අගෝස්තු 15
ඊයේ සචි බාත්රූම් එකේ වැටිලා කකුලක් කෙටිලා ගිහින්ලු ...! සචි කියන්නෙ, එයාගේ පිටි පස්සෙන් හෙවනැල්ලක් වගේ දෙයක් තියෙනවා එයා බාත්රූම් එකේ කන්නාඩියෙන් දැක්කා කියලාමයි...! දිලූ කියනවා ඒක ඇත්ත වෙන්න ඇති කියලා... මොකද එයත් මේ දවස් ටිකට සැහෙන්න වතාවක් බය උනාලු කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවා වගේ දැකලා... ට්‍රිප් එක දවස් වල වගේ පාන්දරට කාමරේ බිත්තියේ හෙවනැල්ලක් වැටිලා තියෙනවා එයා තව දවසක් දැක්කලු... දෙන්නම රෑට රෑට භය වෙන නිසා දැන් නිදා ගන්නේ පුංචිලාගේ කමරේ...
ඇත්තටම ගෙදරදී මටත් එහෙම නොපෙනෙන කවුරු හරි ඉන්නවා වගේ එහෙන් මෙහෙන් දැනිලා තිබුනත් ඇස් දෙකට නම් කිසිම විදියක හෙවනැලි චයාවන් වගේ දෙයක් ගෙදරදී තාම නම් මම දැක්කේ නැහැ... පිස්සු විකාර හීන නම් හැමදාම වගේ දකිනවා.... මගේ හීන පොතත් පිරිලා ගිහින් මේ ටික දවසට... හොයලා බලද්දී කවුරුත් මම වගේ හීනෙන් භය වෙලා නැහැ. මේ වෙනකන්... මම භය වෙන්නෙම හීනෙන්... එකත් හොදයි එක අතකට... හීනයක් නේ කියලා හිත හදාගන්න පුළුවන් නේ....
ඒ අතරේ සැමන්තා වගේම ලොකු නැන්දත්, ගෙදර උදවුවට ඉන්න ගැනු කෙනත් බය වෙලා තිබුනා රෑ තිස්සේ ගේ ඇතුලේ කවුරු හරි ඉන්නවා වගේ දැනිලා...! ගස් වැටෙන්නේ නැවිලා තියෙන පැත්තට කියන්නේ මේවට වෙන්න ඇති කියලයි මට හිතුනේ.... ආච්චි අම්මා කියන විදිහට හැමෝමටම වගේ මේ දවස් වල ඇහෙන්නේ අනිත් අය භය වෙන, භය උන කථා නිසා නිකනුත් බහුභූත පේනවා දැනෙනවා වෙන්නත් ඇති...
වටේම ඉන්න අය බය වෙද්දී ලොකු පුංචි විතරක් සැනසීමෙන් හිටියේ... ට්‍රිප් එක ගිහින් ආපු දවසට පහුවෙනිදා ගිහින් ආරක්ෂාවට කියලා සුරයක් දාගත්තු නිසයි කියලා අපි දැනගත්තේ අද!
අගෝස්තු 17
හීනෙන් ඇවිදින එක නොනවත්වපු රන්දී දැන් ගෙදරටම වෙලා බලා ගත්තු අත බලන් ඉන්න බව එයාව බලන්න ගිය දිලූ කිවුවා... ඒ නිසා මමත් රන්දිව බලන්න ගියා හවස.. රන්දී කථා කරන්නෙත් නැහැ...! අපි කියන ඒවා ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා... මම එයා එක්ක තනියම කථා කර කර පැයක් විතර ගත කරලා ගෙදර එද්දී රෑ 7 විතර උනා...
අපේ ලේන් එකට දාද්දි අහම්බෙන් ලාවට වගේ මම දැක්කා පාරේ අනිත් පැත්තට වෙන්න කරුවලේ මිනිහෙක් හිටන් හිටියා වගේ..! ඉක්මනට හැරිලා බලද්දී කවුරුත් නැහැ...! අනේ මන්දා, ඇහැ රැවටෙනවද කියලා… රෑ මම නිදාගන්න උඩට එද්දී නිකමට වගේ පාර පැත්තට තියෙන ජනේලයකින් එළිය බැලුවා... පාරේ තියෙන ලයිට් කණුවට ටිකක් එහායින් අදුරේ මම දැක්කේ කළු පාට මොකක් හරි දෙයක් තාප්පේ අයිනකට වෙන්න තිබුනා වගේ... ගහක හෙවනැල්ලක් වෙන්න ඇති කියලා ඇදට ආවත් ඒ සිතුවිල්ලෙන් ගැලවිල්ලක් නැති තැන නිකමට වගේ අයෙත් ගිහින් බැලුවා පාර පැත්ත ජනෙලෙකින්..!
කලින් දැක්ක දේ තාමත් ඉස්සරහ ගෙදර තාප්පේ ගාව තියෙනවා... කළු පොදියක් වගේ! එක පාරටම ඔලුවට, අවේ ‘කළු බල්ලෙක්’ වෙන්න ඇති කියලයි! 'කළු බල්ලෙක්' = හොල්මනක්ද!? එක පාරටම හිත ගැස්සිලා ගියා උනත්, මම ඒ ඇසිල්ලෙන්ම එළියට ගිහින් බැලුවා! එතැන හිටියනම් එහෙම සතෙක්, ඒ සතා ඒ වෙනකොට එතන නැහැ ! විකාර, බල්ලෝ කළු උන ගමන්, ‘බලු හොල්මනක්’ වෙනවද!? හරියකට දැක්කා නම් තව කමක් නැහැ බය උනත්! කියලා හිත හදාගත්තේ, පාට කන්නාඩියකින් බැලුවොත් හැම දේම පෙන්නේ ඒ පාටින් කියන්නා වගේ, බොරුවට උනත් බය වෙන්න ගත්තොත් කෙළවරක් නොවෙන නිසා!
අගෝස්තු 18
ඊයේ බල්ලෙක් වගේ දෙයක් දැක්කා කියලා ඔලුවේ තියෙන නිසාම උදෙන්ම ගිහින් මගේ බල්ලෝ දෙන්නව ගෙදර ගේනවා...! එත් තව ටික දවසක් අක්කලාගේ ගෙදරම තිබ්බනම් ඉවරයි කියලා හිතුනේ දවල් දවසෙම පාරෙ යන එන මිනිස්සුන්ට නිස්කාරනේ ගොරවන්න පටන් ගත්තු නිසයි ! බල්ලෝ දෙන්නා රෑ වෙද්දී ගේට්ටුව ලගට වෙලා ගොරව ගොරව ඉන්නේ මොකටද බලන්න මම එළියට ගියා...
මට ඇහුනා එහා ගෙදර බල්ලොත් බුරන සද්දේ,,! රෑ 8:35 යි වෙලාව... මේ වෙලාවට පාරේ කවුරු ඉන්නද… හොරෙක් වෙන්න ඇති ! ඉස්කෝල නිවාඩු මාසේ නිසා ගොඩක් ගෙවල් වල අය ට්‍රිප් ගිහින් ගෙවල් වහලනේ තියෙන්නේ.. මේ කාලෙට හොරු ගැවසෙනවා වැඩියි... ඊයෙත් දැක්කේ හොරකමේ ආපු කෙනෙක්වද දන්නේ නැහැ කියලා හිතුනත්… බල්ලෝ බුරද්දී එතනම ඉන්න තරම් හොරු එඩිතර නැහැනේ කියලා මතක් වෙලා, ඒ අදහස හිතෙන් අයින් කරගෙන මම පොඩි ගේට්ටුවෙන් ඔලුව දාලා බැලුවා... ම්හු…පේන මානෙක නම් කවුරුත් නැහැ!
සර්පයෙක් දැකලද දන්නේ නැහැ බුරන්නේ කියලා හිතුනත්, හිත කියන්නේම වෙන දෙයක්... කෝකටත් කියලා ට්‍රිගර්ව අරගෙන ගිහින් බලනවා කියල හිතලා එයාව ලීශ් එකට දාද්දි, එහා ගෙදර වීරසිංහ අන්කල් රොජර් ව අරන් එළියට බැස්සා මට ඇහුනා ! දැන් නම් බයවෙන්න දෙයක් නැහැ... වීරසිංහ අන්කල් ඉන්න එකේ කියලා මමත් ඉක්මනට ට්‍රිගර්ව අරන් එලියට බැස්සේ "මේගොල්ලෝ ගොරවන්නේ සර්පයෙක්ට වෙන්න ඇති අන්කල්" කියමින්...
හරි හදිස්සියකින් වගේ එළියට පැනපු ට්‍රිගර්, මහා හයියෙන් ගොරවගෙන බුරාගෙන ඉස්සරහ ගෙදර තාප්පේ දිහාවට දිවුවේ, මාවත් අදගෙනමයි! ට්‍රිගර් ගේ කාය ශක්තියට සම වෙන්න බැරිව, දෙවටයක් අතේ කරකවන් හිටිය ලීශ් එකට අල්ල කැපිගෙන යද්දී මම ලීශ් එක අත ඇරියා!
රොජර් ව අන්කල් අල්ලන් හිටියේ නැහැ, නමුත් රොජර් කලෙත් ට්‍රිගර්ට එකතු වෙලා ‘පිස්සු වැහිලා’ වගේ අපේ ඉස්සර තියෙන ගෙදර හිස් තාප්පෙට බුරපු එකයි, ටිකක් බලන් ඉදලා අන්කල් කියනවා, “ සර්පයෙක් වෙන්න බැහැ දුව ... හොරෙක්ද දන්නේ නැහැ... ඒකයි මම රෝජර්ව එළියට දැම්මේ” කියලා කියද්දීම බිරිල්ල නවත්තපු බල්ලෝ දෙන්නම, අපේ පැත්තට හැරිලා ඇවිදන් ආවේ “ආ.. දැන් හරි ඔන්න” කියන්නා වගේ!
“කොකොටත් මම රෝජර්ව ටිකක් ඉස්සරහට අරන් යනවා, දුව ට්‍රිගර්ව ගෙට ගන්න.. මෙතන හොරෙක් ඉදලා ගියා වෙන්නත් බැරි නැහැ!” කියාගෙන අන්කල් රොජර් එක්ක ඉස්සරහට ඇවිදගෙන යද්දී, මම ට්‍රිගර්ව ගෙට ගත්තේ... ඇත්තටම හොරෙක්ද දන්නේ නැහැ කියලා හිතමින්! "මේ ලෙන් එකට හොරුන්ගේ ආකර්ශනය වැඩි කොහොමත්" ආච්චි අම්මා කිවුවේ මම නිදා ගන්න උඩට එද්දියි...
අගෝස්තු 20
බල්ලෝ දෙන්න මොන එකකට බුරනවද මන්ද !? රෑට හරියට නිදාගන්නත් නැහැ සද්දේ නිසා! හෙටත් බලලා අයෙත් ගිහින් දානවා කියලා හිතාගෙනම, දවල් වැඩ ඉවර කරගෙන සෑම් එක්ක රන්දිව බලන්න ගියා… රන්දිගේ හැසිරීමේ යම්කිසි අස්වාභාවික ගතියක් තිබුනා කියලයි මට හිතුනේ! එයා කථා නොකෙරුවත් හොදින් සවන් දීගෙන ඉන්නවා කියලා දැනුනා මට .. ඒ හොරෙන් වගේ කතා කරන අය දිහා එයා බලපු නිසා වෙන්න ඇති...! එයා සිහියෙන් ඉන්නවද කියලා මට සැකයි..! මොකද එයා නිශ්ශබ්දව ඉන්න කෙනෙක් නොවෙන නිසා!
“රන්දි කෑම කන එකත් අඩු කරලා” කියලා, පුංචි කිවුවේ අඩ අඩා.... “කොහෙද ඕගොල්ලන්ගේ මාමා දොස්තරලා පස්සේ යනවා මිසක්, නුලක් මතුරලා දාන්න වත් කැමති නැහැනේ! .... එයාට දවසක තේරෙයි දොස්තරලටත් කරන්න බැරි දේවල් මේ ලෝකේ තියෙනවා කියලා… ඒ වෙද්දී පරක්කු වැඩි වෙයිද කියලයි මට බය!”
ඇත්ත, අපි විශ්වාස කලත් නොකලත් පවතින දේ පවතිනවා... අත්භූත දෙයක් උනත් ඒක අපි පිළි නොගත්ත කියලා අහෝසි වෙන්නේ නැහැනේ ..... මාමා මේ ගැන මැදිහත්ව හිතුවනම් මේ ප්‍රශ්නෙන් රන්දී මෙතරම් දුක් විදින්නේ නැති වේවි කියලා මටත් එවෙලේ හිතුනා!...
අගෝස්තු 21
දවල් කෑම ගනිද්දී, කෝල් එකක් අවා දිලුගෙන්... "පොඩි පුන්චිවයි, මල්කිවයි බල්ලෙක් හපලලු! [පස්සේ දැන ගත්තේ, හපලා නෙවෙයි හපන්න පැනලා විතරයි ] පාරේ යන මිනිස්සු දෙන්නෙක් තමයි බල්ලව එළවලා බේරාගෙන තියෙන්නේ! (ඒ වෙද්දීත්, රන්දිගේ නංගි මල්කි, හිටියේ පොඩි පුංචිලා එක්ක) ‘පිස්සු බල්ලෙක්’ නම් තමයි වැඩේ! නගර සභාවෙන් එනවා කිවුවලු, බල්ලව අල්ලාගෙන යන්න! ඒ පැත්තේ මිනිස්සුත් බල්ලව හොයන්න try කරලා .. ඌව හොයාගන්න උනේ නැහැලු!" කියූ දිලූ තවත් ඕපාදුප ටිකක් කියවලා කථාව අවසන් කළා
ආච්චි අම්මට විස්තර කියද්දී මට හිතුනේ… “මේ දවස් වල ඇහෙන්නෙම බලු ප්‍රශ්නද මන්දා” කියලයි…
අගෝස්තු 23
හවස ආච්චි අම්මා එක්ක පන්සලට ගියේ බණක් කියවන්න දවසක් යොදාගන්න, ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න හිතා ගෙනයි! ආච්චි අම්මා ලොකු හාමුදුරුවෝ එක්ක කතා කරලා එනකන් මම බුදුන් වැදලා, බෝධිය නාවන්න හිතාගෙන කලේ පුරව ගන්න ටැප් තියෙන පැත්තට ගියා... පන්සල පිරෙන්නේ පෝයට විතරයි නේ කියල හිතමින් වතුර කලේ පිරෙනකන් මම බැලුවේ පන්සලේ තාප්පේ බැවුම් වෙන පල්ලම පැත්තේ කැලේ වේලා ගිහින්... වල් වැවිලා..!
එක කලයක් නාවලා ඇවිත්, කැලේ පැත්ත බලාගෙන තවත් වතුර කලයක් පුරවද්දී මම දැක්කා, පල්ලමේ අදුරේ තියෙන පදුරු අතරින්, රතු පාටට හුරු පොඩි බෝල දෙකක් වගේ දෙයක්! වතුර පුරවන තැන තිබුන ලයිට් එලිය තරමක් දුරට පදුරු අතරට වැටිලා නිසා හොදට පේනවා...
සතෙක් වෙන්න ඇති කියලා හිතලා …මම ඒ වතුර කලෙත් නාවලා, නැවත එද්දී බලාගෙන ආවේ ඒ සතා ඉන්නවද කියලා… කලින් තැනම නොවුනත් ඊට ටිකක් මෙහායින්, කලින් හිටියට වඩා ටිකක් තාප්පේ ලගට වෙන්න, ඒ රතුපාට බෝල දෙක තියෙනවා දැකපු නිසා මම, නිකමට වගේ ගල් කැටයක් අරගෙන, ඌ හිටපු පදුරු අතරට ගැහුවා... ඌව බය කරන්න හිතාගෙන වගේම රතු ඇස් තියෙන සතා මොකාද කියලා බලා ගන්නත් එක්ක... පුදුමේ කියන්නේ ඌ හෙල්ලුනේවත් නැහැ!
තව ගල් කැටයක් අරන් එල්ල කරලා ඌටම වදින්න ගැහුවා! හරියටම සතාටම වැදුනත් ඌ නෙවෙයි එක දශමයක් හෙල්ලුනේ! "මු යකෙක් නේ!!" කියලා, කියවුනා මට! ‘වචනාර්ථය’, බය එක්කන් ඔලුවට එද්දිම වගේ මම කලේ තියලා ඉක්මනට බුදු ගේ පැත්තට අවා! මේ සිද්ධියට කිසිම සම්බන්දයක් නැති උනත්, හිතේ සැකේට එවෙලේම මම කෝල් කලා දිලුට! “ MC එකෙන් ඇවිත් අර බල්ලව අල්ලන් ගියාද” ...ඇහුවම දිලූ කිවුවේ ඒ මිනිස්සුන්ට බල්ලව හොයා ගන්න බැරි උන බවයි!.... ඒ සතාව දැකපු කෙනෙක් වත් හොයාගන්න ඉදලා නැහැ කියපු දිලූ කතාව අවසන් කලේ “එකත් මාර වැඩක් තමයි” කියමින්!
ආච්චි අම්මා සැප්තැම්බර් 10 වෙනිදට පිරිතකට දින යොදාගෙන!…
ගෙදර එන්න පිටත් වෙද්දී මට හිතුනේ, පන්සලේදී සතෙක් ද කියලවත් නොදැන, නොදැක… බොරුවට බය උනා කියලයි!


