Friday, December 23, 2011

හොල්මන් ගෙදරක නිවාඩුවක්! 2 කොටස…( 12 කොටස )

අහඹුද! අද්භුතද?!?  
අගෝස්තු 30

පාන්දරම ගෙදර ආපු ලොකු මමාලා ආච්චි අම්මා එක්ක පාන්දරම පන්සලට එක්කන් ගිය සෑම් ව, පාන්දර 5 පහුවෙද්දී එක්කන් අවා! සෑම් ගේ මුණ, වේලිච්ච කොළයක් වගේ පාණ්ඩු පාට වෙලා ගිහින්...! එයා බිම බලාගෙනම හිටියා කාත් එක්කවත් කථා කලේ නැහැ... පාන්දර ඉදන්ම වත්තේ පුටුවක් උඩට වැටිලා බලාගත්තු අත බලන් හිටියා.. ලොකු මාමලත් සැරෙන් සැරේ එලියට ගිහින් එයා එක්ක කථා කරනවා දැකපු මට හිතුනේ පස්සේ හිමිට එයා එක්ක ටිකක් කථා කරන්න ඕනේ කියලයි...



ආච්චි අම්මා හැමෝටම පන්සලෙන් ගෙනාපු පිරිත් නූල් බදින නිසා මමත් එයා ළගින් වාඩි උනේ පිරිත් නුලක් බන්දගන්නත් එක්කයි ! "දැන් දූට කොහොමද?! මුකුත් අමාරුවක් නැහැ නේද!?... යි ඇහුවේ සැමන්තා වාඩි වෙලා ඉන්න දිහා බලමින්...."මගේ කම්මුල රිදෙනවා බෙල්ලත් එක්කම... එච්චරයි! වෙන නම් අමාරුවක් නැහැ!".. කිවුවේ ඇත්තටම මගේ මුළු මුණම කකියමින් තිබුනා හැර වෙනත් අමාරුවක් මට නොතිබුන නිසා.. 

ආච්චි අම්මා පිරිත් නූලක් මටත් බැදලා මගේ කම්මුලත් චෙක් කරලා "ටිකක් තවමු... එතකොට හරි යයි" කියලා නැගිටලා කුස්සිය පැත්තට ගියා... කම්මුල අත ගමින් මම කල්පනා කලේ මටත් නොදැනීම මගේ හිතේ මේ භයානක අද්භූත සිද්ධි වලට මුහුණ දීමේ අමුතු ශක්තියක් ගොඩ නැගෙමින් තියෙනවා නේද කියලයි.. භයක් නොතිබුනාමත් නෙවෙයි.. නමුත් වෙනසක් තියෙනවා.. නිකං පදම් උන ගතියක්ද මන්දා... කල්පනා කරමින් ඉන්න වෙලේ මම දැක්කේ එළියේ බාප්පා එක්ක තවත් කෙනෙක් කථා කර කර ඉන්නවා! 


සුදු සරමක් ඇදලා, ලා පාට කමිසයක් ඇදගත්තු ඒ පුද්ගලයා බාප්පයි මාමයි එක්ක ගෙට අවේ මිදුලේ මල් ගහක් මුලට බුලත් කෙළ පාරක් ගහමිනුයි! තවත් පිරිමි ළමයෙකුත් එත් එක්කම ගෙට එද්දී මට හිතුනේ මේ ගෝලයෙක් වෙන්න ඇති කියලයි..
ගේ වටේම ඇස් කරකවලා බලපු ඒ කට්ටඩි කෙනා “හ්ම්ම් ගේ ඇතුලේ ඉන්නවා තමයි, බලවත් ආත්මයක්! අපි කවුද මේ කියලා බලලම පටන් ගමු!” යි කියලා ගේ වටේම ඇවිදින්න ගියේ ගෝලයව සාලේ නතර කරලයි...


මේ මනුස්සයා කට්ටඩියෙක් කියලා බැලු බැලමට පෙන්නේ නැහැ කියලයි මට නම් හිතුනේ...! අමුතු කපටි කමක් ඒ ඇස්වල තිබුනා...සීයාගේ යාලුවෙක් වෙච්ච, අබේපාල ගුරුන්නාන්සේ වයසක කෙනෙක් උනත් පිරිසිදු පෙනුමක් තිබුණ මහා අමුතු ගාම්භීර කමක් මුණේ තිබුණ තෙත් උන කරුණාවන්ත ඇස් දෙකක් තිබුණ කෙනෙක් විදියටයි මගේ මතකයේ තියෙන්නේ..! ඒ මිට අවුරුදු 11 කට වගේ කලින් සියා ඉන්න කාලේ, අපේ ගෙදර ඇවිත් දවස් දෙකක් නැවතිලා හිටියා මොකක් හරි වැඩකට කොළබ ආපු ගමන්.. මට මතකයි සීයා කියනවා ඒ ගුරුන්නාන්සේ, භූත විද්‍යාවෙන් වැඩ ගත්තු කෙනෙක් උනත් වැඩිය පෙරේතයෝ වගේ පහත් ආත්ම ආශ්‍රය නොකළ කෙනෙක් කියලා.. ඒකේ විශේෂත්වය මම දන්නේ නැහැ...


මේ කට්ටඩි කෙනාගේ තිබුණ ලොකුම වෙනස තිබුනේ, ඇස් දෙකේ කියලයි මට හිතුනේ..! ඒ ඇස් වල තිබුන කිසි හැගීමක් නැති ගතියට එකතු උනේ උකුසු බැල්මයි..! අහු මුළු දිහා බල බල, ගේ වටේ යමින් හැම කෙනාගේම දිහා ඔලුවේ ඉදන් කකුල් වලටම බලමින්, ගිය චාරිකාව නිමා කලේ සාලේ පුටුවකට වැටේමිනුයි...! “එහෙනම් අපි යමු! ගිහින් කරන්න ඕනේ දේවල් සාස්තරයකින් බලලම ඉමු!” යි කියලා, චිත්‍රා පිළිගන්වපු උණු තේ ඒක, බීගෙන බීගෙන ගියේ ගානක් වත් නැතිව, සමහර විට කාලයක් බුලත් කලා, කටේ ස්නායු මැරිලා ගිහින් වෙන්න ඇති කියලයි මට හිතුනේ..! 


පොඩි බාප්පා, ලොකු මාමා සහ පොඩි පුංචි, කට්ටඩි තැන එක්ක යන්න යන්න ලෑස්ති වෙද්දී, ආච්චි අම්මා කාමරේ දී පුංචිට කිවුවේ, “අනේ මන්ද ළමයෝ, මේ මනුස්සයව නම් මට එතරම් අල්ලන්නේ නැහැ! කියලයි.. "යක්කු, පෙරේතයෝ එක්ක හැප්පෙන මිනිස්සු නේ අම්මේ... ඒ නිසා වෙන්න ඇති අම්මට එහෙම හිතෙන්නේ! යි පුංචි කියද්දී..


"අභේපාල පාල ගුරුන්නාන්සේ එනකන් ඉන්න විදියකුත් නැහැනේ... හ්ම්ම් එහෙනම් ගිහිල්ල එන්නකෝ, මේක මෙතනින් කෙළවරක් කරගමු, තව පරක්කු නොකර! ” යි කියලා ආච්චි අම්මා පහළට බැස්සේ, ලොකු මාමට කථා කරමින්..! උදේ කෑම අහවර කරපු අපි, සාලේ පුටුවලට වෙලා පොත් කියවන්න උනේ මේ වෙලාවේ සෙල්ලමක් කරන්නවත් හිතක් නැති නිසා...උදේ කෑමට ගේ ඇතුලට සෑම් සගරාවක් අරගෙන පින්තුර විතරක් බලමින්උ ඩින්  පල්ලෙන් පෙරළන් යද්දී, මම ගිහින් සෑම් ළගින් ඉදගත්තේ එයා එක්ක ටිකක් කථා කරන්න බලාගෙන! 


ඒක ඉවෙන් වගේ දැනගත්තු දිලුත් ටක් ගලා ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි උනේ අපේ සතර කන් මන්ත්‍රණය දෙකෙන් වැඩි කරමින්..! “දැන් කොහොමද ඔයාට?!” යි අහලා කතාව පටන් ගත්තු මගේ ඊලග ප්‍රශ්නේ දන්න නිසාම සෑම් මම ප්‍රශ්නේ අහන්න කලින්ම අහන්න කලින්ම එකටත් උතරයක් දුන්නා! “ දැන් හොදයි වගේ ටිකක්... අනේ මන්දා මොකක් උනාද කියලා... මට මතක නැහැ සිහිය එනකන්ම උනේ මොකද්ද කියලා...!” යි සෑම්  කියද්දී මම ඇහුවේ “ඔයාට මොනාද මතක තියෙන්නේ?” කියලයි!...


“හ්ම්ම් මට මතක කැම් එක කාමරේ පැත්තට අල්ලාගෙන පස්සෙන් පස්සට අවා..., ඊළගට නිකන් ඇස් පෙන්නේ නැතිව ගියා වගේ මට දැනුනේ..! සුළියකට අහු උනා වගේ කරකැවිල්ලක් තිබුණා වගේ මතකයි...! සිහිය එද්දී ඇත්තටම මට අදුන ගන්න බැරි උනා කිසි කෙනෙක්ව..! ඉන්නේ කොහෙද මම කවුද කියලවත් හරියකට මතක් උනේ නැහැ! වෙන කෙනෙක් මගේ ඇස් වලින් බලනවා වගේ හැගීමක්, ගතියක් තිබුනේ එවෙලේ...! හරි අමුතුයි ඒක..!” යි කියලා එයා මගෙන් ඇහුවේ “ඔයා මොනාද දැක්කේ අන්තිමට?!” කියලයි... 

මම කිවුවා, මම දැකපු දේ සහ මට උන දේ...එතකොට දිලූ හොරෙන් වගේ වට පිට බලලා කියනවා... “අපේ තාත්තා පාන්දර පහළට වෙලා බාප්පලා එක්ක කථා කරනවා මම පඩි පෙළේ ඉදගෙන අහගෙන හිටියා අහගෙන හිටියා හොරෙන්..! අපේ තාත්තා දැකලා තිබුණා, කලුපාට මොකක් හරි දෙයක් සෑම්ගේ ඇගේ වදිනවා..!  එවෙලේ දැකපු දේ එයාට විස්වාස කරන්න බැරි උනා ලු..! ළමයි දැකලා තියෙන්නේ බොරු නෙවෙයි කියලත් කිවුවා..!”  

එතකොට මම ඇහුවේ “ කැම් එකේ වීඩියෝ කිල්ප් ඒක ගැන මුකුත් කිවුවද ඒගොල්ලෝ? ” කියලයි... “නැහැ ඒ ගැන මුකුත් කිවුවේ නැහැ..! ආ… මෙහෙම කිවුවා “අයියලත් දැක්කනේ” කියලා හැබැයි ඒ වීඩියෝ ක්ලිප් ඒක ගැනද දන්නේ නැහැ..!” 

සමහර විට ඒක ගැන වෙන්නත් පුළුවන් මට හිතුනා එවෙලේ... “ මට නම් දැන් ඉන්නත් බයයි කොහෙවත්... තනියම ඉද්දි ඔහොම දෙයක් උනොත් මැරිලා ඉදියි කියලයි මට හිතෙන්නේ...!” යි සෑම් කියද්දී, ඒක පාරටම අතීතයට දුවපු මගේ හිතට පෙනුනේ, රන්දි හීනෙන් ඇවිදලා මල්කිගේ අත හපපු දවසේ රන්දි කියපු දේ “මට නිදාගන්න බයයි..! නිදාගත්තොත් අයෙත් ඇහැරෙන්න වෙන්නේ නැති වෙයි කියලා, මට හිතෙනවා..!”…  ඇත්තටම රන්දිගේ සිහිය නැතිකරලම දාපු මේ හොල්මන දැන් අපෙන් එකෙගේ පැත්තට හැරෙන්නයි යන්නේ කියලයි මට එවෙලේ හිතුනේ..!

දවල් වෙනකන් අමාරුවෙන් ඇස් ඇරන් දවස ගත කරපු අපි කට්ටියම කාමරේට ගියේ පොඩ්ඩක් නිදාගන්නවා කියලා හිතාගෙන..! එක ඇදේ එක එක පැත්තට ඔළු දාගෙන වැටුන වැටුන විදිහට කට්ටියම හොදටම නිදි පැය බාගයක් ඇතුලත..ආච්චි අම්මත් ඒ වෙද්දී එයාගේ කාමරේ නිදියන හිටියේ...අපි දොර ඇරගෙන නිදාගෙන ඉදපු ඒ කාමරේට කොරිඩෝර් එකේ කෙලවරේ තියෙන ආච්චි අම්මා නිදා ගත්තු කාමරේ පේනවා..! 

මොකක් හරි හේතුවකට කොයි වෙලාවේ හරි මාව ඇහැරුනා.. මම හීනෙන් වගේ බාගෙට ඇස් ඇරලා ඇස් පිහාටු අස්සෙන් මට කෙලින්ම පේන කාමරේ දිහා බැලුවා.. මම දැක්කේ, අපේ කාමරේ දොර ගාව ඉදලා කෙනක් එකපාරටම කොරිඩෝර් එක හරහා ආච්චි අම්මා නිදාගෙන හිටපු ඒ කාමරේට ගියා වගේයි..!  කල්පනාවකින් තොරව මම බලාගෙනම හිටියා ඒ දිහා... නැවත වරක් ඒක පාරටම පැහැදිලිවම පෙනුනා ඒ කළු පාට චායව, මම දැක්කේ තප්පරෙකට..! ආච්චි අම්මගේ කාමරේ ඇතුලේ ඉදපු ඒ චායාව ඒ කාමරේ ඇතුලේ ඉදන් මගේ දිහාම බලන් හිටියා කියලයි මට දැනුනේ... දෙපාරක් නොහිතා මම නැගිට්ටා...  


ගැහෙන හිතින් ඇදෙන් බැස්ස මම කාමරේ දොර ගාවට ගිහින් හිත දැඩි කරගෙන හිමිට ගාටන්න ඉන්නේ නැතිව වෙඩි තිබ්බා වගේ දුවලා ගියා ආච්චි අම්මගේ කාමරේට... ආච්චි අම්මා හොදින්..! එයා හොදට නිදී...! සැනසුම් සුසුමක් හෙලලා ඉවර කරන්න හම්බ උනේ නැහැ සචිගේ උච්ච 'ආආ' ස්වරේ කන් බිරිකරවාගෙන එද්දී ආච්චි අම්මා බයවෙලා නැගිටලා එක පාරට  ඇදෙන් බහින්න ගිහින් තව ටිකෙන් වැටෙනවා...! එයාව ඇදෙන් ඉන්දවලා ඕනේ දෙයක් වෙද්දෙන් කියලා අයෙත් දිවුවා දිලුලගේ කාමරේට! නිදියන් ඉදපු ඔක්කොමලා ඇහැරිලා! දිලූ දිවුවේ, මම වතුර එකක් ගේන්නම් කියාගෙන..! 

මම ඇද එහා පැත්තට යද්දී සෑම් ඇදෙන් වැටිලා කරන්ට් වැදිලා වගේ ගැහෙනවා..! එයාගේ ඇස් උඩ ගිහිල්ලා..! ආච්චි අම්මත් කාමරේට එද්දී එත් එක්කම කාමරේට ආපු දිලුගේ අතින් වතුර ටිකක් අරන් සෑම්ගේ මුණට ගැහුවත් හරි යන්නේ නැහැ වගේ! දෙයියනේ මටත් රන්දිලගේ ගෙදරදී මෙහෙම තමයි වෙන්න වෙන්න ඇත්තේ...! මේක නම් හරිම භයානකයි කියලා හිතෙද්දි, මම දිලුට කිවුවා “මාමාට කෝල් කරලා කියන්න ඉක්මනට” කියලා…


ඒක කියලා හැරෙද්දීම එක පාරටම වගේ ගැස්සෙන එක නවත්තපු සෑම් ඇස් ඇරියේ මුකුත්ම නොවුණු ගානට..! ටිකක් එහෙමම ඉදලා වට පිට වත් නොබලා නැගිටලා ගිහින් ඇදෙන් ඉදගත්තේ හරිම අමුතු විදියකට..! අත් දෙක ඇද උඩ ඇග  දෙපැත්තෙන් තියා ගෙන ඉදගෙන, එයා කකුල් දෙකම පද්දන්න ගත්තා... ඇහි පිල්ලමක් වත් නොගහා ඇදේ ඉදගෙන, කෙලින් බලන් කකුල් පද්දන සෑම් දිහා මම බලන් හිටියේ ඊළගට කරන්න ඕනේ දේ තප්පර ගානක් යනකන් සිහියට එන්නේ නැතිව තිබුන නිසා..! සෑම් දිහා බලන් ඉන්නත් බයයි වගේ..! සෑම් ඇස් ඇරගෙන හිටියත් එයා ඉන්නේ නම් හොද සිහියෙන් නෙවෙයි කියලයි මට හිතුනේ..! මුණ පහත් කරගෙන නළලට යට උන ඇස් වලින් ඔරවාගෙන වගේ අපි එක එක්කෙනා දිහා මාරුවෙන් මාරුවට බැලුවා...


පස්සෙන් පස්සට ගිය සචි කාමරෙන් දුවද්දී... මලකි සද්දයක්වත් නොඑන්න හිමිට ඇදෙන් බැහැලා එළියට දුවලා ගියේ සෑම්ගේ පෙනුමට බය වෙලා බවයි මට දැනුනේ..! මම ආච්චි අම්මා ලගට ගිහින් හොරෙන් වගේ ඇහුවේ  “මොකද දන්නේ නැහැ වෙලා තියෙන්නේ.." කියලායි...  ආච්චි අම්මා ඇහෙන නැහෙන ගානට, මට කිවුවේ “එදා දුවට උන දේම තමයි..! වෙනසකට තියෙන්නේ දුගේ ඇගට ඇතුල් උනාට ‘එකාට’ ඉන්න බැරි උනා වැඩි වෙලා, එත් දැන් සමැන්තාගේ ඇගට ‘ඒකා’ රිංගලයි කියලයි මට හිතෙන්නේ...! බලමුකෝ දැන් කට්ටඩි තැනව එක්ක ගෙන එවිනේ..!” කියලයි 

තවත් පැයක් වගේ ඇතුලත කට්ටඩි තැන රැගත් වාහනේ මිදුලට සේන්දු උනා...! කට්ටඩියයි එයාගේ ගෝලයෝ දෙන්නෙකුයි ඇවිත් පැය බාගයක් විතර නුලකට මතුරලා, සෑම්ගේ බෙල්ලට දැම්මා.. “දැන් හරි යයි, නිදි කරවන්න...” කියලා “අද හෙටම පිලියමක් කරන්න වෙයි ! සාත්තරෙටත් කියවුණා වගේ මේ මළ ගිය ප්‍රාණ කාරයට බිල්ලක් ගන්න උවමනාවක් තියෙන්නේ...! අදම පටන් ගත්තා නම් හොදයි නැකත් තියෙන නිසා! ” යි කියද්දී ලොකු මාමා “හරි මේක ඉවරයක් කරලා දාමු එහෙනම්! ” කියලා ඔක්කොම එක්ක එළියට ගියේ, මේ කරන්න හදන වැඩේ කතා කරගන්න!

දවල් කෑමෙන් පස්සේ කුඩා තොවිලයකට වගේ පුන්චිලගේ ගේ ලෑස්ති වෙද්දී සෑම්ට සිහිය ඇවිත් තිබුනත් එයා කේන්තියකින් වගේ ඉන්නවා කියලයි මම දැක්කේ...! සාලේ පුටුවක ඉදගෙන එක එල්ලයක් බලාගෙනම ඉදපු සෑම් දිහා, කට්ටඩි තැන සහ එයාගේ ගෝලයෝ දෙන්නත් බල බල යනවා මම බලාගෙන..! දෙකින් එකක් වෙයි නේ අද කියන දේ, හැමෝගෙම හිත්වල තිබුන අදහසක් කියලා මට හිතුනා...!

හවස 5 පහුවෙද්දී, දිලුලගේ කාමරේට දාලා දවල් ඉදන් තියලා තිබුන කෑම එකේ සුවද ගෙදර ඉදපු පෙරේතයා කාලයි කියලා, කියපු කට්ටඩි තැන එකෙන් ඔප්පු වෙනවා ගෙදර දුෂ්ඨ ආත්ම තියෙනවා කියන එක කියලා එයා පටන් ගත්තු කුඩා තොවිලේ.... මන්තර, දුම්මල, ගිනි දළු, සුවද දුම් මැදින් රෑ 1 විතර වෙනකන් ඇදෙද්දී,… විශේෂයි කියලා මට හිතුන දෙයකට උනේ, රැ 12 ට ලං වෙද්දී නට නටා වටේ ගිය කට්ටඩි තැන දෙහි ගෙඩි 3 ක් අරගෙන ගෙඩිය ගානේ, ගිරයකට තද කරගෙන, සෑම්ගේ ඔලුවේ ඉදලා කකුල් දෙකටම, දෙහි ගෙඩි තුනම, තුන් වරක් අතුල්ලගෙන ගිහින්, කකුල් ලගදි ගිරය තද කරලා, කැපෙන දෙහි ගෙඩි වතුර එකකට දැමීම..! මුළු පැය ගානට උණුසුම්ම අවස්ථාවකට තිබුනේ ඒ ටික කියලයි මට හිතුනේ!

මොනා උනත් සැම්ට ගුණයක් තිබුනා කියලා මට හිතුනා..! ඊට අමතරව ඒ දෙහි සාත්තුව පවුලේ හැමෝටම කරලා, පාන්දර ජාමේ, පෙරේතයින්ට කියලා හදලා තිබුණු කෑම වර්ග එකතු කරලා තැම්පත් කරලා තිබුන ගොක් කොළ තට්ටුවතුම්මං හන්දියක දාලා ඇවිත්, ආරක්ෂාවට කියලා මුට්ටි කිහිපයක් ගේ මයිමේත් මිදුලේ හතර මායිමේත් වල වළලලා “දැන් ආරක්ෂාවයි! භය වෙන්න දෙයක් නැහැ !” කියලා කියපු කට්ටඩි තැන, ඔක්කොම වැඩ ඉවර කරද්දී පාන්දර 4 ත් පහු වෙලා..! 

කට්ටඩි තැනගේ ගාස්තුව ගෙවපු ලොකු මාමාට, එයාගේ ෆෝන් නම්බර් එක දුන්නේ, අයෙත් හදිස්සියක් උවමනා උනොත් කතා කරන්න කියලයි..! එයාම කියපු විදිහට දැන් ඉතින් ආරක්ෂාවයි නම් අයේ මොකට කථා කරන්නද කියලා මට හිතුනා...  

කෙසේ හෝ එළබෙන දවස අනෙක් මිනිස්සුන්ට වගේ අපිටත් සාමාන්‍ය වේවි කියන හැගීමෙන් ඇදට ඇවිත් ඇස් වහගත්ත මම, කිසිම නරක හීනයක් නොදැක පැය කීපයක නින්දක නිදා ගත්තේ අලුත උපන් පොඩි දරුවෙක් වගේ සැහැල්ලුවෙන්...! අපිට දවස් කිහිපයකට හරි සැනසීමක් දුන්න එකට, නම් ඒ කට්ටඩියට පින් සිද්දවෙනවා හැබැයි!




තාවකාලිකව එලවපු යකා වෙනුවට, ගෙන්වපු පෙරේතයෝ ගැන ඊලග කතාවෙන් කියවන්න!

නැවත කථාවකින් හමු වෙමු!!! 

          

12 comments:

  1. "හොර කට්ටඩියා"....... ඇයි එහෙම කිව්වේ? ඉතුරු ටිකත් ලියන්න. ඒක නෙවෙයි. මේ දේවල් සිද්ධ උණේ කොළඹ පළාතෙද? නැත්නම් ලංකාවේ වෙනත් පළාතකද? මොකද මේ වගේ සිද්ධි කොළඹ හා ආසන්න ප්‍රෙද්ශ වල සිද්ධ වෙනවා අඩු නිසා.

    ReplyDelete
  2. @ Charitha: මේවා ඔක්කොම උනේ බත්තරමුල්ල, නාවල, තලවතුගොඩ සහ කොහුවල කියන පළාත් වල චරිත!ඉදිරි පොස්ට් වල බලන්නකෝ කොහොමද කට්ටඩියා තක්කඩියෙක් උනේ කියලා!

    ReplyDelete
  3. හපොයි !!!! වැඩි දුරක නෙමෙයි එහෙනම්. මටත් බයයි දැන් නිදා ගන්න.ඇත්තට දැන් ඉන්න කට්ටඩියො ගොඩක්ම බොරු තමයි කරන්නෙ. මම හිතුවා දැන්වත් මේ කරදරෙන් සහනයක් ලැබෙයි කියලා. දැන් තවත් ඒක වැඩි වෙලා වගේ. නමුත් කට්ටඩියාට මුකුත් කියන්න බැහැ එයා එයාගෙ උපරිමෙන් කලා වෙන්න පුලුවන්. නමුත් මේ බලවේගය පරාජය කරන්න් තරම් ඒ බලය මදි වුනා වෙන්නත් පුලුවන්.

    ReplyDelete
  4. ඉතිරි ටික ලියනකම් අපි බලාගෙන ඉන්නවා........

    ReplyDelete
  5. goda dawasakin enna une me patthe! ithuru tika denakan inne mamath kiywanna! :)

    ReplyDelete
  6. dear, oyage alla trip eka gana thiyana post eke dala thiyana 4to eka gaththe kauda? eke inna 3 ndena kauda? eka edit kala ekakda?

    ReplyDelete
  7. dear, e 4to eka attama ekak neda? oya nam pothak liyannama ona,mamai kiyanne liyannama ona ok.pudumaaakara hakiyawak thiyanawa oyata.. me illima mama oyagen illana deweni wathawa dear sis... (Him)

    ReplyDelete
  8. @ my7: පැමිණීම සතුටක්!:) ඉක්මනින් අනිත් කොටස් පළකරන්නම්!

    ReplyDelete
  9. @ Anony: එක එඩිට් කරපු එකක්ද කියන්න ඇතටම මම දන්නේ නැහැ! ඒ ඔක්කොම ෆොටෝස් මට මේල් එකකින් අපුවා වගයක්!අර 'ඇල්ල උඩ හොල්මනක් ඉන්නවා' කියන පොස්ට් එකේ පළවෙනි ෆොටෝ එක නම් මම දැකපු මේ කළු පාට චයාවට ගොඩක් සමානයි!

    @ Anony: අපේ ට්‍රිප් එකේ එක ෆොටෝ එකක්වත් හොල්මනක් කැප්චර් වෙලා තිබුනේ නැහැ! අපිට පළවෙනි දවසේ ඇරුනම, ෆොටෝස් ගන්න උනෙත් නැහැ, ඇත්තම කියනවනම්, ඒ ට්‍රිප් එකේදී!
    පොතක් ලියන එක ගැන, ඇත්තටම මම හිතලා බලන්න පොරොන්දු වෙනවා ඔයාට! :)

    ReplyDelete
  10. @ දිලුෂ: බයෙන් හරි ආපු එක සතුටක්! :)

    ReplyDelete
  11. ඇත්තටම හොද blog එකක් .ඒකාකාරි බව මකා ගන්න මේක හොද තැනක්.......දිගටම ලියන්න ඔබට ජය!

    ReplyDelete