Tuesday, December 27, 2011

‘පෙරේතයන්’ ගේ පෙරේත වැඩ! (13 කොටස )


සැප්තැම්බර් 02

“ලොකු නෝනා...! පහළට ඇවිත් බලන්නකෝ වෙලා තියෙන දේ....! අනේ ඉක්මනට එන්න...!” චිත්‍රා පඩි පෙළ මුල ඉදන් කරන කෑගැහිල්ලට, අහල පහළ ගෙවල් වල මිනිස්සුත් ඇහැරෙන්න ඇති කියලා මට හිතුනා...! "අයියෝ.. මොකද අනේ, චිත්‍රා උදෙන්ම ඝාන්ටරේ ගහන්නේ..." කියමින්, නැගිට ගත්තු දිලූ තවත් මොනවද මුමුණ මුමුණ බාත්රූම් එකට ගියේ කේන්තියෙන් වගේ! උදේ 5:40 යි වෙලාව! මොකද්ද දන්නේ නැහැ වෙලා තියෙන්නේ... යි හිතමින් ඇදෙන් බැහැ ගත්තු මම, මුණ කට හෝදගෙන පහළට බැස්සේ කුස්සිය පැත්තෙන් ඇහෙන ඝෝෂාව මොකක් නිසාද කියලා බලන්න!

ආච්චි අම්මයි පුංචියි චිත්‍රායි තුන්දෙනාම, කුස්සියේ සද්දෙන් සාකච්චාවක්...! පහලට යද්දී අමුතු සැර ගදක් නහයට එද්දී මම එබුනේ කුස්සියට...  කුස්සියේ පොළොවේ හැම තැනම කුණු විසිරිලා ගිහින්...! විදුරු කටු, ප්ලාස්ටික් බෝතල්, පොලිතීන්, කොළ කැලි විතරක් නෙවෙයි ඊයේ පෙරේදා කොම්පෝස්ට් බින් එකට දාපුවත් කුස්සිය මැද්දේ වැටිලා... නගර සභාවේ කුණු ලොරිය වගේ කුස්සිය... උන දෙයක් හිතාගන්න බැරිව “මේ මොකද මේ...!” යැයි අහපු මට, පුංචි කිවුවේ  “මේ එළියේ බාල්දි වල තිබුන කුණු..! කුණු බකට් හතරම ගේ වටේම හලලා... !"  කියලයි...

මෙහෙම වෙන්න පුළුවන් හේතුවක් හෝ ක්‍රමයක් හිතාගන්න බැරුව මම එලියට ගියේ උදේ පාන්දර ගේ වටේම කුණු හලලා තියෙන හැටි බලන්න... කුණු බැරල් පෙරලිලා ගිහින් ඒවායේ කුණු ඇත්තෙම නැති තරම්.. මෙහෙ සතියකට දෙපාරක් කුණු ගෙනියන්න නගර සභාවෙන් ආවත් බාප්පා ඒ අයට කුණු භාර නොදී ඒවා එකතු කරලා ගෙනිහින් දානවා කුණු ප්‍රතිචක්‍රීකරණය කරන තැනකට...සතෙක් ඇද්දත් මෙහෙම යකෙක් නටලා වගේ වත්ත වටේ විසුරවලා දාන්න නම් අලියෙක් වගේ එකෙක් එන්න ඕනේ... මට හිතුනේ එහෙමයි...

වටයක් ඇවිදලා ගෙට යද්දී මට ඇහුනේ ආච්චි අම්මා චිත්‍රාට කුස්සිය හෝදලා දන්න කියනවායි... "අපි අද එළියෙන් ගෙන්නගෙන කමු..!" පුංචි එක්ක සාලෙට ආපු ආච්චි අම්මා මොනවදෝ රහසින් වගේ පුංචි එක්ක කතා කරද්දී මම උඩට අවේ අද අපි කට්ටිය zoo එකට යන්න කථාකරගෙන තිබුන නිසා, එකට ලෑස්ති වෙන්න බලාගෙන!

කලින් කථා කරගත්තු පරිදි මගට ඇවිත් ඉදපු, මගේ යාලුවෝ දෙන්න වත් සෑම් වත් දාගෙන, අපි zoo එකට යද්දී උදේ 10 යි! කාලෙකට පස්සේ විනෝදෙන් හවස් වෙනකන් කාලේ ගෙවපු අපි, හවස zoo එක වහන්න ලං වෙනකන්ම ඇවිදලා එළියට අවේ කකුල් පණ නැතිව...! හවස 6:00 විතර වෙද්දී යාලුවෝ දෙන්නව බස්සන්න පිටත් උනා...! අමාලිව බස්සන්න හොකන්දරටම ගිහින් එද්දී කට්ටියගේ බලවත් ඉල්ලීම පරිදි වැව පාරෙන් යමුයි කියලා... ඒ පාරට දාගත්තා ! ‘හදවතේ තරම්, සැගවිය හැකි වෙනත් තැනක් නැහැ’ කියන්නා වගේ සගවල තිබුන බය, කොයි තරමක්ද කියලා දැනෙන්නේ මේ වගේ වෙලාවල් වලදියි!  

වැව පාර හොරු මංකොල්ලකාරයෝ නිතරම ගැවසෙන පාරක් උනත්, අනිත් පැත්තෙන් ගියොත් පාළු කනත්තක් පහු කරන්න තිබුන නිසාම මමත් විරෝධයකින් තොරව මේ පාරෙන් දාගත්තේ හොරුන්ට වඩා බයක් මේ දවස්වල හොල්මන් වලට තිබුන බව දැනුන නිසයි...! කරදරයක් නැතිව වැව පහු කරපු අපි තලවතුගොඩට වැටෙන වැටෙන කෙටි කෑලා පාරක් පාර දිගේ මගක්  දුර එද්දී සෑම් ගැස්සිලා ගිහින් බය වෙලා වගේ ඇස් ලොකු කරගෙන මගේ දිහා බැලුවේ ඇයි කියලා මට හිතා ගන්න බැරි උනා! මම එයා දිහා බලලා නැවත ඩ්‍රයිව් කරද්දී එයා වාහනේ මියුසික් ප්ලේයර් එකේ හඩ අඩු කළා... මම ඇයි කියලා අහන්නේ නැතුව එයා දිහා බලද්දී එයා මගේ දිහාම බලන් හිටියා මුකුත් නොකියම....  

“ඇයි?!” මම අහද්දී... “ඔයාට දැනුනද ඒක?!” …යි ඇස් ලොකු කරගෙනම එයා මගෙන් ඇහුවා  “මොකද්ද?! මොකක් ගැනද අහන්නේ ඔයා...?!” යි මම සෑම් ගෙන් අහද්දී, “සෑම් මම හිතන්නේ  මටත් දැනුනා ඒක!!” යි වාහනේ පිටිපස්සේ සීට් එකේ ඉදපු දිලූ කිවුවා... මට තෙරුනේම නැහැ මේගොල්ලෝ කියන්නේ මොකක් ගැනද කියලා... මම පිටිපස්ස හරිලා බැලුවා දිලූ දිහා  “මොකද්ද?! මොකද්ද උනේ?!” කියලා මම අහද්දීම වගේ සචි, මල්කි දෙන්නත් පිටි පස්සේ ඉදන් කෑගහන්න ගත්තා  “නවත්තන්න! නවත්තන්න! මට බහින්න ඕනේ! අනේ නවත්තන්න!!!!” 

“මොළේ හොද නැද්ද!!! මේ කෑලාවේ වාහනෙන් බහින්න...! මොකද උනේ කියනවා, කෑගැහිල්ල නවත්තලා!” යි මම සැරෙන්  කියද්දී  “අනේ අක්කේ මට බැහැ ඉන්න මේකේ ඇතුලේ, හොල්මනක් ඉන්නවා කියලා මට දැනෙනවා! මාව බස්සන්න ! අනේ ප්ලීස් මාව බස්සන්න!!” කියලා අඩන ගමන් සචි කියනවා... ඔක්කොමල බය වෙලා මුණු ඇදවෙලා ගිහින්! නංගිලා දෙන්න අඩනවා මදිවට දිලුත් කෑගහනවා එහාට මෙහාට පැන පැන.... දැන් මොකද්ද කරන්නේ... පාර දෙපැත්තම කැලෑවක් වගේ... සත්තු ඉන්නවද දන්නේ නැහැ ඊටත් හපන් හොරු ඉන්නවද දන්නේ නැහැ... 

මොකද්ද දැන් කරන්නේ කියලා හිතෙද්දිම වගේ දිලූ බයවෙලා කෑගහන්න ගත්තා! එත් එක්කම ඔක්කොමලා මාරු විකලෙන් වගේ කෑගහනවා... තවත් හිතන්න දෙයක් වෙලාවක් නැහැ මේ කෑගහිල්ලත් එක්ක ඩ්‍රයිව් කරන්නත් බැරි තැන වාහනේ නවත්තලා දොරවල් අන්ලොක් කරපු මම, හෙඩ් ලයිට් දාලා වාහනෙන් බැස්සේ, නොබැස්සනම් හොදයි කියලා හිත කියද්දීමයි...!

වාහනෙන් පැන ගත්තු කට්ටියම දුවගෙන ගිහින් හෙඩ් ලයිට් වලින් එළිය උන පැත්තේ එකට එක ගුලි උනේ 'අපිව වටකරන් යක්කු නටනවා වගේ' හැගීමක් එක්ක කියලයි මට හිතුනේ...  මට කිසිම විදිහකින් අමුතු දෙයක් නොදැනුනත් මොකක්ම හරි අද්භූත දෙයක් අනිත් අයට ඇත්තටම දැනුන බව නම් මට පෙනුනා කට්ටියගේ මුහුණු වලින්... මොකද්ද මෙතන උනේ, කියලා මට හරියට නොතේරුණත් අපි ඔක්කොමලා අමුතු අත් දැකීම් ගොඩක් ලබපු අය නිසා මේ වෙලාවේ මේ අයත් එක්ක තර්ක කරනවට වඩා නිහඩව  අනතුරක් ගැන සෙවිල්ලෙන් ඉදීම හොදයි කියලා මට හිතුනා...

මම ඇත්තටම හිටියේ වෙනම කල්පනාවක... මේ කැලෑවක වාහනයක් නවත්තගෙන හෙඩ් ලයිට් නිසා ඈතම ඉන්න හොරෙක්ට උනත් සිග්නල් ලැබෙන තරම් ලොකු එළියක් අපි වටා පැතිරිලා තිබුන බව සිතද්දී... අනිත් අය ඒ විශාල එළිය ඇතුලේත් ගුලි වෙලා වගේ හිටියේ මහා අන්ධකාර ගුහාවක ඉන්නවා වගෙ බයකින් වට පිට බලමින් හරියට, මොන පැත්තෙන් හරි හොල්මනක් දැන් පනිවි දැන් පනිවි කියලා වගෙයි! 

"මෙතන සර්පයෝ පිරිලා ඇති!" මම එහෙම කිවුවේ බය කරලා හරි කට්ටියව වාහනේට පටවාගන්න හිතාගෙන... මම ඒක කියද්දීම සෑම් මට රහසින් වගේ කියනවා “ඔයාට දැනුනේ නැද්ද කවුරු හරි, ලග ඉදල යනවා වගේ” කියලා! මම “නැහැ! මට එහෙම මුකුත්ම දැනුනේ නැහැ! ” යි කියද්දී දිලූ කියනවා “ඒක මගේ මුණ ඉස්සරහින් ගියා මට දැනුනා!… ට්‍රිප් එක දවසේ වගේ වාහනේ ඇතුලේ අපිත් එක්ක ඉදගෙන ඉන්න ඇති!" යි දිලූ කියද්දී මල්කි කියනවා "අපි වාහනේ මෙතන දාලා ගිහින් ට්‍රයිශෝ එකක ගෙදර යමුද !?? අනේ මට නම් කියන්න එපා ඕකට නගින්න කියලා එහෙම!" යි කියමින් මගේ දිහා බැලුවේ මගෙන් උත්තරයක් බලාගෙන...

'අවුට් ඔෆ් කුවෙක්ෂන් ප්‍රශ්ණයක්' අහපු කෙනා දිහා මම කන්න වගේ බැලුවේ "පිස්සු කියවන්න එපා" යි කියන්න බැරි කමට! වාහනේ ඇතුලේ හොමනක් හිටියත් මෙතැනදී එකෙන් බලපෑමක් මට සිද්ධ නොවුන නිසා භයක් නොනැගුණු මගේ හිතේ කැරකෙමින් තිබුනෙම මෙතනින් ඉක්මනට යන්න ඕනෙයි කියන සිතිවිල්ල විතරයි..! 

“හරි, හරි වෙන්න ඇති! එත් මම නම් කියන්නේ හොල්මනක් එක්ක හරි දැන් වාහනේට නැගලා ඉක්මනට ගෙදර යමු කියලයි...!  රෑත් වේගෙන එන්නේ... මොකද එළියට බැහැගෙන ඉදලා අපි හොල්මන් අල්ලන්නද..!! කොච්චර වෙලා මෙතන ඉන්නද අනික... මෙතන නිකන් නටලා වෙන අනතුරක් ඉල්ලලා ගන්නේ නැතිව මෙන්න මේ දෙන්නවත් ඇදගෙන යමු ඉක්මණට මෙතනින් !” කියද්දී  “ඔයාට එදා වගේ, ඒ හොල්මන ඇගට අවොත්...! අපි ඔක්කොම අනතුරේ!” යි දිලූ කිවුවා! 

මම නිහඩ උනත්, මට හිතුනේ ඒක ඇත්ත..! නමුත් මේ වෙලාවේ එළියට බැහැගෙන හොල්මන් වලට වඩා භයානක මිනිස්සුනට අත වනද්දී විය හැකි නමුත් ඈත තියෙන අනතුරක් නිසා මේ මොහොතේම ඊට වඩා භයානක අනතුරකට අපි වැටෙනවට වඩා ලේසියි මේ කට්ටියව බොරුවක් කරලා හරි වාහනේට නග්ග ගන්න එක කියලයි! මේ ගොල්ලොන්ට මෙහෙම කියලා හරි යන්නේ නැහැ..! රවට්ටලා භය කරලා තමයි නග්ග ගන්න වෙන්නෙ...යි සිතමින් මම ඔනෑකමින් වට පිට බැලුවේ කල හැකි බොරුවක් ගැන හිතමින්...   

අපි වටේටම ඉණක් ගාවට පදුරු වලින් පාර දෙපැත්තම වැහිලා ගිහින්...  සචි ඉන්න පැත්ත බලද්දී මම දැක්කේ උස පදුරු සමුහයේ ඇතින් තියෙන පදුරු වල හෙලවිමක්! අහා!! මේක හොදයි මේ ගොල්ලොන්ව බය කරන්න කියල හිතාගෙන මම හොදට පැදුරු දිහා බැලුවේ බොරුවට බය වෙලා වගේ දුවලා ගිහින් වාහනේට නගිනවා කියලා හිතාගෙනයි...

වට පිට හැමුව හුලගත් ටිකක් සැර වෙද්දී ඈත් මෑත් උන පැදුරු අස්සෙන් දැකලා පුරුදු දෙයක් පෙනුනා මට...! කකුල් දෙකේ ඉදන් ඔලුවට යනකන් හිරිගඩු පිපීගෙන එද්දී මම දැක්කේ රතු පාට බෝල දෙකක් පදුරු අවසානයේම පාරට කිට්ටුවම තියෙනවා...! පන්සලේදී මම දැකපු දේ! ‘මු යකෙක්නේ’ කියලා මම හිතපු දේ! ඒ යට ගිය සිද්දිය එහෙම පිටින්ම මනසින් මැවෙද්දී බොරුවට බයවෙන්න ඉදපු මම ආයාසයකින් තොරවම කෑගහගෙන ගිහින් වාහනේට නැග්ගේ, අනිත් කට්ටිය ගැන වත් නොහිතයි...! රගපෑමක් නොවුනත් මගේ ඉතාම සාර්ථක කෑගැහිල්ලට සම්මාදන් උන අනිත් කට්ටියත්  කෑගහගෙනම වාහනේට නැග්ගේ මම හොල්මනක් දැක්කා කියලා හිතාගෙනයි...

එත් එක්කම වාහනේ ලගින්ම බල්ලෙක් උඩු බුරන්න පටන් ගත්තයින් ඊට වඩා හයියෙන් වාහනේ ඇතුලේ කෑගැහිල්ල වැඩි වෙද්දී භයංකර සිතිවිලි අතර අතරමන් උන මට මොහොතකට අමතක උනා මම ඉන්නේ කොහෙද කියන එකත් කරන්න  ඕනේ මොකද්ද කියන එකත්...! ඒ උඩු බිරිල්ල ආපු පැත්ත හොයමින් ඉන්න මාව  “ඉක්මන් කරන්න! ඉක්මන් කරන්න.. අපි යමු ඉක්මනට!” යි කියමින් කවුරු හරි මාව හෙලෙවුවා ! හතර පැත්තෙන් එන ඝෝෂාව අස්සෙන් මට හොද සිහිය අවේ එතකොටයි!

වහාම වාහනේ පණ ගන්වා ගත්තු මම ගැස්සිලා වාහනේ ඉදිරියට ඇදෙද්දී කීප දෙනෙක්ගේ කෑගැහිල්ල අස්සෙන් ඇහුනේ, “මොකෙද්ද ඒ! මොකෙද්ද ඒ!” කියන එකයි! එකම වතාවක් හැරිලා වත් බලන්න නොහිටිට නගරයටම එනකන් අවේ පුදුම නොඉවසිල්ලකින්... නිශ්ශබ්දතාවය මැද්දෙන් සචි නැවතත් ඇහුවේ "මොකෙද්ද ඒ??" යි කියලයි... කිසි කෙනෙක් ඒකට උතරයක් නොදී හාවක් හුවක් නැතිව හොල්මන් වෙලා වගේ ගෙදර එද්දී ගෙදර මිනිස්සු ඔක්කොමලා එළියට බැහැල ඉන්නවා! 

ඒ පාර මොකද්ද වෙලා තියෙන්නේ යි හිතමින් ආච්චි අම්මා ලගට යද්දීම වරැන්ඩා එකේ තියෙන වහලේ දිගේ පොඩි කළු ගල් කැටයක් පෙරලිලා ඇවිත් බිමට වැටුනා! මම ඒ දිහා බලාගෙනම එතනට යද්දී තවත් එවැනිම ගල් කැටයක් නැවතත් වහලෙට වැටිලා බිමට වැටුනා.. ලගට ගිහින් මම ඒ ගල් කැටේ අතට ගත්තේ ගල් වැස්සක් වහින හදනවද දන්නේ නැහැ කියලා හිතමින්! තවත් ගල් කැටයක් මගේ කනගාවින් විසිවෙලා ගිහින් සාලේ පැත්තේ වීදුරුවක වැදුනේ, වීදුරුව කුඩු කරමින්! ගේ වටේටම ගල් කැට වැටෙන සද්දේ ඇහෙනවා! 

බාප්පා එළියට ගිහින් ගල් කැට එන දිහාව බලද්දී ඉස්සර ගෙදර මිනිස්සුත් එළියට බැහැලා බලන් ඉන්නවා! කට්ටියම තුෂ්නිම්භූත වෙලා උඩ බලාගෙනම මිදුලට ආවේ ගල් කැට එන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බැරිවයි...! එක පාරටම කොහෙන්ද කරකැවිල ආපු ගල් කැටයක් චිත්‍රාගේ ඔලුවේ වැදුනයින් ඔලුව අල්ලගෙන දෙමළෙන් මොනවද කියාගෙනම බිම ඉදගත්තු චිත්‍රා දිහාවට පොඩි පුංචියි ආච්චි අම්මයි දෙන්නම දුවද්දී තවත් කළුගල් කැටයක් වැදිලා තවත් වීදුරුවක් බිදුනා! මොකද්ද මේ වෙන්නේ! මට නම් කිසිම දෙයක් හිතාගන්න වත් හිතෙන්නේ නැතිව උඩ බිම බලද්දී..

එළියේ තියෙන ටැප් එකකින්, චිත්‍රාගේ ඔලුවෙන් ගලන ලේ සෝදාපු පුංචි චිත්‍රාව වාහනේට නග්ග ගත්තේ එයාගේ ඔලුවට බෙහෙත් දාගන්න යන්න බලාගෙන! තවත් විනාඩියක් විතර යද්දී, ගල් සෙල්ලම නැවතුනා! ඔක්කොමලා මුණට මුණ බලාගෙනම තවත් විනාඩි කීපයක් එලියේම ගත කලේ ඊළගට මොකද්ද වෙන්නේ කියලා බලන්න වගේ! ඒ වෙද්දී ගේ වටේ විදුරු 3 ක් කැඩිලා!

“මොකද්ද ආච්චි අම්මේ උනේ??” සෑම් ඇහුවේ එයාගේ ලග ඉදපු ආච්චි අම්මගෙන්.. " අනේ මන්දා දරුවෝ උදේ ඉදන් එක එක දේවල් වෙනවා ගේ ඇතුලේත්... දැන් මේ ගල් සෙල්ලමක් පටන් ගත්තා.... පුතා!, අර කට්ටඩි තැනට කථා කරන්න, එයාගේ වැඩේ වැරදිලා වගේ මට පෙන්නේ !” යි කිවුවේ, චිත්‍රාගේ ඔලුවට බෙහෙත් දාගන්න එක්කන් යන්න බලාගෙන බාප්පා වාහනේට ගොඩ වෙද්දියි...! බාප්පලා පිට උනාට පස්සේ, ගෙට ගියපු අපිට ආච්චි අම්මා කිවුවේ, “අද නම් ළමයි නේ නිදියන්න වෙන්නේ නැහැ!” කියලයි!  

බාප්පා ගේ කීමට ලොකු මාමා කට්ටඩියව එක්කගෙන අවේ, පොඩි බාප්පලාත් ගෙදර එද්දිම වගේ! “මේ ගෙදර භූත දෝස  අයින් කරලා, මට නිවනක් උනේ නැහැ මහත්තයෝ... ! ඕනේ නම් අපේ පුතාගෙන් අහන්න...! නිළ මැස්සෝ අපේ ගේ පුරාම පළවෙනිම දවසේ..! දෙවෙනි දවසේ මහා රෑ දොරවල් ජනෙල වලට ගහන්න ගත්තා... ළමයින්ගේ අම්මව බය කරලා, එලි බහිද්දී..! මට එත් හිතුනා මොකක් හරි වෙලා ඇති කියලා මෙහෙත්! ” කියලා කට්ටඩි තැන කියද්දී බාප්පා ඇහුවේ “දැන් බලනකොට අටුවගේ ගෙදර පුටුව නැහැ නේ!, එතකොට දැන් අර ආරක්ෂාවක් කියලා මොනවද අපේ ගේ වටේට වැලලුවේ!” කියලයි...

“කොහොමද මහත්තයෝ ආරක්ෂාවක් ලැබෙන්නේ, යකාව ගේ ඇතුලේ හිර කරලනේ වටේට ආරක්ෂා කරලා තියෙන්නේ...! යි  කියපි.. “මේ කට්ටඩි උන්නැහේ කියන දෙයක් පහැදිලිව කියනවද..! ඔය තේරවිලි තෝරන්න තරම් සනිපයකින් නෙවෙයි මම ඉන්නේ! ” යි බාප්පා සැරෙන් කියද්දී, ඒ මනුස්සය බය වෙලා වගේ පුටුවෙන් නැගිටලා මාමා ලගට ගිහින් රහසින් වගේ කණටම  කරලා මොනවද කිවුවා!  කට්ටඩියා දිහා ටිකක් බලන් ඉදපු බාප්පා, පුංචි ලගට ගිහින් හොරෙන් වගේ පුංචිට යමක් කිවුවයින් පුංචි, අපිත් එක්ක පඩි පෙළ මුල වාඩි වෙලා ඉදපු චිත්‍රා ලගට ඇවිත් මොනවද මුමුණමින් ඇහුවා...! චිත්‍රා “ඔව් නෝනා !” යි කියද්දී, පුංචි බාප්පා දිහා බැලුවේ ‘උත්තරේ හම්බ උනා නේ’ කියන්නා වගේයි! 

මොකද්ද මේ වෙන සතර කන් මන්ත්‍රණය කියලා, උඩ බිම බල බලා ඉදපු අපි දිහත් බලලා කේන්තියෙන්ම ආච්චි අම්මා  ඇහුවා... “දැන්, ඔහේ මේ කෙල්ලට මාස් ශුද්දිය බව දන්නේ නැතිවද තොවිලේ කලේ??!...” කියලා “ඔව් නෝනා, මම ඉතින් කොහොම දැන ගන්නද?!” යි කියද්දීම ආච්චි අම්මා  “එතකොට දැන් දන්නේ කොහොමද??!” යි පෙරලා අහද්දී, “මම එන්න කලින් දෙවාරුඩයෙන් බැලුව නේ…!” කියද්දීම නැවතත් ආච්චි අම්මා  “පළවෙනි පාර, ඔවා බලලා කරන්න තිබුනනේ... නිකන් බොරුවට අපේ කලෙත් විනාස නොකර! ” යි කියමින් පඩිපෙළ නැග්ගේ හොදටම කෙන්ති ගිහින් බව ඔක්කොමලට තේරුණා!

“වරදිනවා නම් ඉතින් කිල්ලක් ගේ ඇතුලේ හිටියොත් තමයි!... නැත්තන් මම කරපු වැඩක් මෙතක් වැරදිලා නැහැ මහත්තයෝ!” යි කියපු කට්ටඩි තැන ලොකු මාමගේ මුණ දිහා බැලුවේ දැන් මොකද කියන්නේ කියලා අහනවා වගේ! “හරි දැන් තමුන් මොකද්ද කරන්න කියන්නේ අපිට, අයෙත් තොවිලයක් නටන්නද කියන්නේ?!” යි මාමා අහද්දී ...“ඔව් මහත්තයා, කලින් වතාවේ කෙරුවට වඩා ටිකක් වියදන් යන වැඩක් වෙයි හැබැයි !

බරපතල වැඩක් මහත්තයෝ ! මේ යකා ලේසි එකෙක් නෙවෙයි!" යි කියමින් සාලේ හරහා කුස්සිය පැත්තට ගියේ අපේ හිත්වලත් භයක් ඇති කරන්න වගේම වියදම් යන වැඩේ කෙරෙන තැනටම පත් කරගන්න, දැඩි උවමනාවෙන් බව මට තේරුණා! “හරි එහෙනම් ලෑස්ති කරනවා, මේක අන්තිම පාර ඔහෙට දෙන! හරියට කරනවා මේ පාර, කරන්න බැහැ වගේ නම් දැන්ම කියලා අයින් වෙනවා... මොකද  පුළුවන් මනුස්සයෙක් ලවුවා අපි කරගන්නම්...!" යි මාමා කියද්දී “හරි මහත්තයෝ, අපි කරමු, මේ පාර වරදින්නේ නැහැ!” යි කියමින් එයාගේ පුතත් එක්ක එළියට ගියේ, අවශ්‍ය බඩු අරගෙන එන්න බලාගෙනයි!

කට්ටඩි  තැන එදා රෑ පටන් ගත්තු තොවිලේ වැඩ මුළු දවස පුරාමත් ඊලග දවසේ රෑ වෙනකනුත් ලෑස්ති කරලා..එදා රෑ පටන් අරන් ඉවර වෙද්දී පාන්දර 5 ත් පහු උනා...මම නම් වැඩි හරියක් කලේ ඒ තොවිලේ නිදාගත්තු එකයි... “ඔන්න මන් සෙත් ශාන්තියකුත් කලා! ” යි කියමින් ගාස්තුව අරගෙන සාක්කුවේ දාගනිද්දී කියනවා... 

"මේ ගෙදර හදන්න කලින් වත්තේ මිනි කිහිපයක් පුච්චලා තියෙනවා! ඒ අළු උඩයි මේ ගේ හදලා තියෙන්නේ ! මහත්තයලා බය වෙයි කියලයි මම කලින් නොකීවේ...! පරිස්සමෙන්... ඔය භුතයන්ව නවත්තන්න ලේසියෙන් බැහැ! මට පුළුවන් ටික මම කලා ඔන්න....! යි කියද්දී මට හිතුනේ මිනිස්සු නොමරුණු පොළොවක් සමහරවිට අගහරු ලෝකෙත් නැතිව ඇති කියලයි...!




එයාට බැරි උන ටික කරපු හැටි, අනිත් කොටසින් කියවන්න 


නැවත කථාවකින් හමු වෙමු!! 

15 comments:

  1. මේක මේ ඇත්තම කතාවක් ද?.මොකක්ද මාස් ශුද්දිය කියන්නේ දවස් 28 කතන්දරේ ද?

    ReplyDelete
  2. apitat kattadiyek me wagema gamemak dunna kalayakma.uma eka eka ewa karawala boruwata salli gattha. maru post eka! ithiriyath danna ikmanata.

    ReplyDelete
  3. ඔය වගේම ගල් ගහපු සිද්ද්යික් මගේ පුංචිලට උනා නෙලුම්! එකත් කට්ටඩි කෙනා කිවුවේ ගෙදර වැඩකාර කෙල්ලට පෙරේතයෙක් වැහිලා නිසයි එහෙම වෙන්නේ කියලා.මම නම් ඇස් දෙකෙන් දැක්ක එතන ඉදපු නිසා!එදා නම් මම පුදුම විදියට බය උනේ!

    මේකේ open id කමෙන්ට් කරන්න බැරිද?

    ReplyDelete
  4. hora kattadiyek nennam.mage ammath balanawa me blog eka nelum eya kiyanawa,oya liyana widiyata kiyawanna asa hithenawalu. eyatath athdakimak thiyenawa perethayek gana horen kama kapu! mama e kathawa oyata mail karannam. oya kamathinam kathawak widiyata liyala danna blog eke! :)

    ReplyDelete
  5. @Anony: ගුප්ත දේවල් දකිද්දී ඇති වෙන බය ගැන නම් කියන්න වචන නැහැ!
    open id කමෙන්ට් කරන්න පුලුවන්ද කියන එක ගැන මම දන්නේ නම් නැහැ! මම හොයල බලන්නම්! :)

    @ my7: ස්තුතියි my7! :) මම වෙන අයගේ කතා ලියලා නම් නැහැ! කමක් නැහැ ඔයා එවන්නකො, බලමු ලියලා සාර්ථක වෙයිද කියලා! :)

    @ Anony: ඔයාගේ කමෙන්ට් එක ස්පෑම් වෙලා නේ! බ්ලොග් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගෙයි!

    ස්තුතියි! ඉතුරු කොටස් ඉක්මනින් දාන්නම්! :)

    ReplyDelete
  6. meka nam ela ituru ekath ikmanata danna..

    ReplyDelete
  7. @ pubudu: අද දානවා තව එකක් :)

    ReplyDelete
  8. වෙනදා වගේම ආසාවෙන් කියෙව්වා. හොල්මන් අවතාර ගැන මම නම් විශ්වාස කරනවා. ඒත් ගෙවල් වලට ගල් ගහන එක නම් මම හිතාගෙන හිටියේ මානසික ගැටලුවක් නිසා පුද්ගලයෙක් විසින් තමා නොදැනුවත්වම කෙරෙන දෙයක් කියලායි. ඒත් ඒක එහෙමම නෙවෙයි කියලා ඇන් හිතෙනවා.

    ReplyDelete
  9. ඇයි ඔයා හොල්මන් ගැනම ලියන්නේ. පුදුමයී.මම නම් බයගුල්ලියෙක් මෙව්වා ගැන කතාකරද්දී.

    ReplyDelete
  10. @ බට්ටි : මේ මගේ ඒක අත්දැකීමක් විතරයි බට්ටි! බ්ලොග් ඒක පටන් ගත්තේ හොල්මන් කතාවකින් නිසා, ඒකට ඇදුනු කථා ඔක්කොම ටික ලියලා දාන්න හදන්නේ... හෙට අනිද්දයින් හොල්මන් සීසන් ඒක ඉවරයි! :)

    ReplyDelete
  11. ගෙදර කෙනෙක්මයි ඔය වැඩ කරන්නේ, අනිවා ඩෙෆා!

    ReplyDelete
  12. හොල්මන් සීසන් එක ඉවර වෙනවට මම නම් කැමති නැහැ. ඒත් ඉතින් ඒක ඔයාගෙ කැමැත්තනෙ නෙලුම්.

    ReplyDelete
  13. @ charitha: නැ! ඉවරයි කිවුවට ඉවරම නැහැ හෙහෙ... මේ මාතෘකාවට අදාලව තව එක සිද්දීයක් ඇරුණම මගේ අත්දැකීම් නම් ඉවරයි චරිත! ඊළගට එන්නේ අද්භූත අනුදැකීම් :)...

    ReplyDelete
  14. නියමයි. මේ blog එක හොල්මන්/අද්භූත Format එකටම තියෙනවානම් මම වඩා කැමතියි. (ඒත් ඒක මගේ පුද්ගලික කැමැත්ත විතරයි.)

    ReplyDelete
  15. @ Charitha: හ්ම්ම් 'සුපර් නැචුරල්'ටොපික් එක යටතේ තමයි, අනුදැකීම් වැඩි පුරම තියෙන්නේ! තියෙන කතා ගොඩේ හැටියට ඒ ටොපික් එක හැමදාමත් සක්‍රියව තියෙයි කියල හිතනවා මම!:)

    ReplyDelete