Thursday, December 22, 2011

හොල්මන් ගෙදරක නිවාඩුවක්!!! (11 කොටස )

අහඹුද! අද්භුතද?! 4 කොටස 
අගෝස්තු 29


අද වෙද්දී ආච්චි අම්මාට සම්පුර්ණයෙන් සුවය ලැබුනත් දොස්තර, සතියක්වත් ආච්චි අම්මට ‘බෙඩ් රෙස්ට්’ කරන්න කිවුව නිසා පොඩි පුංචි ආච්චි අම්මාව එයාලගේ ගෙදර එක්කගෙන යන්න ලැස්ති කලේ, මේ දවස් වල අපේ අම්මාලත් ගෙදර නැති නිසා ආච්චි අම්මාව බලාගන්න මට කරදර වෙන්න සිද්ධ වෙයි කියලායි... 

ආච්චි අම්මාව බලා ගැනීම මට කරදරයක් නුනත් මේ වෙලාවේ මම නිශ්ශබ්දව හිටියේ ආච්චි අම්මා මාත් එක්ක තනියම ගෙදර ඉන්නවට වඩා ටික කාලයක් හරි කට්ටියක් එක්ක ඉදීම ඇයගේ මානසික සුවයට තල්ලුවක් වෙන බව දැනුනු නිසයි...! ඒ වගේම මගේ මානසික සුවයටත් දිලුලා එක්ක ඉදීමෙන් හොදක් වෙයි කියන බලාපොරොත්තුවෙන්...! 

රෝහලේදී ආච්චි අම්මා පුංචිට කිවුවේ “පෙරේතයන්ගේ ප්‍රශ්නයක් වෙන්න බැහැ කියලයි අභේපාල ගුරුන්නාන්සේ කිවුවේ...  පස්සෙන් පන්නගෙන එන්න තරම් බලවත් නැහැ කියන්නේ පෙරේතයෝ...! මේ දවස් ටිකේම වැඩ අධිකයි කියලා විවේකයක් ලැබුණු ගමන් දන්නවනම් කිවුවා...!” යි කියලයි... 

මොකක් උනත් කමක් නැහැ, මේක ඉක්මනට ඉවරයක් වෙනවනම් කියලයි මට හිතුනේ එවෙලේ...! 

ආච්චි අම්මා අසනීපෙන් නිසා ලොකු මාමා රටින් යන එක කල් දැම්මේ ආච්චි අම්මට හොද උනාම යනවයි කියමින්... මාමලා පිටත් වෙන දිනය කල් දැමීම ගැන ආච්චි අම්මා සතුටු උනා.. ඒ, ලග එන පිරිතට ඒගොල්ලොත් සහභාගී වෙන නිසයි... 

හවස 3 ට කිට්ටු වෙද්දී රෝහලෙන් ආච්චි අම්මව එක්කගෙන අපි පොඩි පුංචිලගේ ගෙදර ගියා...! ගෙදර යද්දී පොඩි මාමලා හැර අම්මාගේ පැත්තේ නෑදෑයෝ ඔක්කොමලා ඇවිල්ලා ආච්චි අම්මව පිළිගන්න..! ලොකු පුංචි ලොකු මාමා දිලුලා එකතු වෙලා පුංචි සාදයක් ලැස්ති කරලා තිබුනා... දැන් කරදර ඉවරයි කියලා හැමෝගෙම හිත්වල තාවකාලික සහනයක් ඇති කරගන්න වෙන්නත් ඇති..! 

මොහොතකට හරි හොල්මන් සිතිවිලි නැතිවෙලා, හිත නිදහස් වෙන නිසා මමත් ගොඩක් සතුටු උනා..! හවස 7 වගේ වෙනකන් කථා කර කර විනෝද උන අපේ විනෝදේ මැද්දට  හොල්මන පහත් උනේ එකපාරටම! අහම්බෙන් වගේ...!

දිලුගේ කාමරේ ඇද උඩ මම, දිලූ, සචි, මල්කි සහ සෑම් මොනොපොලි සෙල්ලන් කරද්දී, ඒක පාරටම කැගහගෙන ඇදෙන් පැන්න මල්කි අපි උඩ බිම බලද්දී කාමරෙන් දිවුවේත් කැගහගෙනමයි..! ඒක පාරටම උනත් හැමෝටම හොල්මනක් ඇති බව කියන ‘රතු එළිය’ පෙන්න ඇති කියලා මට හිතුනා...!

නිරායාසයෙන් ඇදෙන් බැස්ස අපි ඉක්මනට නමුත් සීරුවෙන් කාමරේ දොරගාවට ගියේ කාමරේ වටේ බලමින්...! අඩියෙන් අඩිය එක පොදියට අපි කාමරේ දොරෙන් එළියට යද්දී ඉස්සරහෙන්ම හිටිය සචි, එකපාරටම මහා හඩින් කෑ ගහගෙන සෑම් වත් පෙරලන්, එළියට පැනලා දිවුවේ සෑම් ගේ ඇගෙ වැදිලා බිම වැටුණු මගේ ඇග උඩිනුත් පැනලයි! 

මගේ පිටිපස්සෙන් හිටිය දිලූ මාව නැගිට්ටද්දී.... සෑම් නැගිට්ටේ “මම හිතන්නේ සචි බය උනේ මම එයාගේ උරහිසට අත තිබ්බ නිසා වෙන්න ඇති...!” කියමිනුයි... “අපේ මොට්ටිට පිස්සු...! මගේ කකුලත් පාගාගෙන දිවුවේ..!” යි කියපු දිලූ "මේ දෙන්නම හැමදාමත් ඔහොමයි..! කොයි වෙලෙත් කොටි එනවා, කොටි එනවා කියලා දැන් තාත්තා ගණන් ගන්නෙම නැහැ මේ දෙන්න කියන ඒවා.. ! එගොල්ලන්ටත් එපා වෙලා තියෙන්නේ අහලම.."  කියමින් අපිත් එක්ක සාලෙට ගියේ ඇත්තටම උනේ මොකද්ද බලන්න... 

මල්කි, සාලේ ඉදන් කථා කර කර ඉන්න පොඩි බාප්පා ගාවට වෙලා, උන දේ කියනවා එතකොටත්! “මම දැක්කා කණ්නාඩියෙන්, කවුරු හරි හිටියා කාමරේ... කළුවට කලුවේ කවුරු හරි ඉදලා එක පාරටම නැති වෙලා ගියා...!"

"විකාරයි!" කියලා ඇගවෙන්න දෙපැත්තට ඔලුව හොල්ලපු බාප්පා “දු දකින්න ඇත්තේ චිත්‍රා ව වෙන්න ඇති...!” යි කියලා කිවුවා...  “මේ ළමයි ඔලු පුරෝගෙන ඉන්නේ විකාර හොල්මන් වලින් නේ… මිනිස්සුත් පෙන්නේ දැන් හොල්මන් වගේ මෙයාලට...!” යි මාමා කියද්දී ගැහැණු පාර්ශවේ අය නිහඩවම  හිටියේ, මාමලා බාප්පලා එක්ක මේවා කථා කරලා තේරුමක් නැති නිසා වෙන්න ඇති...! 

එතකොට සචි කියනවා “නැ නැ!  මට දැනුනා, ඇගට අතක් තියනවා හොල්මනක්!" කියලා... එත් එක්කම සෑම් කිවුවා ආ... ඒ හොල්මන නම් මමයි කියලා!
ඔක්කොම කතන්දර මැද්දේ, මම ආච්චි අම්මා දිහා බැලුවේ එයා මොනවා හරි කියයිද කියලා බලන්න... එත් එයාත් ඇහෙන්නේ නැහැ වගේ ටීවී එක දිහා බලන් ඉන්නවා!

නංගිලාගේ බොරු බයවිල්ල කෙසේ උනත් රන්දිගේ ප්‍රශ්නෙදි මාමලා දෙන්නම එකතු වෙලා තමයි තීරණ අරන් තියෙන්නේ රන්දිව හොස්පිටලයිස් කරන්න... ආච්චි අම්මා ඉන්නේ අසතුටෙන් ඒ ගැන... ‘මාමලා අද්භූත දේවල් ඇස් දෙකටම දැකලත් එළිපිටම පිළිගන්න මැළි වෙන්නේ, එහෙම පිළිගත්තොත් තමන්ගේ මානසික නිදහසට, මාන්නයට සහ ඒගොල්ලොන්ගේ එදිනෙදා සරල සුන්දර ජිවිතයට බරපතල හානියක් වෙනවා කියලා හිතන නිසා බවයි, ආච්චි අම්මා කියන්නේ ...! 

ඒගොල්ලෝ කියන්නෙම අපි හැමදේම හිතින් මවාගෙන දගලන නිසා ප්‍රශ්න වැඩි කර ගන්නවා කියලයි.. පවුලේ පිරිමි ළමයින්ට නැති හොල්මන් ප්‍රශ්න ගැණු ළමයින්ට ඇතිවෙලා තියෙන්නේ ඒ නිසා ලු..!. මට හිතෙන්නේ නම්, රන්දී, පොඩි පුංචි වගේ ඉමොෂනලි සෙන්සිටිව් අය වගේම ගොඩක්ම හිත බය උනාම තමයි භූතයන්ගෙන් උනත් බලපෑමක් එන්නේ කියලයි...  

කොහොම උනත් වැඩිමල් ගැහැණු පාර්ශවේ අය නිහඩ පිළිවෙතම අනුගමනය කරන්නේ පිරිමි පාර්ශවේ අයට, “අපි නම් මානසිකව නිදහස්..” කියලා හිතාගන්න ඇරලා වෙන්න ඇති..! එත් ඉතින්, ‘හිතුව පමණින් නිදහස් වෙන්න බැහැ’ කියලා එයාලට තේරෙන දවසක් ඉදිරියේදී එනවා කියලා, එයාලවත් හිතන්න නැතුව ඇති!

ඒකෙන් පස්සේ අපිත් හිතුවේ ඉතින් සචි වගේම මල්කිත් බොරුවට බය උනා කියලයි..! අපි රෑ කෑමෙන් පස්සේ පුස්තකාලෙට ගියේ ෆිල්ම් එකක් බලන්න හිතාගෙනයි... රෑ 11 විතර වෙනකම් ෆිල්ම් බලලා අවසානේ කෝපිත් බීපු කට්ටිය සාදය අවසන් කරලා ගෙවල් වලට පිටත් උනේ, දිලුලා ගේ ගෙදර නවතින්න බලාගෙන ඇවිත් ඉදපු සෑම් ඉතුරු වෙද්දීයි...! 

ආච්චි අම්මා එක්ක කාමරේ නිදාගන්න චිත්‍රා යද්දී... මටයි සෑම්ටයි තව කාමරයක් ලෑස්ති වෙලා තිබුනා ! නිදාගන්න ලෑස්ති වෙලා පිරිසිදු වෙලා ආපු අපි කට්ටිය, සෑම් ටයි මට යි වෙන් කරපු කාමරේට වෙලා ආයෙත් මොනොපොලි සෙල්ලන් කලේ නිදිමතක් නොතිබුන නිසාත් නිදාගන්න අමුතු බයක් මට වගේම අනිත් අයටත් තිබුන නිසාද මන්දා ...! 

රෑ 12:30 ට කිට්ටු වෙනකන්ම ඇනුම් ඇර ඇර නිදි කිරමින් සෙල්ලන් කලෙත් ඒ නිසාම වෙන්න ඇති..! තවත් ඇහැරගෙන ඉන්න බැරි තැන අපි නිදා ගන්න ලෑස්ති උනේ, හෙට උදෙන් අයෙත් සෙල්ලන් කරමු කියලා කථා වෙලා..!

දිලූ, සචි, මල්කි එයාලගේ කාමරේට යන අතරේ, මමයි සෑම් මුයි නිදාගන්න ඇදට පැන්නා ..! මුකුත්ම කථා නොකර ඉදපු ටික වෙලාවේදීම අපි දෙන්නටම නින්දත් ගිහින්... ! රෑ මැදියමේදී මට අමුතුම අපහසු හැගීමක් දැනෙන්න ගත්තා... ඒ, කවුරුන් හෝ මගේ දිහා  බලාගෙන ඉන්නවා වගේ හැගීමක්... එකපාරටම නැතත් ඇහැරිලත් ටිකක් වෙලා ඉදපු මට කවුරු හරි බලන් ඉන්නවා කියන හැගීමෙන් මිදෙන්න බැරි උනා... මම නැගිටලා ඇදේ ඉදගෙනම වට පිට බැලුවේ කවුරුත් ඉන්නවද කියලා සැකහැර දැනගන්නයි ! 

එහෙම ඇහැට පේන කිසි දෙයක් නැහැ .... සෑම් නම් හොදටම නිදි...! ආයෙත් ඇදේ දිගාවෙලා සිවිලිම දිහා බලාගෙන ඉන්දැද්දී මගේ ඇහැ ගියේ බැල්කනි එක පැත්තට තියෙන සිවිලිමේ කොනකට එකතුවෙලා තිබුණු අදුරු කොටසක් දිහාවට... ! අපි ලෑම්ප් එකක් දාලයි නිදා ගත්තේ.. සමාන්‍ය එළියක් කාමරේ තිබුනා..  මුළු සිවිලිමම ඒකෙන් එළිය වෙලා තියෙද්දී අර කොණක් විතරක් අදුරු වෙලා තියෙන්නේ ඇයි කියලා මම ඇස් තදකරලා වහලා නැවත ඇරලා බැලුවා... 

එත් ඒ අදුරු කොටස බිත්ති දෙකක් එකතු වෙන 'එල් හැඩය' උඩටම වෙන්න තියෙනවා.... මම නැවත ඇදේ ඉදගෙන බෙල්ල කෙලින් කරලා බලද්දී එහෙම දෙයක් නැහැ එතන...! අර මාමාලා කියනවා වගේ ඉල්ලගෙන බයවෙනවද කියලත් හිතෙනවා වෙලාවකට...! මට එහෙමත් හිතුනා... හිත හිත ඉදලා එහෙමම මට නිද්ද ගිහින්... 

අයෙත් ටික වෙලාවකින් කාමරේ දොර දිහාවේ ඉදලා බිම දිගේ ගාට ගාට වගේ ආපු කලුපාට දෙයක් සිවිලිම උඩ කැරකෙනවා වගේ මට පෙනුනා... ඇස් ඇරගෙන ඒක දැක්කද, වහගෙනම හීනෙන් ඒක දැක්කද කියලා මට තේරුනේ නැහැ.... සිවිලිමේ තැනින් තැනට පාවෙලා ගියපු ඒ කළු වලාකුළ, හරියටම අපේ ඇද උඩ හරියට ඇවිත් ටිකක් වෙලා නැවතිලා තියෙද්දී මට හිතුනෙම මේක නම් හීනයක් කියලයි... එත් ඒ ක්ෂනෙකින්ම ඒ දෙය  මගේ මුණට පහත් උනේ මාව උඩ විසිවෙද්දීයි...!

උනදේ හීනයක්ද ඇත්තක්ද කියලා හිතාගන්න බැරිව ඇදෙන් පනිද්දීම වගේ මම දැක්කේ සෑම් ව! එයත් එක පාරටම නැගිටලා උඩ බලාගෙනම ඇදේ ඉදගත්තේ මම දැකපු දේම එයත් දැකලා තමයි කියලා මට වැටහෙද්දී යි! ඒ වෙලාවේ, කථා කරන්න ඉන්නේ නැතිව මම ලයිට් එකත් දාගෙනම දොර ලගට ගිහින් දොර ඇර ගත්තේ, අපි එළියට යන්න ඕනේයි කියලා දැඩිව හිතට දැනුනු නිසයි..

 “මොකද්ද උනේ?!” මම ඇහුවේ ඇදෙන් බැහැලා එන්නේ නැතුව උඩ බලන් ඉන්න සෑම් ගෙන්...! 

“එකපාරටම කලුපාට මොකක් හරි දෙයක් මගේ මුණට පහත් උනානේ...!” යි කියපු සෑම් මගේ දිහා බලන් හිටියේ, මමත් ඒකම  දැකලා තමයි ඇහැරුනේ කියලා මම කියන්නත් කලින් තේරුම් අරගෙනයි...! කොහොමද එකම හීනෙ දෙන්නටම පෙන්නේ?! ඒක හීනයක් උනත් ඇත්තක් උනත් අපි දෙන්නම ඒක දැක්කා!

“මොකද කරන්නේ දැන්?... කාමරේ හොල්මනක් ඉන්නවද කොහෙද..!” සෑම් කියද්දී, මම කිවුවේ “ඔහේ හිටපු දෙන්! අපි දිලුලගේ කාමරේට යමු!” යි කියලයි…

“ඉන්න ටිකක්!” කියපු සෑම්, කාමරේ දොරට කිට්ටුවෙන් තිබුණු කණ්නාඩි මෙසේ උඩ තිබුන එයාගේ හෑන්ඩ් බැග් එකෙන් පෝටබල් වීඩියෝ රෙකෝඩර් එක අර ගත්තේ… “අපි නයිට් විෂන් දාලා බලමු..! ඇත්තටම හොල්මනක් ඉන්නවද කියලා...!” කියමිනුයි.. ඒ මෝඩ අදහසට එවෙලේ මමත් එකග උනේ, මොන හේතුවකට ද කියලා අදටත් මට තේරෙන්නේ නැහැ..! අපි කාමරේ ලයිට් ඒක ඔෆ් කරලා, දොර ගාවට අවේ මොකක් හරි උනොත් එළියට දුවන්න බලාගෙන...

වීඩියෝ කැමරා ඒක ඔන් කරගෙන නයිට් විෂන් දාලා රෙකෝඩ් වෙන්න දාගත්තේ… මේක හොල්මනක්ද, නැත්තන් හිතේ ඇතිවෙන මායාවක්ද කියලා අද දැනගන්න පුලුවනේ කියලා ඔලුවට ආපු හැගීමක් එක්ක...! සෑම්, කැමරා එකෙන් දකුණේ ඉදලා වමටත් කාමරේ වටේම බැලුවා... ඊළගට සිවිලිමට අල්ලාගෙන කොනක ඉදලා බැලුවා...

නැවතත් කාමරේ පුරාම බලලා, නැවතත් සිවිලිමට අල්ලාගෙන යද්දී, කාමරේ කෙලවරේම එල් හැඩේට එකතු වෙන සිවිලිම මුල්ලේ කලුපාට දෙයක් තියෙනවා වගේ දැකපු මම... සරුවාන්ගෙම ගැහෙද්දිත් වෙන පැත්තකට කැම් එක අල්ලන් ඉන්න සෑම් ගෙන් කැම් එක අරගෙන ගැහෙන අත් වලින් කැම් එක මිරිකගෙන ටිකක්  zoom කලේ ඒ කළු පාට දෙය මොකද්ද කියලා හරියටම බලා ගන්න...! 

මට පෙනුනට ඒ වෙද්දීත් සෑම් ට ඒක පෙනිලා නැහැ!... මගේ පියවි ඇසට ඒ දේ පෙනුණත් කැම් එකේ කොළපාට ස්ක්‍රීන් එකේන් නොපෙනුන නිසා... එයා "කොහෙද? කෝ? කෝ?" කිය කිය මම අල්ලන් ඉන්න කැම් එකට එබුනා ... .“Zoom කරලා වැඩි උනාද?” යි රහසින් වගේ කියාගෙනම, මගේ අතින් කැම් එක අරගෙන zoom අඩු කරලා එතනටම ඇල්ලුවා...! ඒ වෙද්දී එතැන මට පේන්නත් මුකුත්ම නැහැ!

මගේ සය වෙනි ඉන්ද්‍රියටද මන්දා උන දේ ඉවෙන් වගේ තේරුණ නිසා අඩියක් දෙකක් එළියට තිබ්බේ, සෑම්ගේ අතකින් ඇදගෙනමයි..! සෑම්ට තේරුණා, එයින් මම ඉගි කරපු දේ...! ඒ අද්භූත දේ අපිට නොපෙනෙන වෙන කොහෙට හරි ගිහින්...! එයා මාත් එක්කම පස්සට පස්සට ඇවිදගෙන අවේ, කැම් එක කාමරේ දිහාවටම අල්ලාගෙනයි..!

හිමිට පස්සෙන් පස්සට යන ගමන්, මම කොරිඩෝර් එකේ ලයිට් එක හෙවුවේ, අදුරේ ඉන්න හොල්මන් ලයිට් එක දැම්මම නැතිවෙයි කියලා හිතනවටත් වඩා අපේ හිත් වල බය ලයිට් එළියට අඩු වෙයි කියලා හිතාගෙනයි...! 

සෑම් කාමරේ දොර වටේටම හා ඒ අවට කැම් එක අල්ලද්දී, එකපාරටම මම දැක්කේ කාමරෙන් එළියේ සිවිලිමේ උඩ කොණකට වෙන්න ඒ කලුපාට දෙය තියෙනවා..! ඒක වේගෙන් වේගෙන් එතනම කැරකෙනවා වගෙයි මම දැක්කේ... මොකක් හරි වෙන්න යන්නේ!!  මට දැනුනේ එච්චරයි! 

“දැන් ඇති! දැන් ඇති! ” කියාගෙන මම ලයිට් එකත් දාගෙන බාප්පාලාගේ කාමරේ දොරගාවට දුවද්දී.. සෑම් හිමිට පස්සට එන ගමන් කැම් එක අල්ලගෙනම ඉන්නවා!

මම බාප්පලාගේ කාමරේ දොරට ගහන ගමන්, සෑම්ට කිවුවේ “එනවා මෙහෙට, දැන් ඇති! ” කියලයි! එත් එක්කම මම දැක්කේ, පඩිපෙළ ලග බිත්තිය ගාවටම වෙන්න කළු පාට චායාවක් වගේ කෙනෙක් හිටන් ඉන්නවා! ඒ දෙය සෑම් ගේ පැත්තට හැරිලා හිටියේ...! ඒ අද්භූත දෙයෙහි ‘අසාමාන්‍ය උස’ එවෙලේ මගේ හිතට වැටුණු එකම දෙයයි! ඒක සිවිලිමේ ගැවෙන්න තරම් උසයි!  වචනෙන් විස්තර කරන්න බැරි හැගීම් පෙළක් පහල වෙද්දී යාන්තමට වගේ මට මතක “සෑම්!! අයින් වෙනවා ඔතනින්!!!..” කියලා කෑ ගහලා කිවුවා විතරයි! 

බෙල්ලෙන් පටන් අරන් මුළු ඇගේම මවිල් කෙලින් වෙනවා වගේ දැනෙද්දී, උගුර කට වේලිලා ගියේ මට තවත් එකම වචනයක් වත් කථාකරගන්න බැරි විදිහටයි... හුස්මක්වත් ගන්න අමතක උන ඒ මොහොතම බාප්පා කාමරේ දොර ඇරියා... ඒ සැණෙකින්,. විදුලි වේගෙන් ඒ කලුපාට දෙය සෑම් ගේ ඇගේ වැදුනා...!සෑම් ව අඩි කීපයක් ඉස්සරහට විසිවෙලා ගියා ...!

දණහිස් පණ නැති වෙලා ගිය මාව කාමරේ මුල ඉන්දෙද්දී... සෑම් ගාවට දුවලා ගිය බාප්පා එයාව අල්ලගත්තේ වැටෙන්න යද්දීම වගේ...! සෑම් ලගට දුවපු පුංචිත්, සෑම් ලග වැටිලා මොනවද කියවනවා මට පේනවා, එත් එවෙලේ කිසිම දෙයක් මට ඇහුනේ නැහැ..! කන ලග බෝම්බයක් පිපිරුවා වගේ කණ්  අගුළු වැටිලා... සියලුම හැගීම් දැනීම් නැතිවෙලා යද්දී ඔලුව ඇතුලෙන් පරණ දුම් කෝච්චියක හූ හඩක් ඇතින් වගේ ඇහෙන්න ගත්තා... 

මම ගල් උන පිළිමයක් වගේ, මගේ ඉස්සර වෙන දේවල් දිහා බලන් හිටියේ mute කරපු ෆිල්ම් එකක් බලනවා වගේ..! ෆිට් එක හැදිලා වගේ ගැහෙන සෑම් ව උස්ස ගත්තු බාප්පා එයාලගේ කාමරේට ගිහින් තියලා අයෙත් දුවගෙන ඇවිත් මගේ මුණෙන් හොලවලා, මොනවද කියවනවා මට පෙනුනා... එත් මට එයා කියපු කිසිම දෙයක් ඇහුනේ නැහැ...! 

ආච්චි අම්මාත් ඇවිත් මගේ ඇගෙන් අදිනවා මුණ හොල්ලනවා පෙනුනත් කිසිම දෙයක් දැනුනේ නැහැ...! මොකද්ද මේ වෙන්නේ කියලා, මට ඇත්තටම තේරුනේ නැහැ...! 

එක පාරටම, ඉතාම සැරෙන් කම්මුලට වැදුණු පාරකින් ගැස්සිලා ගිය මට එක පාරටම වගේ හැගීම් දැනීම් එන්න පටන් ගත්තා ... මම දැක්කේ ඉහෙන් කණින් දාඩිය පෙරාගෙන බය වෙලා ඉන්න බාප්පාව... එයාගේ කටින් එන වචන ටිකේ ශබ්දය, ලාවට වගේ ඇහෙන්න ගත්තා එවෙලේ ! "දැන් හරි, දැන් හරි! " එයා කිවුවා...

කමුලෙන් දුම් විසිවෙනවා වගේ වේදනාවක් දැනුනු මම කම්මුලේ අත තියා ගත්තේ "ස්ස්ස්ස්..." ගාමින්.. එත් එක්කම සැර ඔළුවේ කැක්කුමක් හැදෙද්දී මාව නැගිට්ටව ගෙන බාප්පා එයාලගේ කාමරේට ගෙනිහින් ඇදෙන් වාඩි කෙරෙවුවා…එතකොටයි මම දැක්කේ සෑම් ට තාමත් සිහිය නැහැ...! බාප්පා සෑම් ගේ මුණට වතුර ඉහින ගමන් කම්මුලට තට්ටු කරමින් සිහිය ගන්න උත්සහ කලා! 

ඒ වෙද්දී දිලු ලත් කාමරෙන් එලියට ඇවිල්ලා මුණවල් දෙක කරගෙන අපි දිහා බලන් ඉන්නවා! සචි යි, මල්කි යි, දෙන්නම අඩනවා! “අනේ ජයේ..., මම කිවුවනේ මේගොල්ලන්ව, තනියම තියන්න එපා කියලා! කියන දෙයක් කණකට ගත්තේ නැහැනේ..! ඇස් දෙකෙන්ම දැක්කනේ දැන් උන දේ!..” කියමින් පොඩි පුංචි අඩද්දී..., බාප්පා නැවත නැවතත්, සෑම්ගේ මුණට තට්ටු කරමින් වතුර ඉස්සේ කොයි වෙලේක හරි සිහිය එයි කියලා යි!

අවසානයේ බාප්පා, මට වගේම සැරෙන් කම්මුලට පාරවල් කිහිපයක් ගහලා සෑම්ගේ උරහිස් දෙකෙන් අල්ලා මහා භයානක විදිහට එයාව හෙලෙවුවා.... මොහොතකින් ඇස් ඇරපු සෑම් මහා හයියෙන් කෑ ගහගෙන බාප්පවත් තල්ලු කරගෙන කාමරේ මුල්ලකට දිවුවේ මරණෙට කැපවෙලා ඉදලා බේරුනා වගේ ගැහෙමින්...! 

ඝෝෂාවක් වගේ හැමෝගෙම කටවල් ඇරෙද්දි “කෑගහන්න එපා!” යි අනිත් අයට කියමින් සෑම් ලගට ගියපු ආච්චි අම්මා, “දැන් හරි දුව..! ඔයා ඉන්නේ, අපි එක්කයි!” කියලා ඔලුව අත ගෑවේ සෑම් වෙන ලෝකෙකට ඇවිත් වගේ ඇස් ලොකු කරන් වට පිට බලද්දීයි...!

එවෙලේ මට මතක් උනේ රන්දී, හීනෙන් ඇවිදපු දවසේ ඇහැරුනෙත් මේ විදියටම නේද කියලයි! වීඩියෝ කරන්න ගිහින්, 'නිකන් නටපු යකාට දුම්මල ගැහුවා' කියලා දැනෙද්දී අපි පරක්කු වැඩයි... !

------------------------------


තවත් කොටසකින් හමු වෙමු !!!

9 comments:

  1. හ්ම්ම්.......... මාරයි නේ. මම මේ කතාව මුල ඉඳලාම බලනවා. හරියට හොරර් ෆිල්ම් එකක් වගේ. කාමරේ වීඩියෝ කැමරාවක් සෙට් කරලා නිදා ගත්තනම් හරි. ඒක නෙවෙයි ෆෝන් එකෙන් වීඩියෝ කරපු දේ වල මොනවද තිබ්බේ. ඔයගොල්ලෝ ඒක බැලුවේ නැද්ද? ඒ ක්ලිප් එක අපිටත් බලන්න දාන්න බැරිද?

    ඉතුරු කොටසුත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  2. මට මේ ෆොටෝ ටික දැකහම දුවන්න හිතුනා.

    ReplyDelete
  3. @ Charitha : වීඩියෝ කරයින් තමයි මේක වර්ස් උනේ චරිත... අපිට බලන්න දුන්නේ නැහැ,අපේ පිස්සු ඇර වෙන කිසිම දෙයක් නැහැ කියලා මාමල බලලා මකලා දැම්මා!එත් මට තියෙන ප්‍රශ්නේ, ඇයි එහෙනම් එක මකලා දැම්මේ කියන එකයි!අදටත් ඇහුවට කියන්නේ මුකුත් තිබුනේ නැහැ කියලමයි

    @ බට්ටි : මහා භයානකයි වගේ නේ! :)

    ReplyDelete
  4. ඇත්තටම බය හිතෙනවා. ඒ වගේම ඔයා හොඳට ලියලා තියනවා හිතේ කථාව ඇඳෙන විදිහට. මේ වගේම, මේ වගේ දේවල් මමත් දැකලා තියනවා තව අයට වෙලා තියනවා. ඒ නිසා මම විශ්වාස කරනවා. නමුත් මම නම් මේ වෙනකන් ආසාවටවත් යකෙක්වත් හොල්මනක්වත් දැකලා නම් නැහැ.

    ReplyDelete
  5. මේ ගැන විශේෂයෙන්ම කථා කරන වැඩසටහනක් දිනපතාම FM Derana ඔස්සේ විකාශය වෙනවා රාත්‍රී 10.00 ට. අහලා බලන්න. කලුවර අඩවිය තමයි වැඩසටහනේ නම.මමත් ගොඩක් දේවල් දැන ගත්තා ඒකයි මේ ගැන කිව්වෙ,නැතුව Publicity එකක් දුන්නා නම් නෙමෙයි.

    ReplyDelete
  6. @ sameera:ස්තුතියි!එත් මේ ආසාවටවත් දකින්න, හිතන්නවත් එපා!

    @ Anony : අනේ අම්මෝ මට නම් එපෝ! දන්න ටික නිසා පුදුම දුකක් වින්ද කාලයක්ම!දැන් උනත්, ඩයරි ඇදගෙන පරණ ඒවා මතක් කරන්න ගිහින්, දවල්ටත් බය වෙන ගතියක් ඇතිවෙලා තියෙන්නේ!

    ReplyDelete
  7. mata mehema deyak unanan pissu hadeyi!

    ReplyDelete
  8. matah dan bayai wage gedara innath!

    ReplyDelete
  9. @ my7: මමත් ඒ දවස් ටික ගෙවුවේ පිස්සුවෙන් වගේ තමයි! එපා වෙලා හිටියේ මට නම්!

    @ Anony: බය වෙන්න එපා මේ වගේ දේවල් හැමෝටම වෙන්නේ නැහැ! :)

    ReplyDelete