Tuesday, December 20, 2011

හොල්මනක් එක්ක ගමනක්! (10 කොටස )

අහඹුද! අද්භුතද?! 3 කොටස 



10:45 යි වෙලාව… පහළට යන්න සෝපානයට ගොඩ වෙද්දීත් මගේ ඔලුවේ කැරකුණේ, ආච්චි අම්මා කියපු දේයි “බය නැහැ නේද තනියම ගෙදර යන්න...?!” ඇත්තටම බය නැද්ද තනියම ගෙදර යන්න? රන්දිලගේ ගෙදරදී මොකද්ද උනේ ඇත්තටම...!? බය වැඩි කමට උන දෙයක් වෙන්න ඇති...! කලන්තේ දාන්න තරම් බයක්...!?  ආච්චි අම්මත් හොල්මනක් දැක්ක එක...! ආච්චි අම්ම දැක්කේ මොන වගේ හොල්මනක්ද...?! අපි ඇල්ල ගාවදි දැක්කා වගේ හොල්මනක්ද එයත් දකින්න ඇත්තේ!... අපෝ ඇති ඇති... දැන් ඇති... ඔවා දැන් වෙලා ඉවරයි නේ!:"

‘හිතයි’, ‘මමයි’ අතරේ උන දෙබස, බලෙන් නවත්තපු මම රෝහලේ අවසාන මහළට සැපත් උන සෝපානයේ දොරින් එළියට එද්දිම, සෝපානයේ ඉදපු තවත් කෙනෙක් මගේ පිටිපස්සෙන් එළියට ආව බව මට දැනුනේ, දකුණු අතට ලාවට වගේ වැදීගෙන ගිය හුළං පාරක් නිසයි! “වට පිටාව ගැනවත් සිහියක් නැතිවනේ යන්නේ!” යි මටම බැන ගනිමින්, සිහියෙන් යන්න ඕනේ යි හිතාගෙන වාහනේට ගොඩ උන මම ගෙදර යන්න පිටත් උනා!

යන පාරේම තිබුණු අක්කලාගේ ගෙදරට ගිහින්, බල්ලෝ දෙන්නත් බලාගෙනම යනවා කියලා හිතාගෙන... යමින් ගමන් අක්කලාගේ ගෙදරටත් ගොඩ උනා ! බල්ලන්ව නාවලා සනීපෙට නට නටා ඉන්නවා වත්ත පුරාම... මාව දැක්කම එකපාරටම මියට පිම්බා වගේ නිශ්ශබ්ද උන බල්ලෝ ටික, මගේ දිහා අමුත්තෙක්ව දැක්කා වගේ බලන් ඉන්නේ ඇයි කියලා හිතන ගමන්ම මම, මට කිට්ටුව හිටපු ට්‍රිගර් ගාවට ගියේ... “අනේ අනේ, දවසට දෙකට මාව අමතක උනා නේද?!” යි අසමින්!

ලගට යද්දීම ඇහුනා ට්‍රිගර් ගොරවනවා කියලා...! 'මෙන්න, මගේ බල්ලා මට ගොරවනවා' යි සිතමින් මම තව අඩියක් ඉස්සරහට තියද්දීම සද්දෙන් ගොරවපු ට්‍රිගර්, අඩියක් ඉස්සරහට තිබ්බේ නම් ඊලග ඇසිල්ලේ ඇගට පනින්න බලාගෙන තමයි කියලා මට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැති එකේ... බල්ලාගේ අයිතිකාරයා උනත් දැලි පිහියෙන් කිරි කන්න ඉන්නේ නැතුව... අඩි කීපයක් ආපස්සට තියපු මම විදුලි වේගෙන් ආපසු හැරිලා දුවලා ගිහින් නැවතුනේ වාහනේට නැගලා දොරත්  වහ ගෙනයි! 

ඔක්කොම බල්ලෝ ටික බුරා බුරා වාහනේට කිට්ටු වෙද්දී මට හිතුනේ මොකක් නමුත් අස්වාභාවික දෙයක් සිද්දවෙනවා කියන එකයි… ගෙට ගොඩවෙන්න වත් විදියක් නැතිව ෆෝන් එකෙන්ම අක්කට යනවා කියලා මම එන්න අවේ හිතේ ඇති උන බයක් වගේම අමුතුම කළ කිරීමකුත් එක්කයි… සමහර විට පැටියා කාලේ ඉදන් හදපු සතා මාව හපන්න පැන්න එකේ වේදනාව වෙන්නත් ඇති ඒ!


මොකක් නමුත් අමුත්තක් තියෙනවා කියන දේ ඔලුවේ ඉතුරු වෙද්දී ඒ සිහියෙන්ම ගෙදර ගිහින් ‘සීයාගේ ඩයරිය’ හොයා ගත්තු මම, මහා දොර වහගෙන එන්න හැරෙද්දීම ගේ ලගට  කරලා නවත්තපු වාහනේ වීදුරුවෙන් දැක්කේ අදුරු උස හෙවනැල්ලක් මගේ පිටි පස්සෙන් තියෙනවා වගෙයි!! එක පාරටම දැකපු දෙයින් කරන්ට් එකක් වැදුනා වගේ ගැස්සිලා ගිය මම මිදුලට බහින්න තියෙන පඩි තුනම එකවර පැනලා ගේට්ටුව ලගටම ගිහින් නැවත හැරිලා බැලුවා!

මොකද්ද ඒ!?!.... මම දැකපු දේ මට ෂුවර් නැති  උනත්… මට යම් විශ්වාසයක් ඇති උනා මම මොකක් හරිම දෙයක් දැකපු බව නම්!... බල්ලෝ බිරුවෙත්, මේ හෙවනැල්ල වගේ දේ මගේ පිටිපස්සෙන් තියෙනවා දැකලද දන්නේ නැහැ ...! සමහර විට වෙන්න ඇති!... විනාඩි කිහිපයක් ගැහෙන හිතින් බලන් හිටිය මම… ගේට්ටුව ඇරගෙන එළියට බැස්සේ, අසල් වැසියෙක්ගෙන් උදවුවක් ගන්න බලාගෙන...! තනියම වාහනේ ලගට යන්නත් බැරි තරම් භයක් එවෙලේ මගේ හිතේ ඇතිවෙලා තිබුනා...

වීරසිංහ අන්කල් මේ වෙලාවේ ගෙදර නැති එකේ, ගමගේ අන්කල් ගේ ගෙදරට ගිය මම,....ආන්ටිට කිවුවේ වත්තේ කවුරු හරි හිටියා වගේ දැක්කයි කියලයි!.... “යන් බලන්න” කියලා ඒගොල්ලොන්ගේ මුරකාරයවත් කතා කරගත්තු ආන්ටි, මාත් එක්කම ගෙදරට අවේ හොරෙක් අල්ලන්න එනවා වගේ හොරෙන් හොරෙන්....

මුරකාරයත් වත්ත වටේ යද්දී, මට ඕනේ උනේ ඉක්මනින් වාහනේට නැග ගන්නයි...!  කියපු බොරුව නිසා, කර කියා ගන්න දෙයක් නැතිව ඉදපු මම අවසානේ මෙහෙම කිවුවා … “ආන්ටි මම හිතන්නේ, මම ගහක හෙවනැල්ලක් වගේ දෙයක් දැක්කද දන්නේ නැහැ... නැත්තන් මේ මහා දවාලේ හොරු එන්නේ නැහැනේ” කියලායි... 

“අපෝ හොරුද! උන්ට කොහෙද දු රැයක් දවාලක්!.... පොඩ්ඩක් ඉන්නකෝ, සයිමන් වටේ ගිහින් ආපු දෙන්කෝ... බල්ලොත් නැති එකේ, ඇහැ ගහගෙනම ඉදලා පැන්නද දන්නේ නැහැනේ!” යි කියපු ඇය “දොරවල් ජනෙල් වහලා නේද හොදට...! අයෙත් චෙක් කරලා බලමු ටිකක් කෝකටත් කියලා” යි අහද්දී බැ කියලත් බැරි, හා කියලත් බැරි අමාරුවකයි  මම වැටුනේ...

දැන් ඉතින් අයේ යමන්කෝ ගෙට... මදෑයි කර ගත්තා...! කොරහේ කිබුල්ලු දකින්න බලාගෙන මමත්  “එහෙනම් යමුයි” කියලා ආන්ටි එක්කම ගෙට ගිහින්, තවත් පැය කාලක් විතර හොදට වහලා තිබුණු ජනෙල් දොරවල් බොරුවට චෙක් කලා!

මාව පරාවර්තනය වෙන හැම බඩුවක්ම මග හරිමින්, පිටි පස්සෙන් මොකෙක් හරි ඉන්නවා කියන හැගීමෙන් අපහසුවෙන් ගේ වටේ යද්දී ඇති උන යම් අදහසක් නිසා කෑම කාමරේ මැද මිදුලට ඇරෙන ජනෙල් දොර ඇරිලා කියලා පේන ගානට ඇරලා දාපු මම, ආන්ටි එක්කම ගැවසුණේ එයා ඒක දකිනකම් !… 

“හොද වෙලාවටනේ දුව අපි චෙක් කලේ! මේ!... මේක ඇරලනේ! බලන්න ඉතින්!” කියාගෙන කෑම කාමරේට ගිය ආන්ටි එක්කම “හානේ ඒක නේන්නම්....” කියලා කෑම කාමරේට දුවපු මම, එයා ජනේලේ වහනකම් ගැස්සෙන්න බලාගෙනනම පිටිපස්සේ බිත්තියේ එල්ලලා තියෙන කණ්ණාඩියෙන් බැලුවේ මගේ පිටිපස්සේන් ඒ චායාව තාමත් පෙන්න තියෙනවද කියලා සැක හැර දැන ගන්නයි !


කිසිම දෙයක් නැහැ! මොන විකාරයක්ද මන්ද මේක නම්! හදිස්සියෙන් බැලුවොත් විතරනේ හොල්මනුත් පෙන්නේ… කියලා හිතින් හිතුවේ, බොරුවට නේ බය උනේ කියලා හීනියට හිතේ ඇති උන සතුටකුත් එක්කයි...! තවත් විනාඩි කීපයක් විනාස කරලා, මහා දොර ලොක් කරලා “ඔක්කොම හරි නේ... දුව යන්න දැන් ! ආච්චි අම්මව මතක් කලා කියන්න!...” යි කියමින් මිදුලට බැහැපු ආන්ටි එක්කම මිදුලට ආපු මට... “දු වාහනේ ගන්න සයිමන් ගේට්ටුව වහයි…!” කියලා ආන්ටි කියද්දී … අම්මෝ මගේ ඉහේ මලක් පිපුනා වගේ සතුටක් ඇති උනා... ඒක නම් මේ වෙලාවේ හැටියට ලොකු උදවුවක් කියලා හිතෙන් කියලා… ආන්ටිට ස්තුති කරපු මම යන්නම් කියාගෙන හැකි වේගෙන් මේ ගමන කෙළවරක් කරන්න රෝහල බලා පිටත් උනා...! 


බොරුවට හරි බය උනොත් කියලා වාහනේ මැද කණ්නාඩිය උවමනාවෙන්ම මග ඇරලා, පැති කණ්නාඩි ආධාරයෙන් රෝහල බලා එන පාරේ කිබුලාවල හන්දියට කිට්ටුවෙද්දී, පිටි පස්සෙන් ආපු වාහනයක් මේ XXL පාරේ යන්න ඉඩ නෑ වගේ එයාට තනි ඉරට වේගෙන් යන්න හෙඩ් ලයිට් මගින් ඉඩ ඉල්ලන්න ගත්තායින් එකට ඉඩ දෙන්න හිතාගෙන වාහනේ වමට බර කරද්දීම වගේ මට දැනුනා... අමුතු හුළගක් වගේ දෙයක් ඇගේ වැදිලා ඇග හිරිවැටිගෙන ගිහින්, ලෝකෙම කරකැවෙනවා වගේ..! හරියටම රන්දිලගේ ගෙදරදී උන දේ වගේමයි!

සියලුම දේවල් වල සමබරතාවය නැතිවෙලා ගිහින්, මාවත් ඇදගෙන මුළු ලෝකෙම ඇල වෙලා යනවා වගේ දැනෙද්දී, ඇතින් පෙන අමුතු දෙයක් වගේ මට යාන්තමට පෙනුනා මම ඉන්නේ වාහනේ ඇතුලේ කියලා! මම ඒක දැක්කේ එළියෙන් ඉදන් බලන් ඉන්න දෙවැන්නෙක් වගේ... වාහනේ වේගෙන් පාරේ වමට කැපිගෙන යනවා! ඒ මුළු පරිසරයම කලර්ලස් කැන්වස් පේන්ට් එකක් වගේ! ලා අළු පාට දුමක් වගේ පටලයක් වාහනේ වටේ එතිලා! 

"මේක නවත්තන්න ඕනේ!" යි බලවත්ව ඇති උන හැගීම නිසා එකපාරටම වගේ වාහනේ ඇතුලේ ඉදන් ඉන්න මගේ ශරීරයට සිහිය ආවත් ඒ වෙද්දීත් සුක්කානම අත ඇරිලා ගිහින්, වේගේ වැඩි වෙලා වැව පැත්තට ඇල වේගෙන ඇදෙන වාහනේ ඇතුලේ මම ඉදගෙන හිටියේ පණ තියෙන රූකඩයක් වගේ...!

ජිවිතේ බේරගන්න කොයි වෙලෙත් ඉස්සර වෙන මොළය “මේක නවත්තන්න! මේක නවත්තන්න!” එක දිගටම ඔලුවෙන් දෙන සිග්නල් එකට මගේ අවසාන මොහොත පෙනී  පෙනී එකපාරටම වගේ ඇහැ කණ ශරීරය අවනත වෙලා ලැබුණු ඒ අවස්ථාවෙන්ම මම හෑන්ඩ් බ්රේක් එක ඇද්දේ මහා සද්දෙකුත් එක්ක වාහනේ පාරෙන් පිට පනිද්දීමයි! දශම ගානකින් එදා දවසට දෙවෙනි පාරට මගේ ජිවිතේ බේරා ගත්ත මට එවෙලේ මේ ‘මළ හොල්මනත්’ එක්ක අවේ යක්ෂ කේන්තියක්!

අසාමාන්‍ය ශක්තියක් ඇග පුරාම දුවද්දී ඇග ගැහීගෙන එන කේන්තියත් ඇදගෙන, “මොන මගුලක්ද මේ!” කියාගෙන තප්පර ගානකින් වාහනෙන් බැස්ස මම, වේගෙන් පිටි පස්සේ දොර ඇරියේ හොල්මනක් හිටියොත් බෙල්ලෙන් අල්ලලා එළියට දාන්න තරම් කේන්තියකින්!

මොකෙක්වත් නැහැ! මට එවෙලේ ඇතිවෙලා තිබුන කේන්තියත් එක්ක, ‘පිස්සුවෙන් වගේ’ වාහනේ පිටි පස්සේ හිස් සීට් එකට ඇගිල්ලක් දික් කරලා, හිටියයි කියලා මට හිතුනු හොල්මනට කිවුවේ “අයෙත් මෙහෙම වදයක් දෙන්න ලැස්ති උනොත්, අල්ලලා දානවා මුහුදට! කල්පෙකට ගොඩවෙන්න බැරි වෙන්න!” කියලයි… 

ඒ වෙද්දී හොල්මනකට දිය හැකි යයි මම දැනගෙන හිටපු ලොකුම දඩුවම ඒ වගේ බොළද ආකාරයකට ඉදිරිපත් කල මම, එම අද්භූත බලයට එරෙහිව මගේ ‘පළමු නැගී සිටීම’ තහවුරු කලා! 

ඒ වෙද්දීත් එතනට ඇවිත් ඉදපු අයගෙන් කි දෙනෙක්ට, මම කියපු දේ ඇහුනද කියලා ෂුවර් නැති උනත්, සැහෙන දෙනෙක්ට ඇහෙන්න ඇති කියලා මට හිතුනේ ඔක්කොමල වගේ කටවල් ඇරන් පිස්සෙක් දිහා බලනවා වගේ මගේ දිහා බලන් ඉදපු නිසයි! කවුරුත් හිතන දේවල් වලට කලබල වෙන්න කිසිම උවමනාවක් මට එවෙලේ නොතිබුන නිසා, වට පිට බලලා මම නිසා අනතුරට පත් උන අය නැති බව සැක හැර දැනගෙන වාහනේට නැවත ගොඩ උනේ අවුවේ තිබ්බ අයිස් කැටේ වගේ යම් ප්‍රමාණයකට ඒ ආපු විශාල කේන්තිය දියවේගෙන යද්දීම වගේ!

එතකොටම ගැමුණු අයියගෙන් කෝල් එකක්...! ගත්තු ගමන් බැනගෙන බැනගෙන ගියා... “මොකද්ද මොඩියේ කරන්නේ! යාපනේට ගිහිල්ලා එන්න වෙලාවනේ දැන්! ආච්චි අම්මා බය වෙලා වටේටම කෝල් කරනවා...! මම දැන් ගෙදරත් ගියා මොකද උනේ කියලා බලන්න..! කියනවා… කොහෙද ඉන්නේ දැන්?!” 

ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනවා කියන්නේ මේවට වෙන්න ඇති යි හිත හිතම මම ඉන්න තැනත් කියලා උන දේත් සුළු විස්තරයක් කිවුවා! ....“නෑ….! හරි ඔතනම ඉන්න, මම එන්නම් එක්කන් යන්න!” කියද්දීම මම “නෑ, නෑ දැන් හරි, තව ටික දුරයි නේ, මම යන්නම්..! අයියා රෑ වෙලා එන්න...” කියලා කථාව අවසන් කරලා ඉක්මනින් රෝහලට ගියේ ඒ වෙනකොටත් මට ආරුඩ වෙලා තිබුන වීරකම ඔටුන්නක් වගේ ඔළුවේ තියාගෙනයි....  

එතකොටත් වෙලාව 12:10 යි පැය එකහාමාරක් විතර ගිහින් ගෙදරට ගිහින් එන්න...! සිද්ධ උන දේ ගැන ආච්චි අම්මට කියනවද නැද්ද කියලා හිත හිතම රෝහලේ හිස් කොරිඩෝව හරහා කාමරේට යද්දී... දකුණු අතේ ලාවට වැදුණු සිතල හුළං රැල්ලක් නිසා, මම කවදාවත් නැති විදියට නැවතිලාම හැරිලා බැලුවා...! එවෙලේ ඕනෙම දෙකට ඔට්ටු උන හිත, මට ගෙනාවේ පුදුම ශක්තියක්...!

බොහෝ විට ඒ අනතුර වෙලේ ශරීරය පුරා ගලපු ‘ඇඩ්රිනලින්’ වල බලය වෙන්න ඇති..! මොකද රෑ වෙද්දී පැළදගෙන හිටි ඔටුණු බිම වැටිලා කුඩුවෙලා හිතේ තිබුන ශක්තිමත් බව දිය වෙලා ගිහින් තිබුනා...! 

කාමරේට යද්දීම වගේ දිලුගෙන් කෝල් එකක්...! “මොකද උනේ අනේ...!” කියලා අහද්දීම මම දැන් එද්දී උන දේ විස්තර කලේ එයා ඇහුවේ ඒක ගැන කියලා හිතලයි.. නමුත් එයා අහලා තියෙන්නේ ඊයේ රන්දිලගේ ගෙදරදී සිද්ධ උන දේ ගැනයි.. දැන් ඉතින් මේකත් දිලුට කිවුවා කියන්නේ රෙදි නැන්දට රහසක් කිවුවා වගේ තමයි... හෙට වෙද්දී පත්තරෙත් වැටෙයි...!  

දිලූ ඔක්කොම කථා අහන් ඉදලා ඇහුවේ “ඔයා හිතන්නේ ඒ හොල්මන,රන්දිගේ ඇගට අවා වගේ ඔයාගේ ඇගටත් එන්න ඇති කියලද?!” ඒ සම්බන්දයෙන් මගේ අදහස උනේ බය වැඩි කමට උන දෙයක් කියන ඒක මිසක් හොල්මනක් ඇගට පහත් වීම නම් නෙවෙයි කියලා මම දිලුට පැහැදිලි කලා...! මම එහෙම කියන්න හේතුව උනේ හොල්මනකට බය උනත්, ඇගට ආවා කිවුවම එතැනදී හොල්මනකට 'මම පරාද උනා' කියලා එන හැගීමට එකහෙළාම අකමැති වීම නිසා කියලයි මට හිතෙන්නේ!


දිලුගේ අදහස නම්, රන්දිට උනා වගේම මටත් හොල්මනක් වැහෙන්න ඇති කියලයි! එකට හේතුව හැටියට එයා ඉදිරිපත් කලේ ආච්චි අම්මා දැක්ක හොල්මනේ කතාව! “ආච්චි අම්මා අපේ අම්මට කියලා තිබුනා, එයත් රන්දිලගේ ගෙදරදී හොල්මනක් දැක්ක කියලා...! 

ඔයා දනන්වද ඒක?!” මම “ඔව්! එත් එයා මට, විස්තර මුකුත්ම කිවුවේ නැහැ”  කියද්දී  "එහෙදි ඔයා බිම වැටෙන්න යද්දී, ආච්චි අම්මා ඔයාව අල්ල ගත්තලු...! සාලෙට එක්කන් එද්දී ඔයා හොදටම ගැහෙන්න අරන්!...  එයා කුස්සියට ගිහින් වතුර එකක් අරන් ඇවිත් ඔයාට ඉහලා සිහිය ගනිද්දී දැකලා තියෙනවා උස අළු පාට චයාවක් කොරිඩෝර් එකේ මැද ඉන්නවා...! ආච්චි අම්මා බලන් ඉන්දද්දීම ඒ චායාව නොපෙනී ගියාලු...!”

“ඉතින් එයා හිතනවලු රන්දිට සිහිය නැති කරපු නිසා, එයාගේ ඇගෙන් එළියට ආපු හොල්මන ඔයාගේ ඇගට රිංගන්න හදන්න ඇති කියලා! ” එක අහපු වෙලේ ඉදලා දිලූ එක්ක කතා කරන්නත් පිරියක් නැති උන මම, ඉක්මනින්ම කතාව අවසන් කරලා ලයින් එක කට් කලා...! ඒ කතාව අහන්නේ නැතිව හිටියනම් මීට වඩා සැපයි කියලා මට හිතුනේ, හිතේ කොනකවත් නොතිබුන බයකින් මුළු ශරිරේම වැහිලා ගියා වගේ හැගීමක් ඇති උන නිසයි!  

ඔය කියනවා වගේ කොයි වෙලාවේ හරි මගේ ඇගට ඔය හොල්මන රිංගයිද දන්නේ නැහැ කියලා හිතන කොටත් ඇග සිතල වෙලා යනවා වගේ දැනුනා මට...! එත් ඒක අතකට, බොරුවට බය වෙන්නේ නැතිව එන දෙකට මුණ දෙනවා..! බලමුකෝ මොකද වෙන්නේ කියලා ඉස්සරහට...! කියලා හිත හදාගත්තේ, ‘හැදිලා නැති ලෙඩෙකට, බෙහෙත් බොන්න අවශ්‍ය නැති නිසා’! 

ඒ උනත් ඊට පස්සේ දවසම මම ගත කලේ වැහි වලාකුළක් මගේ ඔලුව උඩ තියෙනවා වගේ අදුරු මනසකින්...

පැය ගානක් තිස්සේ ඉදන් ආච්චි අම්මා, ‘සීයාගේ ඩයරිය’ පිටුවෙන් පිටුව කියවලා, අරගත්තු දුරකථන ඇමතුම් තොගයකට පස්සේ හරි අංකය හොයා ගත්තා කියලා මට හිතුනේ යම් කෙනෙක්ව දුරකථනය හරහා සම්බන්ධ කර ගනිමින් එම පුද්ගලයත් එක්ක දීර්ඝ කතාවකට මුල පුරපු නිසයි!


හොල්මන් ගෙදරක නිවාඩුවකින් හමු වෙමු! 







9 comments:

  1. දැන් 11.55. මේ කථාව කියවීමට හොද කාලයක් නෙමෙයි. හෙට කියවන්න ඔනෙ. ඇත්තටම මේ වගේ කථා පෙලක් විශ්වාස කරන්නත් අමාරුයි. ඒත් මේ දේවල් වෙන්න බැරි කමකුත් නැහැ. දිගටම ලියන්න.

    ReplyDelete
  2. එල එල දිගටම ලියන්න.ඉක්මනටම අනෙක් ලිපියත් ලියන්න.නැනම් අපිත් හොල්මන් වෙයි...

    ReplyDelete
  3. @ sameera: වෙන්න පුළුවන් කමක් තිබුනත්,හතුරෙක්ට වත් වෙන්න එපා කියලා තමයි, මම නම් කියන්නේ!

    @ Salinda: මමත් මේ දවස් ටිකේම ඉල්ලගෙන බය වෙනවා! ඉක්මනට මේක ඉවර කරන ඒක තමයි දැන් මගේ අරමුණත්!

    ReplyDelete
  4. අනූ නවයෙන්නෙ බේරිලා තියෙන්නෙ. ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුලුවන් කියලා මමත් විශ්වාස කරනවා. කතාව කියවගෙන යද්දි තේරෙනෙවා ඔයාගෙ හිත ගොඩක් ශක්තිමත් කියලා. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  5. @ Charitha: ස්තුතියි චරිත! ඉක්මනට දාන්නම්! :)

    ReplyDelete
  6. ඇත්තටම බය හිතෙනව. හිතා ගන්නත් බැහැ මෙහෙම දේවල් තියනවා කිව්වම. ඒත් අවාසනාවකට ලෝකේ මේ වගේ දේවල් ඇත්තටම සිද්ධ වෙනවා කවුරු විශ්වාස කලත්,නොකලත්. මටත් මේ තරමටම ලොකු අද්දැකීම් මේ පිළිබඳව නැහැ. නමුත් යම් සිදුවිම් කිහිපයකට මුහුණ දීලා තියනවා. දිගටම ලියන්න.

    ReplyDelete
  7. අපෝ තනියෙන් ඉද්දි මතක් උනොත්

    ReplyDelete
  8. meke awasane mata nam hitha gannawath baha!any ikmanata tawa post ekak danna!

    ReplyDelete
  9. @ sameera: ඔව් එක ඇත්ත!ඔයා ගේ කතා ලියන්න,අපිට කියවන්න! :)

    @ අසරණයා:මම නම් හිතන්නේ නැහැ ඔයා බය වෙයි කියලා!:)

    @ my7: අද රැට අලුත් පොස්ට් එක දානවා! ඒ උනාට ඔයා හෙට උදේට කියවන්න! :)

    ReplyDelete