නම් හවසට ඔය පැත්තෙ! "  කියලා ෆෝන් එක තිබ්බ මම, මගේ වැඩත් ඉවර කරගෙන 3 පහුවෙද්දී ඇදගත්තේ දිලුව බලන්න යන්න… 

ගේට්ටුව වහන්න මාත් එක්කම එළියට ආපු ආච්චි අම්මා කීවුවා “දැන් පොඩි පුංචි කථා කලා, ඊයේ රෑ ආශාගේ දුවත් බය වෙලා කියන්නේ..! ඔක්කොමලව එකතු කරගෙන බණක් වත් කියවන්න ඕනේ...! හිත බය උනාම හැම එකම පේන්නේ අවතාර වගේනේ..! ළමයෝ, රෑ වෙන්න කලින් ගෙදර එන්න හොදේද..."  කියාගෙන ගේට්ටුව වැහුව ආච්චි අම්මා එතනින් නොපෙනී ගියා…

මගක් යනකොට සෑම් ගෙන් කෝල් එකක්.…"උදේ swimming ගියා.. ෆොන් එක locker එකේ දාලා ඇවිත්... අයේ ගිහින් ගේනවා... මේ දවස් ටිකේම හරියකට නිදා ගන්න වත් උනේ නැහැ අනේ! අද පාන්දර මම හොදටම භය උනා විකාර හීනයක් දැකලා.. ඒ මදිවට කවුරු හරි පිටිපස්සේ ඉන්නවා වගේ දැනෙනවා හැම වෙලේම... වැඩක් නැ කියලා, මට නම් එපා වෙලා ඉන්නේ මෙහෙ ඉදිල්ලත් දැන්!..” යි කියාගෙන ගියා… 

" කීයට වගේද ඔයා හීනෙන් භය උනේ".. මම ඇහුවා "පාන්දර 4 යි ඇහැරෙද්දි .. අමුතු සද්දයක් ඇහුනා.. ඒත් එක්කම මගේ ඇග ඇතුලේ වෙන කෙනෙක් ඉන්නවා කියලා දැක්කා... හරි අමුතුයි ඒ හීනේ.."

"ම්ම්ම්ම් ..වැඩිය හිතන්න එපා සෑම්!  ඕවා ඇරිලා යයි තව ටික කාලයක් යද්දී... තාම ට්‍රිප් එකේ උණුසුම ගියේ නැහැනේ... අපි තාමත් භය වෙන්නේ ඒ මතකයන් අලුත් නිසා කියලයි මට නම් හිතෙන්නේ... තව සති කීපයයි නේ ඕගොල්ලෝ මෙහේ ඉන්නේ... ගියාට පස්සේ වැඩත් එක්ක භය වෙන්නවත් වෙලාවක් නැති වෙයි ඔයාට... බලන්නකෝ !.. " යි කියපු මම තවත් විස්තර ටිකක් කථාකර කතාව අවසන් කරද්දී පුන්චිලගේ ගෙදරටත් ලං වෙලා! 

පුන්චිලගේ ගෙදරට යද්දී දිලූ අතකට ප්ලාස්ටර් එකක් දාගෙන, බාගෙට මැරිලා වගේ මුණක් ඇදගෙන සාලේ ඉදන් හිටියා… එයා හීනෙන් බය වෙලා ඇදෙන් පනිද්දී බෙඩ් ශීට් ඒක පැටලවිලා වැටිලා.... අතක් ඇගට යටවෙලා දබර ඇගිල්ල කැඩිලා...! පැය 2 කට ආසන්න කාලයක් එයා එක්ක කථා කර කර ඉදලා, මම එහෙන් පිටත් වෙද්දී හවස 7 ටත් කිට්ටු වෙලා… 

ගෙදර එන ගමන් කල්පනා සගෙරේ කිමිදුන, මට මතක් උනේ දිලූ කියපු දෙයක්… " සද්දයක් ඇහුනා මට එවෙලේ!..." මට ඇහුනා  වගේම එකක්ද දන්නේ නැහැ දිලුටත් ඇහුනේ... දිලූ ගෙයි, සෑම් ගෙයි, මගෙයි කථාවල සමාන කමක් තියෙනවා කියලා මට එක පාරටම හිතුනා! ඒ දෙන්නටත් සද්දයක් ඇහිලා තියෙනවා මදිවට, අපි තුන්දෙනාම ඇහැරුනේ එකම වෙලාවේ පාන්දර 4 ට ආසන්න කාලයකදී..

මේවා ඔක්කොම අහබු සිදුවීම්ද? තුන් පැත්තක ඉන්න අපි 3 දෙනෙක් එකම වෙලාවේ ඇහැරෙන එක... හ්ම්ම් අහබුවක් වෙන්නත් ඇති සමහර විට!.... සිතමින් කල්පනාවේ ගැබුරටම කිමිදිලා ඉදලා උඩට එද්දී, දන්නෙම නැතිව ගේ ගාවටම ඇවිල්ලා... පොඩි මාමලාගේ වාහනේ මිදුලේ තියෙනවා! මාමලා ඇවිත් වගේ...! රන්දිට මෙහෙ ඉන්න කියන්න ඕනේ කියලා හිතලා... ගෙට ගියාමයි දැනගත්තේ එයා මෙහෙ අද ඉන්න තමයි ඇවිත් තියෙන්නේ කියලා...

රන්දිව පෙන්නපු දොස්තර කිවුවලු නිදාගන්න තැන මාරු කරන්න පුළුවන් නම් සමහර විට නින්දෙන් ඇවිදින එක හරි යයි කියලා...! ඒ නිසා රන්දීට මෙහෙ එන්න ඕනේ කියලා..! මාමාත් මෙහෙ ඉන්න බලන් ඇවිත් නිසා එයාට ඒ දවස් ටිකේ හිස් වෙලා තිබුන අම්මලාගේ කාමරේ ලැස්ති කරලා දීපු ආච්චි අම්මා, අපිත් එක්කම රෑට කලා බීලා,9:30 වෙද්දී නින්දට ගියා... මාමා පහල ඉදන් එයාගේ ඔෆිස් එකේ වැඩ වගයක් කරන අතරේ, මමයි රන්දියි උඩට අවා ..! 

රන්දී මගේ කාමරේ  නිදා ගන්න ලෑස්ති වෙලා ඇවිත් අපි රෑ 11.30 වෙනකන් වගේ කියවා කියවා හිටියා... හොදටම නිදිමත උනාම අපි දෙන්න නිදා ගන්න ලෑස්ති වෙද්දී බැරි වෙලා වත් රන්දී නින්දෙන් ඇවිද්දොත් කියලා, එයාට නොපෙනෙන්න දොර ලොක් කරලා යතුර මගේ කෝට්ටේ යටින් තියා ගත්තා...! 




එත් ඒ රැය, අසාමාන්‍ය ලෙස අස්වාභාවික වේවි කියලා, මම කොහොම හිතන්නද!!! 


තවත් කොටසකින් හමු වෙමු!!!  

    

Tuesday, December 6, 2011

අවසානයක් නොවුණු, අවසාන කොටස!!! (05 කොටස )

'ඇල්ල ට්‍රිප් එක'  අවසාන කොටස!  


නවාතැනෙන් පිටත් උන වෙලේ ඉදන් වාහනේ ඇතුලේ එකම කාලගෝට්ටියක්! 'අවුවෙන් පිච්චුන මිනිහව ගින්නට පෙරළුවා වගේ' සිද්ධ උන මේ අද්භූත සිදුවීම් වලින් මානසික වැටිලා, තම තමන්ගේ පාළනය කේන්තියට බාර දුන්න වැඩිහිටියන්, වාද විවාද කිහිපයකටම පසු, වැඩි කැමැත්තට ඉදිරියට කල යුතු දේ ගැන එකගතාවයකට අවා… ඒ, පන්සලට ගිහින්, නවාතැනෙන් එද්දී මුර උන්නැහේ කියපු කට්ටඩි ගෙදටරත් යමුයි කියලා....!

කථිකා කරගත්ත ගමනාන්තයට ලං වෙනකන් නවාතැනේදී ගෙවුණු පැය කීපයේ, අනිත් අයගේ අත්දැකීම් අපිට දැනගන්න ලැබුනා… 'හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට' කිවුවා වගේ, හොදම ටික වෙලා තියෙන්නේ එළි වෙන්න කිට්ටුව!... අපෙන් කීප දෙනෙක්, මම සහ දිලූ ලබපු අත්දැකීමට සමාන 'කළු හෙවනැල්ලේ' අත්දැකීම විවිධ ආකාරයෙන් ලබලා තියෙද්දී... දෙන්නෙක් ඉතාමත් අත්භූත දේවල් වලට මුණ දීල තිබුනා....

ඒ අතරින් පොඩි මාමගේ ලොකු දු ලබපු අත්දැකීම ඉතාම භයානකයි කියලා, එයා හැර  අපි ඔක්කොමලා දැනන් හිටියා...! අවුරුදු හතර පහ වගේ පොඩි කාලේදී නින්දෙන් ඇවිදපු කෙනෙක් උන රන්දි, අවුරුදු 14 කට පස්සේ, නැවතත් නින්දෙන් ඇවිදගෙන නවාතැනෙන් එළියටම ගිහින්!... එයාට මතක කවුරු හරි එයාට යන්න අඩ ගැහුවා වගේ විතරලු!

එත් රන්දිට මතක නැති, එයාට  කියන්නත් එපා කියලා කථා උන රහසක් තිබුණා.....! ඒ රහස නම්, එයාව හොයා ගනිද්දී එයා ‘ආවේශ වෙලා’ හිටියා කියන එක...! ‘ආවේශ වෙලා’ හිටියා කියලා කියන්න හේතුව, එවෙලේ එයාව අල්ලපු අයව හුරලා, හපලා ගැලවිලා යන්න එයා සැහෙන්න දගලලා තිබුනා!.... නින්දෙන් ඇවිදින කෙනෙක් ඒ විදියට ප්‍රචණ්ඩ වෙන්න හේතුවක් නැති නිසාත්, නින්දෙන් ඇවිදපු පොඩි දවස් වල වත් කිසිදාක මෙවැනි අභිරහස් ආකාරයකට ලගින්වත් යන හැසිරීමක් නොපෙන්වපු නිසාත්, ලොකු අය එක ‘ආවේශ වීමක්’ ලෙස තීරණය කරලා තිබුනා…! 


මේ ආකාරයෙන් මේ සිදුවීම නැවතත් සිදුවුනොත් ඉතාම බරපතල භයානක එකක් වේවි කියලා එවෙලේ මට හිතුනත්, නුදුරු අනාගතෙදීම ඒ සිතිවිල්ලට පණ ලැබේවි කියලා නම් මම මොහොතකට වත් හිතුවේ නැහැ! ඒ අතරේ රන්දිගේ නින්දෙන් ඇවිදීමට සම්බන්ධ, අපි බහුතරයක් නොදන්නා දෙයක් දිලූ දැනගෙන හිටියා කියන එකත්, එයා මට ඒක දන්වන්න අවස්ථාවක් එනකන් ඉන්නවා කියන එකත් ඒක මට තේරුණා! 

රන්දිගේ නින්දෙන් ඇවිදීමේ සිදුවීම තරම් බරපතල නොවුනත් වෙනත් ආකාරයකින් බරපතල අද්භූත අත්දැකීමක් සැමන්තා ලබලා තිබුනා... එයා නිදන් ඉන්දැද්දී දෙපාරක්ම පෙරවාගෙන ඉදපු බෙඩ් ශීට් එක විසිවෙලා ගිහින් බිම වැටිලා..! ඇල්ල ලගදී හොල්මන නොදැක්ක දෙන්නගෙන් කෙනෙක් සැම්…මේ සිද්දියෙන් පස්සේ එයා හිටියේ මාන්දම හැදුන රෝගියෙක් වගේ සුදුමැලි වෙලා!.... මේ වගේ අත්දැකීම්, මට නොලැබුන එක ගැන ආත්මාර්ථකාමී සතුටක් එවෙලේ ඇති උනත්, ඒ සතුට, මේ අද්භූත බලවේග වලට මේ මේ දේ කල හැකි යයි ඇති උන හැගීම නිසා එසැනින්ම එය අතුරුදහන් වෙලා ගියා... 

මානසික විඩාව හැමෝගෙම මුණු වල පැහැදිලිවම සටහන් වෙලා තිබුනා! ශාරීරිකවත් මානසිකවත් කිසිම සහනයක් නොලද අපි ඉක්මනින් කේන්ති ‘එන යන’ අය බවට පත් උනේ නිරායාසයෙන්... “ 'දහස්වරක් ඇහුවට වඩා එක්වරක් දැකීම වටි' කියලා තිබුනට, හොල්මනක් දැකලා ලැබෙන්නේ මොන වටිනාකමක්ද...?"  දිලූ කේන්තියෙන් කියද්දී මට හිතුනේ අපි හැමෝම හිටියේ බයත් කේන්තියත් අතර මැද තැනකයි කියලයි...! පන්සලට යනකන්ම හැමෝම බලා ගත්තු අතේ බලන් හිටියා...


ගෙවුණු මේ දවස් 3 ටම ප්‍රසන්න මතකයක් ලෙස අදටත් මගේ මනසේ ඉතුරු වෙලා තියෙන්නේ, ඒ පන්සල් බිමේ ගෙවුණු පැයයි ....! දවසේ  පසුගිය පැය කීපයේ මුණ දෙන්න සිද්ධ උන භයංකර සිද්ධි වලින් හෙම්බත් උන මනසට, විවේක කාලයක් ලැබුනා වගේ හැගීමකින් මම හිටියේ… කරට සුදු පාට ‘ඝනකම්’ පිරිත් නුලක් දාගෙන ඉන්න ලොකු පුංචිගේ මුණේ පාන්දර තිබුන ‘අදුරු’ වෙනස නැති වෙලා කියලා මට හිතුනේ..! 

ලොකු හාමුදුරුවෝ පිරිතෙන් බල ගන්වපු සුදු නුල් අපිටත් දුන්නේ, පන්සලෙන් යන්න කලින් අත් වල බැදගන්නයි කියමින්.. " දැන් මේ සිද්ධ උන දේවල්, ගෙවල් වලට යන කන් වත් කථා නොක‍ර ගියානම් තමයි හොද," යැයි උන්වහන්සේ අපිට කිවුවේ අපි පන්සලෙන් පිටත්වෙන්න ලෑස්ති වෙද්දියි.. 

හිතේ සැනසීමෙන් පන්සලෙන් ආපු අපිව යටපත් කරන හිටපු බය, අතේ ගැට ගහපු පිරිත් නුලේ ගැටේට හිර වෙලා ගියා වගේ ආරක්ෂාකාරී හැගීමක් මට දැනුනා …  “දැන් ඉතින් ඒ කරදරෙත් ඉවරයි ”  කියාගෙනම ලොකු බාප්පා ‘ලොකු හුස්මක්’ එක්ක හිතේ බර, වාතයට මුසු කරමින් වාහනේට ගොඩ උනේ කට්ටඩි ගෙදර නොගිහින් ගෙවල් බලා යමුයි එකගතාවයකට පැමිණිලයි....

හුලං කපාගෙන වාහනේ ඉදිරියට ඇදෙද්දී... ඇස් මානෙන් තරගෙට වගේ අපෙන් සමු ගන්න ගස් කොළන් දිහා අරමුණක් නැතිව නිශ්ශබ්දවම බලන් උන්න අපි හැමෝටම පොදුවේ දැනුන කායික මානසික විඩාව, ඇස් වහගන්න බල කරද්දී, අපි එකා දෙන්නා තැන් තැන් වල ඔලු හේත්තු කරගෙන ඇස් පියා ගත්තා...! නින්දත් නොනින්දත් අතරේ පැයකට කිට්ටු කාලයක්  ගෙවිලා ගිහින්..!

උදේ 7 ට ලං වෙද්දී, තේ ටිකක් බීලා යමුයි කථා උන වැඩිහිටියෝ, යන පාරේ අයිනකට වෙන්න තිබුණු දිය පාරකට යාබදව තනපු පොඩි ලෑලි  කඩයක් ලග වාහනේ නැවැත්තුවා.... වාහනෙන් බැහැලා නිදිමතෙන් දිය පාරට බැස්ස කට්ටිය, සිතල වතුරෙන් මුණ හෝදගෙන ගොඩට අවේ, නින්ද වතුරට ගහගෙන ගියා වගේ ප්‍රබෝධයෙන්..! තේ බිබී, කැන්ද කොළේ සුවද හමන, පැණි දාලා හදපු හැලප කාපු අපි පැයකට ආසන්න කාලයක් එතන ගතකළේ,   පන්සලේ හාමුදුරුවෝ කිවුවා වගේම වර්ථමාන කථා වලට පහුගිය පැය කීපයෙන් ‘තප්පරයක් වත්’ වැද්ද නොගන්න වගබලා ගෙනයි... 

ඒත් හැන්ගුවට වඩා ඉක්මනට එළි වෙන රහසක් කාටත් හොරෙන් අප වටා කැරකෙමින් තිබුනා...!

තේ බීලා ඉවර කරපු අපි යන්න ලැස්ති වෙද්දී, තේ ගෙනත් තියපු මේසේ ලගට බිල ගෙනත් දීපු පිරිමි ළමයාගෙන්, මෙසේ උඩ ඉතිරි වෙලා තියෙන තේ එක පෙන්නමින් පොඩි මාමා ඇහුවේ  "අපි 16 යි නේ ඉන්නේ, තේ 17 ක් මොකටද ගෙනාවේ!?" මාමා දිහා බලපු ඒ ළමයා හිනා උනා.... එයා හිනා උනේ මාමා විහිළුවක් කළා කියලා හිතාගෙනයි , එත් මාමා පෙරලා හිනා නොවුන නිසා ඒ ළමයා කියනවා  “සර් කිවුවනේ ඔක්කොටම තේ ගෙන්න කියලා.....වාහනේ ඇතුලේ හිටපු කෙනාටත් එක්ක තේ 17 ක් ගේනවා.." මාමා ඒ ළමයාගේ කථාව අහගෙනම සල්ලි ගෙවන්න සල්ලි අදිමින්, 

 "කවුද වාහනේ ඇතුලේ හිටියේ....!? අපේ අය ඔක්කොම මෙතන ඉන්නවනේ!"  මාමා කියද්දී , ඒ ළමයා මාමගේ මුණ දිහා බලන් හිට්යේ  'බොරු කියන්න එපා' වගේ හැගීමකින්… ඔක්කොමල්ලගේ මුණු ඇදවෙලා ගියේ ඒ ළමයා කියපු ඊලග වාක්‍ය ඇහෙද්දී..!  “සර්ලා මෙතනට ආවට පස්සේත්, වාහනේ පිටිපස්සේ සීට් එකේ වාඩි වෙලා වෙලා ඉදපු කෙනා සර්ලගෙ කවුරුත් නෙවෙයි ද? එයා මේ දැන් ටිකකට කලින් වාහනෙන් බැහැලා ඉන්නවා මම දැක්කා නේ!....” 

අපිව අත් නොහරින යම් බලවේගයක්, අපි පස්සෙන් පන්නනවා කියන හැගීම, කන් දෙකෙන් අපේ ඔලු වලට බහින්න වැඩි වෙලා ගියේ නැහැ…' අපිත් එක්ක අන්තිම සිට් එකේ ආවේ මොකාද!?'  ඇග හිරිවැටිලා ගිහින්, හදවත ගැහෙන වේගේ කනට ඇහෙද්දී මට ඇති උනේ අමුතුම හැගීමක්... ‘නහයට උඩින් ගැලුවට පස්සේ කෝයි තරම් ගැලුවත් එකයි වගේ’ මට ඇති උනේ, බය වැඩියෙනුත් ඒ ළගටම ආපු කේන්තියත් අතර මැද හැගීමක්!

ගැණු පාර්ශවේ වැඩි හරියක් වාහනෙන් ඇත් වෙද්දී, ලේ හිදුනු මුණුත් එක්ක, මූණට මුණ බලාගත්ත පිරිමි පාර්ශවේ අය වෙන භාෂාවකින් කතාකරන මිනිහෙක් දිහා බලන් ඉන්නවා වගේ ඒ ළමයා දිහා ටිකක් වෙලා බලන් හිටියා… අපිට රහසින් යමක් කථා කරන්න හිතාගෙන ඒ ළමයව අපෙන් තරමක් ඇතට ගෙනිච්ච මාමල අහපු දෙයකට උත්තරයක් හැටියට දීපු ඒක දෙයක් මට ඇහුනා,... 

" මුණ දැක්කේ නැහැ, කොන්ඩේ තියෙන වගේ කළු ඔලුවක් විතරයි දැක්කේ!" ඒක ඇහිලා බය නැවතත් ඉස්සර උනා කියලා මට හිතුනා! ඒ ළමයාගෙන් යම් යම් දේවල් අහලා දැනගත්ත වැඩිහිටියෝ අපි ලගට අවේ “ කරන්න දෙයක් නැහැ, නගින්න වාහනේට, මේ ලග පන්සලක මන්තර හාමුදුරු කෙනෙක් හම්බ වෙන්න යන්න වෙනවා” කියමින්ය …

වාහනේට නගින්න..!?!? අර හොල්මනක් එක්ක වාහනේ යන්න..!?!  අපිව වාහනේට දාගන්න එක නම් අමාරු වේවි කියලා වැඩිහිටියෝ දැනන් ඉන්න ඇති... පැය බාගයක් විතර දෙපැත්තට ඇද ඇද ඉදලා අන්තිමට, බලවත් අකමැත්තෙන්, වෙන කල හැකි දෙයක් නැති නිසා, අපි කිහිප දෙනෙක් වාහනේට ගොඩ උනේ අපායට අඩිය තිබ්බ වගේ බයකින්.... තවත් කිහිප දෙනෙක් නගින්න බැහැ කියලා අඩද්දී බලහත්කාරෙන් වාහනේට පටවාගෙන, අපි ඒ පන්සල හොයන් හැල්මේ පිටත් උනා!

වාහනේ අපි ඉදගෙන ආව සිට් එක නිදහසේ තියෙද්දී.. ගොළුවෝ, බිරෝ වගේ නිශ්ශබ්දවම, මොනවාම හරි වේවි කියලා බලාපොරොත්තුවෙන්, අපි වාහනේ ඉස්සරහ එකපොදියට අමාරුවෙන් හිටගෙන, පිටිපස්ස බලාගෙනම ගමනාන්තයට ලං කලා…අඩ අඩ නැගපු දෙන්නා බහිනකන්ම හූල්ල හූල්ල ඇඩුවා.... 

කොහොමෙන් හරි කොන්ද නවාගෙන, අඩ අඩා පැයක විතර ගමනකින් පස්සේ වාහනේ නවත්තපු සැනින් අපි වාහනෙන් බැස්සේ කන්දක් උස්සන් ඇවිත් බිමින් තිබ්බා වගේ අමාරුවෙන්..! නංගිලා දෙන්නා හොටු පෙරාගෙන හයියෙන් අඩන්න ගත්තා බැස්සට පස්සේ.. ටික වේලාවක් දගලලා ලෝකේ නැති කථා කියලා ඒ දෙන්නව සන්සුන් කරගෙන අපි ඒ පන්සලටත් ගියා....  

හාමුදුරුවෝ මුණ ගැහුණු අපි සිදු වූ සියලුම දේ විස්තර සහිතව පවසද්දී, සන්සුන්ව සියල්ල අහගෙන හිටපු උන්වහන්සේ...  අපිට මන්තර වලින් ජීවම් කල නුල්, පිරිත් නුලට උඩින් අත් වල බැදලා.. ලොකු පුංචිට සහ රන්දිට බෙල්ලට ලොකු නුල් දෙකක් දැම්මා... වැඩිමහල්ලන්ට තවත් උපදෙස් ලබා දීපු උන්වහන්සේට, වැදලා අවසර අරන් අපි පන්සලෙන් එන්න පිටත් උනා! 

දවල් 11 ට ලං වෙලා තිබුනත් අපි උදෙටවත් කලා හිටියේ නැහැ...! ඒ ගිය පාරේ හරි හමන් කෑම කඩයක් වත් නොතිබුන නිසා, දවල්ටම කමුයි කියලා, වාහනේ තිබුන අමතර කෑමවලින් බඩවල් පුරවාගත්තා ! දවල් 12 පහුවෙද්දී ටවුන් එකක තිබුන අවන්හලකින් දවලට කෑම ගත්ත අපි, වාහනේට ගොඩ වෙලා පිටිපස්සේ සිට් එක උවමනාවෙන්ම මග ඇරලා ඉස්සරහ සිට් වල ඉද ගනිද්දී, වාහනේට නගින්න ලෑස්ති වෙලා ඉන්න ලොකු නැන්දා, පිටිපස්සේ පේළියක වාඩි වෙලා ඉන්න ලොකු පුංචිව ‘කන්න වගේ’ බලන් ඉන්නවා! 

ඇයි මේ???... හිතට එන ‘අමුතු හැගීම්’ එක්ක අපි මුණට මුණ බලා ගත්තා!

 "කෝ නංගිගේ බෙල්ලේ තිබුන නුල්?!"

ලොකු නැන්දා එහෙම ඇහුවේ එළියේ හිටන් ඉන්න ලොකු බාප්පා ගෙන්!

'පිරිත් නුල්' පුංචිගේ විතරක් නෙවෙයි අපෙත් ආරක්ෂකයා උනා කියලා එවෙලේ අපිට නිකමට වත් හිතුනේ නැහැ!... අණක් නැතිවම ඔක්කොමලා වාහනෙන් බැස්සා.. හැමෝම පුංචි වාඩි වෙලා උන්නු තැන වටේම නුල් හෙවුවා... පුංචිගේ මුණ දිහා බලපු බාප්පා " ඒක  මෙතන නැහැ! "  කියාගෙනම… අපි කෑම ගත්තු මේස ලගට ගියා... මම හොරෙන් වගේ පුංචි දිහා බැලුවා... වාහනෙ ඇතුලේ ඉදගෙන ඉන්න පුංචිගෙ මුණේ බය උන සලකුනු අතරින් පෙරිලා මට පෙනුනෙ හිනා වෙන මුණක් කියලා මගෙ හිත කියනවා... නුල නැති උන එක එයාට ගානක් නැ වගේ! 

සෙවල අල්ලපු බිත්තියකට තීන්ත ගෑවා වගේ හිත ඇතුලෙන් මතු වෙන්න දගලන බය බලහත්කාරයෙන් යට කර ගත්තු මම පිරිත් නුල හොයන්න මහන්සි උනා! පිරිත් නුල හොයන අතරේ ලොකු නැන්දා කියනවා “බෙල්ලෙන් ගැලවිලා කොහොමද ඒ දෙකම වැටුනේ! හොයා ගත්තත් දාල වැඩක් නැනේ දැන්... දෙකේම බල බිදිලානේ” කියලා… ඒ මොහොතේ අවන්හලෙන්  එලියට අපු බාප්පා කාන්තා පාර්ශවෙන් ඇහුවා


“ඕගොල්ලෝ ගියා නේද බාත්රූම් එකට...!” ඒ වචන ටික කණේ ගැවෙන්නත් කලින්, වැඩිහිටි ගැණු පාර්ශවේ අය ඉක්මනට ගියේ අවන්හලේ පිටිපස්සට වෙන්න තිබුණු බාත්රූම් එක පැත්තට…


විනාඩි  කිහිපයකින් ඒ අය ආවේ බාත්රූම් එකේ වැටිලා තිබුන සුදු නුලුත් අරගෙන... වැඩිහිටියන්ගේ මුණවල් අමුතු වුනත් වචනයක් වත් කථා නොකර, අපිවත් වාහනේට ගොඩ කරගනිද්දී මම යාන්තමට දැක්ක පුංචිගේ මුණ... ලාවට හිනා වේගෙන වාහනේට නගින අය දිහා ඒක එල්ලේ බලන් ඉන්නවා....! පුදුමාකාර පරාජිත බවක් දැනුනු මට හිතුනේ , මේ තරම් දුරක්, අපි පස්සෙන් හබාගෙන ඇවිත් කියලයි... අපිට පරාද කරන්න බැරි බලවේගයක් අපේ අවසානයක් දක්වාම එනවා කියලයි මගේ හිත කිවුවේ.... මොනවා කලත් දවසේ අවසානෙට එද්දී ඒ බලවේගේ අපිව පරාද කරලා....! 

දැඩි මානසික වෙහෙසක් දරාගෙන නැවතත් පන්සලකට ගොඩ වැදුණු අපි තුන්වෙනි පාරටත් පුංචිට නුලක් දාගෙනම ගෙවල් බලා එන්න පිටත් උනා! රාත්‍රී  9:45 වෙනකොට ගමනාන්තයට ලගා උන අපි... කායිකවත් මානසිකවත් ලෙඩ වෙලා හිටියා කියලා මට දැනුනා! අපි ගෙවල් වලට ආවේ මේ දේවල් අදින් ඉවරයි කියන හැගීමත් එක්ක… 

එත් හැමෝම දන්නවා හිත යටින්, මේක ඉවරයක් නොවුන වග...! හිනාවක් නැතිවම සමු ගත්ත අපි, ‘ඇල්ල ට්‍රිප් ඒක’ එතනින් අවසන් කලා! 

අසුතුටු සිතින් ගෙදර ඇවිත් ගතින් පිරිසිදු වෙලා ඇදට ගිය මට, ෆෝන් එකට msg එකක් ඇවිත දිලූ ගෙන්… එකේ තිබුණු දේ කියවලා, මගේ හිත සිතල වෙලා ගියා! 

" නෙළී, රන්දිව හොයා ගනිද්දී එයා ඉදලා තියෙන්නේ හතර ගාතෙන් ඇවිදිමින්, සතෙක් වගේ !!!”... 

ෆෝන් එක ඇදේ පැත්තකට විසිකරපු මම තද කරලා ඇස් පියා ගත්තා.....ටික වේලාවකින්ම බහුබූත අදහස් ගොඩක් එක්ක ඇදේ දිගාවෙලා කල්පනා සාගරේක ගිලිලා උන්න මට, ශාරීරික විඩාව මානසික විඩාව අභිබවා ගිහින් ඇස් පියවෙද්දී… මගේ ඔලුවේ එදා දවසේ ඉතුරු වෙලා තිබුන අන්තිම  සිතිවිල්ල, මටත් හොරෙන් හිතෙන් ගැලවිලා ගිහින් විශ්වයට එකතු වෙන්න ඇති!

“ජිවිතේ කවරදාකවත් අමතක නොවෙන ලෙස මනස හාරගෙන ගිහින් තැම්පත් උන, මේ අද්භූත අත්දැකීම් වල අමිහිරි මතකයන්, නැවත කිසි දිනෙක එළියට ඇදෙන සිදුවීම්, අප කිසි කෙනෙකුට ඉදිරියේදී සිදු නොවේවා!”



නැවතත් කතාවකින් හමු වෙමු!!!



Thursday, December 1, 2011

නවාතැනේ හොල්මන් ඉන්නවද?? (04 කොටස )

කාලාන්තරයක් තිස්සේ ඔය ඇල්ලේ ගලෙන් වැටිලා කි දාහකගේ නම් ජිවිත නැතිවෙලා තියෙනවද මහත්තයෝසමහරු කියනව ඇල්ලෙන් වැටිලා මරුන උදවිය අනිත් අයවත් බිලි ගන්න එනවා කියලා! ගල උඩදී එක එක විදියේ අවතාර දැකල මිනිස්සු බය වෙලා තියෙනවා!



"හවස් යාමේ ගල උඩ බිබී හිටපු ඒ කොල්ලොන්ව හොල්මනක් බය කරලා… පණ තිබුන උන් පහලට අවේ බාගෙට මැරිලා සිහියත් නැතිව... එදා දෙන්නෙක් ඇල්ලට පැනලා තිබුනා බය වෙච්ච සැරට!... බීලා ගලෙන් වැටුනා කියලා පැතිරුනාට ඒ කොල්ලොන්ගේ යාලුවෝ කිවුවේ උන් ගල උඩදී හොල්මනකට බයවෙලා ඇල්ලෙන් වැටුනා කියලා! එවුන්ගේ මිනි හොයා ගත්ත අයත් බය වෙලා තිබුනා! මමත් ගියා බලන්න...මිනීවල බෙලි අනිත් පැත්ත කැරකිලා තිබුනේ!”


ගලෙන් වැටෙන මිනිස්සුන්ගේ බෙලි අනිත් පැත්ත හැරෙන්නේ ගල් වල වැදිලා වෙන්න ඇති කියලා කියන්න කටට ආවත්, මුර උන්නැහේ කියපු ඊලග වාක්‍ය කණේ ගැවෙද්දී... මම ඒක ගිලලා දැම්මා!


“ අතක් පයක් වත් නොකැඩි බෙල්ලම කැඩුන එක මදිවට.. මිනි වල කටවල් පැලිලා දිව එළියට ඇදිලා නේ තිබුනේ!!...“ චන්ඩියා වගේ ඉන්න දාබරෙත් බය උනා ඔං එදා..... ගමේ මිනිස්සුත්, එක එක විදියේ හොල්මන් දැක්කා කියලා කාලෙන් කාලෙට පැතිරෙනවා... කවුද මහත්තයෝ දන්නේ ඕවයේ ඇත්ත නැත්ත! මම නම් මේතාක් ඔය මොකෙක්වත් දැකල නැ! දේව ඝනේ අයට අවතාර පෙන්නේ නැ කියනවනේ !”

  

ඇගේ තිබුන ලේ ටිකත්' හිදුනද මන්දා!.... තාර බර ඇරලා ගත්තත්, බයෙනුත් බය ඇති කරන්න පුළුවන් කටක් තිබුන මුර උන්නැහේ අපිට ඇල්ල ඉපදුන කතාවේ ඉදන් විස්තර කියලා... තවත් ගෝනියක් විතර බය අපේ ඔලුවලට පටවල හරි සතුටෙන් යන්න ගියා එයා දේව ඝනේ කියලා, නොකියා කියලා! හනුමාගේ නැට්ට ගිනි තියලා ගියා වගේ!.. ‘ඝනේ හොයාගත්තම බය උන එක අහෝසි වෙනවා වගේ’ ඔක්කොමල තම තමන්ගේ ඝනේ මතක් කරන්න පටන් ගත්තා... බැලින්නම් වැඩි හරියක් දේව ඝනේ අය!


පොඩි සද්දයකටත් ගැස්සී ගැස්සී තම තමන්ගේ අත්දැකීම් සංසන්දනය කරපු අපි දන්නෙම නැතිව රෑත් වෙලා තිබුනා… දැකපු අහපු දේවල් කථා කරලා අපි බය වැඩි කරගත්තා කියලයි මට හිතුනේ!... රෑ 8 විතර වෙද්දී ආලින්දයේ ඉදන් කථා කර කර හිටපු වැඩිමහල්ලන්ට  ‘කෑම ලෑස්තියි’ කියන්න මම ඒ පැත්තට යද්දී, හුළග දිගේ ඇවිත් කණට වැටුන ඒක වාක්‍යක් නිසා හිතට තවත් අමුතු බයක් පාවෙලා ආව වගේ!


"ඔය බහුබූත වලට හිතේ බයක් නැති උනත්....  උඩ ඉදල පහළටම  'ඒක' ආපු ඒක නම් එච්චර හොද නැහැ කියලයි මට හිතෙන්නේ.  හෙටම අපි වෙන නවාතැනක් හොයා ගමු ...! ඊයේ රෑ සිද්ධ උන දේවල් හිතනකොට මේ නාවාතැනෙත් දෝෂයක් තියෙන්න බැරි නැහැ..! ළමයි ඕවා නොදන්නා තරමට සැනසිල්ලේ නිදා ගනීවි... අද විතරයි නේ..."


‘දැකපු දේවල්’ වලට වඩා භයානක ‘අහපු දේවල්’ නිසා, එක එක විකාර හිත ඇතුලේ බඩ ගාද්දී… කෝකියට ඔනේවට වගේ රෑ කෑමත් ගත්ත අපි, රෑ 10 වෙනකන්ම ලොබි එකේ ඉදලා නිදාගන්න යන්න ලෑස්ති වෙද්දී… “හෙට උදෙන්ම පන්සලකට ගිහින්ම ගමන පටන් ගමු… අද උන ඒවා වෙලා ඉවරයි නේ... ඒවා අමතක කරලා දැන් නිදා නිදාගන්න” ලොකු බාප්පා එයාලගේ කාමරේට යන ගමන් කියාගෙන ගියා… 


අද රෑ පන්සලකම නිදාගන්න තිබුනා නම් මීට වඩා සනිපයි කියලයි මට හිතුනේ! ඇගපත හෝදගෙන ඇදට ආව මම කාමරේ TV එක දාගෙන channel මාරු කර කර ඉන්න ගමන් වෙලාව බැලුවා 10:45 යී … දිලූ බාත්රූම් එකේ!  මොනවා කරත් මතක් වෙන්නේ එක දෙයයි ඒ හොල්මන්! හොල්මන්! හොල්මන්! 


මේ රෑ ගොළු වෙලා වගේ!  බස්සෙක් වත් කෑ ගහන්නේ නෑනේ කියලා හිතලා ඉවර කරන්නත් කලින්, යටි ගිරියෙන් කෑ ගහන ගැණු හඩක් කොහෙන්ද පාවෙලා අවා... "ඒ පාර මොකද්ද!" ... තප්පර ගානකදී ඇදෙන් පැන්න මම නතර උනේ කාමරේ දොර ගාව! ඒ ක්ෂනේකින්ම කෑගහගෙන බාත්රූම් එකෙන් එලියට ආවේ දිලූ! ඒ කෑ ගැහිල්ලට හොල්මනුත් බය වෙනවා!! කොහෙවත් නොතිබ්බ බයක් මට ඇති උනේ දිලූ ගේ කට නිසා!


"පිස්සුද...?! නිකරුනේ කෑ ගහන්නේ?!" මම දිලුගෙන් අහන ගමන් දොර ඇරියා… ගැහෙන හදින්, අල්ල ගත්ත හුස්මත් ඇදගෙන, අපි සද්දේ ආපු පැත්තට දිවුවා!... කාමර වල දොරවල් ඇරිලා වැහෙන සද්දත් එක්ක කෑ කෝ ගැසීම් ඇහෙනවා ලගින්ම... අපි නැවතුනේ ලොකු බාප්පලාගේ කාමරේ ලග...


ඇදේ වාඩිවෙලා ඉන්න පුංචිව වට කරගෙන කට්ටියම බලන් ඉන්නවා… “මම දැක්කා ! මම දැක්කා ! කාමරේ ජනේලේ ගාව හිටියා! මගේ දිහා ඔරවාගෙන බලන් හිටියා! මම දැක්කා! අපේ පස්සෙන් ඇවිල්ලා! ඇල්ල ගාව ඉදලම එන්න ඇති අපේ පස්සෙන්! ” පුංචි ලග හිටපු ලොකු බාප්පා "මේ, ළමයි බය කරන්න එපා ඔය මනස්ගාත කියවලා... හිත බය වෙලා නිසා හෙවනැල්ලටත් බය වෙනවනේ...."


"දැන් මම බැලුවනේ එලියට ගිහිල්ලත්"  කියන ගමන් ජනේලේ තිර රෙදි එහාට මෙහාට කරලා ආයිත් එළිය බැලුවා. එළියේනුත් light එකක් දාලා තිබුන නිසා මිදුල පැහැදිලිව පේනවා...  පොඩි පොඩි මල් පදුරු ඇරුනම ඇතට පේන ගහ කොළ විතරයි  පෙන්නේ…! ලොකු බාප්පා එළියේ light එක නිවලා දාලා අපේ පැත්තට හැරුණා විතරයි... සචි අතක් ජනේලේ පැත්තට දික් කරගෙන කෑගැහුවා! 


‘අඩන්න හිටපු මිනිහගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ’ එක පාරට ඇහිච්ච කෑගැහිල්ල නිසා හැමෝම බය උනා! සචී පෙන්නන ජනේලේ පැත්ත බලපු මගේ බෙල්ලේ පිටි පස්සෙන් හීනියට පටන් ගත්ත විදුලියක් තප්පර ගානකින් ඇග පුරාම දිවුවේ ඇස් දෙක එළියට පනින්න ලැස්ති වෙද්දී… ජනේලෙන් එළියේ.. අදුරේ, ජනේලේ ගාවටම වෙන්න ‘කරුවලේ හිනා වේගෙන කළුපාටට කෙනෙක් හිටන් ඉන්නවා’!!


හුස්මත් හිර කරගෙන දගලන අපි දිහා බලලා ලොකු බාප්පා "මොන විකාරයක්ද මේ!?" කියලා ජනේලේ ඇරියා... නවාතැනේ මුරකාරයා! සද්දේ ඇහිලා, මොකද බලන්න මුර කාරයා ඇවිත් තියෙන්නේ... ලොකු පුංචිත් දකින්න ඇත්තේ මුර වැඩේ හරියට කරපු මුර කාරයව වෙන්න ඇති කියලා මට හිතුනා...ඇත්තටම අපේ සිහිය විකල් වෙලාද?... දකින දකින හැම දේටම ගැස්සෙන්න ගියොත් heart attack එකක් උනත් එන්න බැරි නැ!


" පිස්සුද මන්දා, ඇතුලෙන් එන්නේ නැතිව හොල්මනක් වගේ එළියෙන් ඇවිත්, තව දතුත් විලිස්සගෙන ඉන්නවා,... තව ටිකෙන් මගේ හුස්මත් හිර වෙනවා!" තාමත් බය වෙලා ඉන්න සචි ත් කාමරෙන් එන ගමන් කියනවා… එවෙලේ බය වෙලා කෙසේ වෙතත් හිනා වෙලා නම් පණ ගියා අපිට....


“හා හා දැන් ඇති! කට්ටියම ගිහින් නිදාගන්න...”  ලොකු බාප්පා අණ දුන්නා... ටිකක් හිනා උන නිසා හිතේ බයත් ලාවට තුනී උනාද මන්දා... හිත ටිකක් නිදහසේ අපි ආව කාමරේට… light එක දාලා නිදියමු කියලා කතා වෙලා අපි ඇදවල් වලට පැන්නා… 11:20 යි ... දැන්වත් එක එල්ලේ නිදා ගන්න ලැබුනොත් හොදයි  කියලා හිතන ගමන් මම ඇස් පියා ගත්තා…


කකුල් අත පය හිරුණ තැන් කකියනවා වගේ... හීනියට වේදනාවක් දැනෙනවා.. ටික වෙලාවකින් ලෝකේ නැති විකාර ඇස් ඉදිරියේ පෙනිලා අතුරුදහන් වේවි කාලේ පියාබද්දී... පඩි පෙලකින් වැටෙනවා වගේ දැනුන මට එහෙමම නින්ද ගිහින්!.....


 'මොකද්ද ඒ!' හීනෙන් වගේ මට ඇහුනා සද්දයක්! කෑගැහිල්ලක්! ඇල්ලෙන් කෙනෙක් කෑගහගෙන වැටුනා! ...මොකක් ‘ඇල්ලෙන්’??!!! …."ඉක්මනට නැගිටින්න" වෙන ලෝකෙකින් එන හඩක් වගේ මට ඇහෙනවා කෙදිරිල්ලක්... හීනයක්ද!? අයෙත් මට ඇහෙනවා "ඉක්මනට නැගිටින්න"...  ඒ අස්සේ සිතල අතක් මගේ අතේ ගැවුනා වගේ මට දැනුනා... ඒ මොහොතේ, ගෙවුන දවසේ සිදුවීම් ඇස් ඉස්සරහ පෙළ ගැහෙද්දි… ලෝකේ  ඉන්න ඔක්කොම භූතයෝ මගේ ඇගට පැන්න වගේ හැගීමකින්, අවසිහියෙන් වගේ  ඇදෙන් පැන්න මම කාමරේ දොර ගාවටම දිවුවේ, කගේ හරි බෙල්ලක් මිරිකගෙන වගේ පොරවනයත් අත් දෙකෙන් මිරිකගෙන! ...


“මොකද්ද උනේ? " මම මගෙන්ම අහන ගමන්, හැරිලා කාමරේ ඇතුල බැලුවා… කාමරේ Light එක දාලා, දිලූ මගේ ඇද ලග ඉදගෙන ඉන්නවා…තප්පර ගානකින් නැති වෙලා තිබ්බ සිහිය, මගේ ළගට අවා! ...දිලූ අයෙත් බය වෙලා වගේ.. මට හිතුනා! " ඇයි මොකද උනේ!?"  මගේ ඇද තිබුන දිහාට යන ගමන් මම දිලුගෙන් ඇහුවා!


" කාමරේ කවුරු හරි ඉන්නවා වගේ!"

"මොකක්?! ඇයි මොකද්ද උනේ?" කාමරේ පුරා බලන ගමන් මම නැවත ඇහුවා!


දිලූ බාත්රූම් එකේ බිත්තිය පෙන්නලා කියනවා  " මම දැක්කා අන්න අතන මනුස්සයෙක්ගේ හැඩේ හෙවනැල්ලක් වැටිලා තියෙනවා" ... 

"කොඊ වෙලේද!? දැන්ද?? "…“ඔව් දැන්!” දිලූ කිවුවා! මට හිතුනා දිලූ හීනෙන් බය වෙන්න ඇති කියලා මම වගේම… “ඔයා හීනයක් දකින්න ඇති ළමයෝ... නැත්තන් මටත් පෙන්න එපැයි.... කෝ නැනේ මොකෙක්වත්!"...


“මන්දා!… ඔයා විශ්වාස කරන්නේ නැහැ!... මම දැක්කා ඒ හෙවනැල්ල මගේ ඇද ලගටම එනවා! මට කෑගැහුනා… ඔයාව ඇහැරවන්න ටිකකට මේ පැත්ත හැරිලා ආයෙත් බලනකොට ඒක නැති වෙලා!” 

" ම්ම්ම්ම්ම්... Sure ද හීනයක් නෙවෙයි කියලා?" මම ඇහුවා.. දිලූ ටිකක් වෙලා කල්පනා කරලා කිවුවා "සමහර විට හීනයක්ද දන්නේ නැහැ... මට හරියටම sure නැහැ හැබහින්ද දැක්කේ කියලා! කොහොම නමුත් මම දැක්කා ඒක...!" එයා කිවුවා. 


මම නැවතත් කාමරේ පුරාම බලලා දිලූ දිහා බැලුවා… “අපි නිදා ගමු. ඒක හීනයක් කියලා තමයි මටත් හිතෙන්නේ...” කියලා දිලූ එයාගේ ඇදට ගියා...අපි ආයෙත් නිදා ගන්න ඇදට නැගලා පොරවන යටට උනා... දිලූ හීනයක් කිවුවට ඇත්තටම හොල්මනක් කාමරේ ඇතුලේ ඉන්නවද දන්නේ නැහැ... මට එහෙමත් හිතුනා!  රෑ 2 යි වෙලාව... නිදිමතත් ගියා වගේ... මම ඇස් ඇරගෙනම කාමරේ දිහා හොරෙන් බලාගෙන පොරෝනේ යටට වෙලා හිටියා…


කාලය ගෙවෙන්නේ ගොලුබෙලි ගමනින්… හෙට එළි වෙන්නේ නැද්ද… හැමදේම නිශ්ශබ්දයි… ඉදි කට්ටක් බිම වැටුනත් ඇහේවි  කියලා මට හිතුනා… නිශ්ශබ්ධ බෝම්ම්බයක් වගේ රෑ අදුරේ තියෙන අමුතු භයානක කමක් මගේ හිතට ඇතුල් වෙන්න දගලනවා වගේ… ඇතින් බල්ලෙක් බුරනවා ඇහෙනවා.. ඔක්කොම හඩවල් අහගෙන හිටපු මට එක පාරටම ඇතින් වගේ ඇහුන අහලා පුරුදු හඩක්!....


කලින් දවසේ ජනේලේ ගාවින් අවෙත් මේ සද්දේ නේද... එත් අමුතු වෙනසක් තියෙනවා! ඔව්... ඊයේට වඩා ඒ හඩ අද පැහැදිලියි වගේ… තේරුමක් නැති බයක් මගේ හිතට එබෙමින් තිබුනා! ....අයෙත් වතාවක් බල්ලෙක් බුරනවා ඇතින් යාන්තමට වගේ ඇහෙනවා! දිය ඇල්ලේ හෝ හෝ සද්දෙත් ඇහෙනවා වගේ! කළු පාට අදුරු රෑයේ සුදු පාට සාරියක් එල්ලලා වගේ ලස්සනට දිය ඇල්ල වැටෙනවා... ඇල්ල ළගටම හදත් පායලා... ගස් කොළන් සුළගට තාලෙට වැනෙනවා... 


සිතල හුළං…වලාකුළු බිමට වැටිලා වගේ මිදුමත් පිරිලා!  ඇල්ලේ හෝ හෝ හඩ කන ලග ඇහෙනවා වගේ... සීතලෙන් මිදෙන්න අත් එකට එක අතුල්ලමින් මිදුම අතරින් මම ඇල්ලේ ගල නැග්ගා! ඇල්ල උඩටම ගිය මම ගල් තලාවේ ඉදගෙන පරිසරයේ රස විදින අතරේ ඇල්ලේ වතුර වැටෙන සද්දේ කපාගෙන පිටි පස්සෙන් සද්දයක් ඇහෙනවා...මොකද්ද ඒ! හ්ම්ම්ම්... හුළගේ සද්දේ වෙන්න ඇති…  හුළග නම් සිතල වැඩි වගේ!


අත් වලට කටින් පිබ ගන්න මට, අයෙත් ඇල්ලේ පහලින් ඇහෙනවා කලින් සද්දේ!  මම ඉදගෙන සිටි ගල් තලාවෙන් නැගිටලා ඇල්ල අයිනටම ගිහින් එබිලා බැලුවා... සද්දේ එන්නේ මගේ පිටි පස්සෙන්! පැහැදිලිවම ඇහෙනවා...ගොර ගොර ගාන සද්දයක්... උගුරේ මොකක් හරි හිර උනාම එන සද්දයක් වගේ! ...එක පාරටම මම හැරිලා පිටිපස්ස බැලුවා... ක්ෂණිකව නියගේට අහු උනා වගේ මාව වේලිලා ගියා!...



මහා භයානක විදියට විරිත්තගෙන, බොර පාට ලොකු ඇස් දෙකෙන් මන් දිහා බලාගෙන, මගේ මුණටම එබිලා වගේ ඉන්නවා මිනිහෙක් !!... ඒ දර්ශනෙන් ගැස්සුන මම, කකුල ලිස්සලා ඇල්ලෙන් වැටුනා!  ආආහ්…... වෙන ලෝකෙකින් ගහගෙන ඇවිත් ඇදට වැටුනා වගේ මම නැගිට්ටේ පුදුමාකාර විදියට බය වෙලා… මුළු ඇගම ගැහෙනවා! 


දහඩිය පෙරාගෙන ඇදේ ඉදගෙන ඉන්න මම තප්පරෙකට දැක්කා... මගේ ඇද ඉස්සරහ තියෙන බිත්තියට වැටිලා තිබුන චයාවක්, එක පාරටම ජනේලේ ගාවින් නැතිවෙලා ගියා! හදවත උගුරටම ඇවිල්ල එළියට පනින්න දගලනවා වගේ.. දෙයියනේ මේ මොන මායාවක්ද?!... ඒ සැනින්ම කන් බිරි වෙන තරමට සද්දෙන් කණ ගාවින් කෑගහගෙන කාමරෙන් එළියට දුවන දිලු එක්කම මමත් ඇදෙන් පැන්නේ කිසිම සිහියක් නැතිව…


දොර ගාවට දුවද්දී , ඇතින් තවත් ගැණු කෙනෙක් යටි ගිරියෙන් කෑගහනවා ඇහුනා... බය ඉතිරිලා යද්දී, පොර කාලා දොරෙන් පැනගත්ත අපි දෙන්න නැවතුනේ ලොබි එකෙන්!.. ඇදුම හැදිච්ච මිනිස්සු වගේ හුස්ම අල්ලන ගමන් එතන තියෙන පුටුවකට වැටිලා දෙන්නම මුණට මුණ බලාගෙන හිටියා වචනයක් කථා කර ගන්න දිව නාවගන්න බැරුව!



පාන්දර 4:10 යි  වෙලාව... කාමර වලින් කට්ටියම එළියට ආවේ මුණවල් ඇද කරගෙන.. අපි බලන් හිටියා කවුරු හරි කථා කරාවි කියලා... එත් එක එක්කෙනා ඇවිත් ඉදගෙන ඉන්නවා මිසක් වචනයක් වත් කථා කරන්නේ නැහැ!… ලොකු පුංචි හොල්මනකට බය වෙලා! ලොබි එකට ආව ලොකු බාප්පා කිවුවා  “ගන්න තියෙන දේවල් ගන්න. අපි දැන් යනවා මෙහෙන් !” කියලා... නිශ්ශබ්දවම කට්ටිය යන්න ලෑස්ති උනා… ආරක්ෂාවට කියලා ලොකු කෙනෙක් එක්ක කාමර වලට ගිය අපි බඩුත් අරන්, ලෑස්ති වෙලා, ලොබි එකට වෙලා, අනිත් අය එනකන් හිටියා!


එවෙලේ දිලූ කියනවා..“ඔයා නැගිටින්න කලින් මාව නැගිට්ටුනා..., කලින් දැක්කා වගේම හෙවනැල්ලක් බිත්තියට වැටිලා තියෙනවා මම දැක්කා.., හීනයක්ද දන්නේ නැති නිසා මම ටිකක් බලන් හිටියා.., ඒ වෙලාවේ තමයි ඔයා බය වෙලා වගේ නැගිට්ටේ... එතකොටම ඒ හෙවනැල්ල ජනේලේ ගාවින් නැති වෙලා ගියා! මට නම් පුදුම බයක් ඇති උනේ එවෙලේ... තාමත් කකුල් වෙවුලනවා මගේ!”...


මම දැකපු දේත් ඒකමයි කියලා මම දිලුට කිවුවේ නැත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ...  හීනෙකිනුත් බය වෙලා හිටිය නිසා මගේ ඔළුව විකාර වෙලා වගේ තිබුනේ!.. මට එවෙලේ හිතුනා නිදාගත්ත මෝඩකම, ඇහැරගෙනම හිටියනම් මිට වැඩ සනිපයි කියලා! ... යමින් ගමන් පන්සලකට ගිහින් ලොකු පුංචිට නුලක් දාගෙනම යමුයි, වැඩිහිටියෝ කථා වෙනවා අපිට ඇහුනා!


 එදා ලොකු පුංචිගේ මුණේ ලොකු වෙනසක් තිබුනා ! මුණ කළු වෙලා ගිහින්... ඇස් දෙකේ තිබුනේ මහා අමුතු බැල්මක්! එයා නිශ්ශබ්දවම ඉදගෙන හිටියා! අනිත් අය දිහා බලාගෙන… එත් එයා ඔරවාගෙන ඉන්නවා කියලායි මට හිතුනේ! පාන්දර 5 ට කිට්ටු වෙද්දී, නැවත කිසිදාක නොමැකෙන භයානක අත්දැකීම් ගොඩක් මතකයේ තැම්පත් කරගෙන ඒ හොල්මන් නවාතැනෙන් අපි එන්න පිටත් උනා…!


එත්! අපිත් එක්ක එතනින් අවේ මතකයන් විතරද!?!

\
5 වෙනි පොස්ට් එකෙන් හමුවෙමු!