Saturday, December 17, 2011

හොල්මනක් දැක්කද !?! (09 කොටස )

අහඹුද! අද්භුතද?! 2 කොටස 

අගෝස්තු 25

සැමන්තා කොයි කොයි වෙලෙත් ගෙදර ඉන්න බිය වීම දිගටම සිදු වීම නිසා එයාලගේ ලංකාවේ නිවාඩු කාලය අවසාන කරන්න ලොකු මාමා තීරණය කරලා… ලංකාවට ආවම ඇති උන ප්‍රශ්නේ ලංකාවෙන් ගියාම විසදෙයි කියලා බලාපොරොත්තුවෙන් වෙන්න ඇති...! 

මතිෂ් අයියා [සෑම් ගේ ලොකු අයියා] ඊයේ රෑ ගෙදර එද්දී පාර පැත්තට තියෙන සෑම් ගේ කාමරේ කවුරු හරි ඉන්නවා දැකලා.. එයා කාමරේට ගිහින් බලද්දී කවුරුත් ඉදලා නැති උනත් මොනවා හරි පිච්චුන ගදක් ආවලු සැරට... ටික වේලාවකින්ම ඒ ගද නැතිව ගිහින්...! එත් එදා හවස මම, සෑම් සහ අපේ තවත් යාලුවෝ කීපදෙනෙක් එක්ක අපි ෆිල්ම් එකක් බලන්න ගිහින් හිටියේ... මාමලා dinner out  එකකට ගිහිල්ලා...

ඒ කියන්නේ ගෙදර කවුරුත් ඉදලා නැහැ අයියා එද්දී.. එතකොට එයා දැක්කේ කාවද කාමරේ තිර රෙදි අස්සෙන්...?!? අද උදේ අයියා යාලුවෙක් එක්ක ෆෝන් එකෙන් විස්තරේ කියනකොට තමයි සෑම්ට මේ සිද්දිය ගැන ඇහිලා තියෙන්නේ....    

පිරිත කියවනකන් ලංකාවේ ඉන්නයි කියපු ආච්චි අම්මගේ බලවත් ඉල්ලීම අහක දාපු ලොකු මාමා කිවුවේ, “සැම්ට ගෙදර යන්න ඕනේ වෙලා නිසයි මේ  ඔක්කොම.... මොකද කොල්ලෝ දෙන්නට ඔය බය වෙන ඒවා මුකුත් නැහැනේ... ගෙදර ගියාම ඔවා ඔක්කොම හරි යයි”..! කියලයි… එයාලගේ පිටත් වීමේ දිනය සැප්තැම්බර් දෙවෙනිදාට යොදාගෙන!

පොඩි මාමායි ලොකු මාමායි දෙන්නම එකම බෝට්ටුවේ යි  කියලා ආච්චි අම්මා බනිනවා... “ඇගට එන හැම දෙයක්ම, ‘හිතේ ලෙඩ’ කියා කියා ඉදලා අන්තිමට 'වහ' කන්නයි වෙන්නේ දරුවන්ට මොනවා හරි උනොත්..! … කාසියේත් දෙපැත්තක් තියෙනවා කියලා හිතන්නේ නැහැනේ ටිකක්!.... ‘සියල්ල දත්’ කියලා දෙනාම හිතාගෙන ඉදලා අවසානේ,,…” ඉතුරු ටික නොකියම ආච්චි අම්මා එයාගේ කාමරේට ගියේ ඇහේ කදුලකුත් එක්ක කියලා මට හිතුනා…


අගෝස්තු 26

රන්දිව නේවාසිකව වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ රෝහල් ගත කරන්න පොඩි මාමා ලැස්ති කරලා...! පණිවිඩය ආවේ පොඩි පුංචිගෙන්..! උදේ 09 යි වෙලාව! ආච්චි අම්මයි මමයි ඉක්මනින් ලෑස්ති උනේ මොකද්ද මේ හදිස්සිය කියලා දැන ගන්න රන්දිලගේ ගෙදර යන්නයි... අපි යනකොටත් ඒගොල්ලෝ යන්න ලෑස්ති වෙලත් ඉවරයි... 

“දෙයියනේ මේ මොකද මේ?!” කියාගෙන ගෙට ගිය ආච්චි අම්මා ගේ පස්සෙන් ගෙට ගිය මම දැක්කේ පුටුවකට තියලා බෙඩ් ෂිට් එකකින් ගැට ගහලා ඉන්න රන්දිව! 

බෙල්ල කඩන් වැටිලා වගේ පුටුවේ ඉදන් ඉන්න රන්දි ලගටම වෙලා නැන්දා අඩා අඩා ඉන්දැද්දී.. ආච්චි අම්මා රන්දිගේ ඔලුව අතගාන්න ඔලුවට අත තිබ්බා විතරයි එක පාරටම මහා හයියෙන් කෑගහමින් ගොරවමින් බැමි ලිහාගන්න සතෙක් වගේ දගලන්න ගත්තු රන්දීව, මම දැක්කේ ෆාස්ට් ෆොර්වඩ් කරපු ෆිල්ම් එකක් වගෙයි...! පුදුමය නම් මට හොදටම අහලා පුරුදු සද්දයක් තමයි රන්දිගේ ඒ ගෙරවිල්ල අස්සේ තිබුනේ.. හරියට උගුරේ මොනවා හරි උනාම කටින් එන සද්දේ වගේ... මට හැමදාමත් හිනෙනේ ඇහෙන දැන් අහලම කණට පුරුදු සද්දේ... කිසි වෙනසක් නැහැ ! මේකමයි....! 

මම අහන දකින දේ මටම විශ්වාස නැතිව මම, මාමා දිහා බැලුවා.. මාමා හිස් බැල්මකින් මගේ දිහා බලලා එලියට ගියේ ආච්චි අම්මගෙන් බැනුම් අහමින්… 9.45 ට වගේ ගිලන් රථයකින් පැමිණි, වෛද්‍යවරයෙක් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 4 දෙනෙක්, දගලමින් සිටි රන්දිට එන්නතක් ලබා දීලා සිහිසුන් කරලා වාහනේට දාගත්තේ නැන්දයි මාමායි දෙන්න එයාලගේ වාහනෙන් ගිලන් රථය පිටිපස්සෙන් යන්න ලෑස්ති වෙද්දීයි... 

ආච්චි අම්මට වැඩිය මුහුණ නොදීම, ආච්චි අම්මගේ අතට ගෙදර යතුරු දුන්න මාමා,  "ගිහින් එන්නම් දුව! රන්දිට හොදවෙයි ඉක්මනට!"  කියලා යන්න ගියේ මගේ ඇහැටත් කදුළක් එකතු වෙද්ද්යි!

මාමාලා ගේට්ටුවෙන් නොපෙනී යනකන්ම බලන් ඉදපු ආච්චි අම්මා ලොකු හුස්මක් හෙලමින් ලග තිබුන පුටුවක ඉදගත්තේ ඔලුවේ අත තියා ගනිමින්... එයාට එහෙමම ඉන්න ඇරලා මම ගෙදර දොරවල් ජනෙල් ඔක්කොම හරියට වහලද බලන්න ඇතුලට යද්දී,  ආච්චි අම්මා වතුර එකක් ඉල්ලුවයින්, වතුර එකක් ගෙන්න රන්දිලගේ කුස්සියට යන්න උනා..!

ඒ කුස්සියට යන්න තියෙන්නේ කෑම කාමරේ සහ ගබඩා කාමරේ අතරින් තියෙන පොඩි කොරිඩෝර් එකක් මැදින්! අඩි 5 ක් පමණ පළල ඇති ඒ මදක් අදුරු කොරිඩෝර් එකේ හිතේ භය නිසාම මේ මහා දවාලෙත් ලයිට් දාගෙන යන්න වෙලා තිබුනේ මට...

ලයිට්ස් දා ගත්තු මම හිත එපා කියද්දීම වතුර ගෙන්න අඩි දහයක දුර්ගයක් තරණය කරන්න ලෑස්ති උනේ හිත රවටමින් 'ඔන්න ඔහේ අඩි 10ක් යාගන්න නේ' කියලා හිතලා ලාවට වගේ පපුව ගැහෙද්දි හිතට දහිරිය අරන්... ඒ අඩි 10 දුර, තරණය කරන්න පළවෙනි අඩිය තිබ්බා! 

හංගගෙන හිටියට කොයි තරම් ලොකු බයක් හිතේ තියෙනවද කියලා මට දැනුනේ ඒ වෙලාවෙයි!  පළවෙනි අඩිය තියද්දීම බඩ දගලනවා වගේ දැනෙන්න ගත්තු නිසා, අයෙත් ඒ අඩිය පස්සට ගත්ත මම, හිත එපාම කියද්දී ලොකු හුස්මක් අරන්, පෙනහළු වලට දාගත්තේ මගදී හුස්ම හිරවෙයි කියලා හිතලා නම් නෙවෙයි...! හිමිට මැදක් වෙනකන් ආව මට, එක පාරටම ඇග හිරි වැටීගෙන යනවා වගේ දැනුනේ ලාවට වගේ කනේ වැදුන සිතල හුලන් රැල්ලක් නිසයි..!

"හුළගක් විතරයි... හුළගක් විතරයි" කිය කියා මතුර මතුර, ඉතුරු ටික යන්න ගත්තු මට, එක පාරටම දැනුනේ වචනෙන් විස්තර කරන්න බැරි දැනීමක්! 

ඇගේ බර දෙයක් වැදුනා වගේ හැගීමක් එද්දී... කරකැවිල්ල වගේ දැනිලා ඔක්කොම නිල්, කොළ පාට වේගෙන යද්දීම ආච්චි අම්මා කථා කරන හඩ ගොඩාක් ඈත කොහෙන් හරි පාවෙලා එනවා වගෙ මට ඇහුනා ..! මාව කොහෙද ලෝකෙකට පාවෙලා යනවා වගේත්, කැරකෙනවා වගෙත් දැනිලා ඉවර උනේ මුණට වැටුණු සිතල වතුර බින්දු නිසයි...! මට හොද පැහැදිලි සිහිය එද්දී, මම සාලේ බිම ආච්චි අම්මාගේ උකුලේ ඔලුව තියන් හිටියා! උසකින් වැටුනම වගේ ඇගේ අමාරුවක් එක්ක, අමාරුවෙන් නැගිට ගත්තු මම පුටුවකින් ඉඳගත්තා!

"මොකද්ද උනේ.......?!" කියලා ආච්චි අම්මගෙන් අහන ගමන් මම වෙලාව බැලුවා 10:05 යි ! “මොකක් 10:05 යි!!! මම කොච්චර වෙලා සිහිය නැතිව හිටියද?”  කියලා අහන ගමන් ආච්චි අම්මගේ මුණ බලද්දීයි මම දැක්කේ, එයා හොදටම බය වෙලා ඉන්නවා කියලා... එතකන් ඒ ගැන මට මතකයක් තිබුනේ නැහැ...! “මොකද්ද ළමයෝ උනේ?!! ” ආච්චි අම්මා පෙරළා මගෙන් ඇහුවා!

“උනේ...!?! මට මතක නැහැනේ...! කොරිඩෝර් එක ලගදි සිහි නැති වෙලා හිටියද මම?!... මට එහෙම දැනුන එවෙලේ... එච්චරයි මතක...!” මම කිවුවා… “සිහි නැතිවෙලා හිටියනම් මැදා... සන්නිය හැදිලා වගේ ගැහි ගැහි නේ හිටියේ...! මගේ ප්‍රෙෂර් නැග්ගද මන්ද, මටත් කරකැවිල්ල වගේ ආව එවෙලේ.!” කියලා ඇය අහක බලා ගත්තේ, ඇයි කියලා මට එවෙලේ අහන්න හිතුනත්,මට හිතන්න වෙන දෙයක් තිබුන නිසා, ඒ ගැන අමතක කලා මම එවෙලෙට! 

“මොකද්ද උනේ, කියන්නකෝ මට!”... කියලා නැවතත් කියද්දී … “අපි මෙහෙන් යමු දැන්... ඩ්‍රයිව් කරන්න පුලුවන්ද ඔයාට?!” කියලා ඇහුවේ, මගේ අතින් අල්ලාගෙන ඇදගෙන වගේ එළියට යන ගමනුයි... “බැරිනම් අපි ගැමුණුට එන්න කියමු...!” කියමින් මහා දොර අගුලු දාපු ආච්චි අම්මා, ඒ සැනින් අනිත් පැත්ත හැරිලා ගේට්ටුව ගාවටම මගේ අතින් අල්ලන් එක්කන් ගිහින්, එතන ගහක් යට තියෙන බැංකුවකින් වාඩි උනේ කන්දක් නැග්ගා වගේ මහන්සියකින් කියලයි මට හිතුනේ!

 “මොකද්ද වෙලා තියෙන්නේ... මට පැහැදිළිව කියන්නකෝ මොකද්ද උනේ කියලා ඇතුලෙදි !" කියලා, ආච්චි අම්මා ගාවින් ඉදගත්තු මම ඇහුවා!

මගේ මුණ දිහත් ටිකක් වෙලා බලන් ඉදපු අ.අම්මා "මට මෙහෙ ඉන්න බැහැ! අපි යන්න ඕනේ මෙහෙන් ඉක්මනට! " කියද්දී... හත් දවසකින් නොකාපු මිනිහෙක්ට වගේ තද බඩගින්නක් වගේම ඇගට පණ නැති ගතියක් තිබුනත් හිතට ධෛයිර්ය ගත්තු මම, මගේ ඇගේ අමාරු පැත්තක තියලා "හරි යමු එහෙනම්...!" කියලා එයාවත් නැගිට්ටවා ගෙන, ගෙදර එන්න පිටත් උනා...! 

වචනයක් වත් නොකියා ගෙදරට එනකන්ම කල්පනා ලෝකේක අතරමං උන ආච්චි අම්මා ගෙදරට ආ ක්ෂනෙකින් කෙලින්ම ගියේ බුදු කුටියටයි! ඇය පහනෙන් තෙල් ටිකක් අරගෙන මගේ ඔලුවෙත් ගාලා, ඇගේ ඔලුවෙත් ගා ගත්තේ හොදකට නම් නෙවෙයි  කියලයි මට හිතුනේ...!

ඒ කරලා ආච්චි අම්මා “ඒ ගෙදර ‘හොල්මනක්’ ඉන්නවා ළමයෝ!!!, මම ඇස් දෙකෙන්ම දැක්කා!” කියලා පුටුවකට වැටුනේ පපුව අත ගා ගනිමින්... වෙනත් විකාර හිතන්න කාලය දිය නොකර ආච්චි අම්මව නැගිට්ට ගත්තු මම පුළුවන් තරම් වේගෙන් ගියේ ළගම තිබුන හොස්පිටල් එකකට...! ආච්චි අම්මගේ ප්‍රෙෂර් නැගලා හොදටම! දොස්තර එයාට ප්‍රතිකාර කරනකන්, මම දන්වන්න ඕනේ වැඩිහිටි සියල්ලන්ටම පණිවිඩේ දීලා... පුටුවකට වැටුනේ මොකද්ද මේ වෙන්නේ කියලා ටිකක් හිතන්න වෙලාවක් ගන්නයි!

රන්දිලගේ ගෙදරදී උන දේවල්, නැවත නැවතත් ආවර්ජනය කරමින් හිස් තැන් පුරවගන්න උත්සාහයක යෙදුන මට, යාන්තමට වගේ මතක… අපැහැදිලි දෙයක් එවෙලේ ඔලුවට ආවයින් එක හිස්තැනක් පුරවගන්න පුළුවන් උනා! ඒ නම්, කොරිඩෝර් එක මැදදී... මට ආච්චි අම්මගේ කට හඩ ඇහෙද්දීම වගේ, ඇය එතනට දුවගෙන වගේ ඇවිත්... “මොකද දුවේ......” කියාගෙන මාව අල්ලගත්තා වගේ මගේ මතකේ තියෙනවා!

මාමලා එහෙන් පිටත් වෙද්දී වෙලාව 9:55 ට විතර ඇති! එතකොට තව විනාඩි 10 ක් වගේ වගේ ඇතුලත තමයි මම වතුර ගෙන්න ගිහින් සිහි නැති උනේ....! ඒහෙම බැලුවොත්, විනාඩි පහක් හයක් වගේ  කාලයක් බ්ලැක් අවුට් වෙලා...! ඊට පස්සේ මට මතක් උනේ ආච්චි අම්මා කියපු කතාව “හොල්මනක් දැක්කා!… එක එයාගෙන්ම අහන්න ඕනෙයි කියලා හිතද්දීම වගේ, ලොකු පුංචිලා ආව! ඊට පස්සේ විනාඩි කිහිපයක් ඇතුලත හොස්පිටල් එකෙන් බාගයක් විතර පිරිලා ගියේ අපේ අයගෙන්...!

ආච්චි අම්මව දවස් කිහිපයක් නතර කරන්න කිවුවයින්, මම නවතින්න ලෑස්ති වෙලා මගේ ඇදුම් කිහිපයක් දාගෙන එන්න ගෙදරට ගියේ ලොකු පුංචිගේ, පොඩි පුතා උන පුලස්ති අයියා එක්කයි! ඒ ගමන්ම බල්ලෝ දෙන්නවත් අක්කලාගේ ගෙදරින් දාගෙන ආව මම ආච්චි අම්මා එක්ක හොස්පිටල් එකේ නැවතුනා! 



අගෝස්තු 27

ඊයේ දවසම හරි හමන් නින්දක් නැතිවෙයි  කියලා හිතුනත්... දෙය්යනේ කියලා නින්ද ගියා කාලෙකට පස්සේ…උදේ වෙද්දී ආච්චි අම්මට ටිකක් හොදයි වගේ...! එයාව කථා කරවලා මහන්සි කරන්න හොද නැති නිසාම, උදේට සහ රෑට විතරක් එයාව බලන්න එන්න අපේ කට්ටිය වග බලා ගත්තයින්, රෑ වෙද්දී ආච්චි අම්මට සැහෙන්න ගුණයක් තිබුනා... එයා හොදට කථා කලා ආපු අය එක්කත්...! එත් ආපු එක්කෙනෙක්වත් මමවත්, එකම වතාවක් වත් එයාගෙන් ඇහුවේ නැහැ ඊයේ මොකද්ද උනේ කියලා නම්!

ලෙඩේ හොද උනත් ආච්චි අම්මගේ හිතේ නම්, අදුරු ගතියක් යම් කිසි ප්‍රශ්නයක් තිබුනා කියලා මට දැනුනා... එයා ඇහැරන් ඉන්න කොයි වෙලෙත් ජනේලෙන් එළිය බලාගෙන ඉන්නවා මම කීප වරක්ම දැක්කා... එදා උදේ පොඩි මාමා ආව වෙලේ ආච්චි අම්මා එයාව ලගට අරගෙන හිමිට හිමිට මොනවද කෙදිරුවේ, මට ඇහෙයි කියලා වෙන්න ඇති...!

"අම්මගේ හිතේ තියෙන බය නේ ඔය..." කියමින් නැගිට්ට පොඩි මාමා, මම රෑට එන්නම් අම්මව බලන්න කියාගෙන එළියට ගියේ, තවත් ඒ මාතෘකාව කථා කරන්න තිබුන අකමැත්ත නිසා කියලයි මට හිතුනේ!

ටිකක් වෙලා මාමා වහගෙන ගියපු දොර දිහා බලන් ඉදපු ආච්චි අම්මා, මගේ පැත්ත හැරිලා “දු, ඔයාට ගෙදර ගිහින් එන්න පුලුවන්ද දැන්?!” කියලා ඇහුවේ, වහෙන් ඔරෝ  ‘ඔයා ගෙදර යන්න බයයි ද’ කියලා ඇහුවා වගේ කියලායි මට හිතුනේ...!

“ඔව් පුළුවන්...! ඇයි මොනාද ආච්චි අම්මට ගෙනත් ඕනේ? ” කියලා මම ඇහුවේ ඇද ලගට යමිනුයි… බළලා මල්ලෙන් පැන්නේ දෙවෙනි වටෙදියි... “ඔයාට බය නැහැ නේද, තනියම යන්න ගෙදර....?” …  “ නැහැ නැහැ…! මට කිසි බයක් නැහැ...! කියන්න, මොනාද ඕනේ කියලා...” යි මම කිවුවේ, බයයිද, බයයිද කියලා නිතර අහද්දී අහලකවත් නැති බයක් ඔලුවට එන නිසයි! 

“ඔව්...! මම දන්නවා, ඔයා තමයි මේ පවුලේ ඉන්න නිර්භීතම ළමයා!” විශ්‍රාමික ගුරුවරියක් උන ආච්චි අම්මා දරුවන්ගේ මනස ගැන හොදින් අද්ධ්‍යනය කරපු කෙනෙක් බව මට රහසක් නෙවෙයි! එයා මේ වෙලාවේ, මගේ ආත්ම විශ්වාසයට පොහොර දාන්නේ ඇයි කියන එකත් මට අරුමයක් නෙවෙයි! “ඔව් මමත් දනනවා ඒක!” කියමින් “දැන් කියන්නකෝ මොනාද ගෙන්න ඕනේ ගෙදරින් කියලා" මම ඇහුවේ, තව තවත් කතාව දික්ගස්සලා තේරුමක් නැති නිසායි!

“එහෙනම් හොද දු වගේ, ගෙදර ගිහින් මගේ කාමරේ පොත් රාක්කෙ, උඩම තට්ටුවේ තියෙන දුබුරු පාට ඩයරිය මට ගෙනත් දෙන්න...!”….ආච්චි අම්මා නිතර දෙවේලේ අතේ තියන් ඉන්නවා මම දැකල තියෙනවා ඒ පොත... ඒක සීයා එක එක වැදගත් දේවල් ලියපු ඩයරි එකක්!

“සීයාගේ පොත' නේ? හරි මම ගේන්නම්!.... මම නර්ස්ට කියලා යන්නම් ආච්චි අම්මා තනියමයි ඉන්නේ කියලා! ” කියමින් මම කාමරෙන් එළියට අවේ පුළුවන් තරම් ඉක්මනින් ගෙදර ගිහින් එන්න බලාගෙන!

---------------------------

හොල්මනක් එක්ක ගමනක්! ඊලග කොටසින් කියවන්න...,

නැවත හමු වෙමු !


12 comments:

  1. අම්මෝ........අක්කේ,(මම හිතන්නෙ ඔයා මට වඩා වැඩිමල් ඇති) මම අද වරුවක් තිස්සෙ කලේ ඔයාගෙ බ්ලොග් එක එක කෙලවරක ඉදන් කියවපු එක.මොනව උනත් ඔයාට හොද ලිවීමේ හැකියාවක් තියෙන්ව.මට දැන ගන්න ඔන කරන එකම දෙය ඔයා මේ කොටස් වශයෙන් විස්තර කරමින් අපිව බය කරන සිද්දිය ඇත්ත එකක් ද කියන එකයි.මම දැඩි හිතක් තියෙන විවුර්ත මනසක් තියෙන කොල්ලෙක්.ඔයා මේ කියන කතා වලින් මමත් පොඩ්ඩක් කැලබිලයි ඉන්නෙ.අක්කේ මේ සිද්දිය බොරු එකක් නම් ඔයාට ඒක බ්ලොග් එකේ කියන්න බැරි නම් මගෙ email ලිපිනයට email එකක් දාන්න කියල මන් ඉල්ලා සිටිනවා.dimuthnc@gmail.com

    ReplyDelete
  2. මම නම් මේ කතා විශ්වාස කරනවා. මේක නම් මාරප අත්දැකීමක්. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න

    ReplyDelete
  3. හ්ම්ම් මේක මගේ 'අත්දැකීමක්'! එත් මම ඔයාට කියන්න ඕනේ අත්දැකීමක් කියන්නේ, මම මේ සිද්ධි දැකපු විදිය, මට දැනුනු විදිය...එක ගොඩක් බරපතල විදියට මම දැක්කට, ඔයා මේ සිද්ධි වලට මුණ දුන්නා නම් මෙතරම් බය වෙන්නේ නැහැ කියන එක මට සහතිකයි!සමහර දේවල් වලට මමත් ඒ තරම් බය උනේ නැහැ ඇත්තම කියනවනම්.... එත් කතාව ලියද්දි මගේ හැගීම් ප්‍රකාශ වෙන විදියට, කියවන අයගේ බය වැඩි වෙනවා කියලයි මට හිතෙන්නේ!නිකන් උනත් බය උනොත් එක ඇත්තක් වෙලා පෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ,හිතේ හැටි එහෙම තමයි!අවසාන වශයෙන් මම ඔයාට කියන්නේ, "දැඩි මනසක් කියන්නේ බලකොටුවකටත් වඩා බලවත් දෙයක් සහෝ... එකෙන් රිංගන්න පුළුවන් යකෙක්, භූතයෙක්, පිශාචයෙක්, පෙරේතයෙක් තියා දෙවි කෙනෙක් වත් නැහැ!!!"

    ReplyDelete
  4. @ චරිත: හරි චරිත! :)

    ReplyDelete
  5. බොහොම ස්තුතියි අක්කෙ..මං මේ ලිපි පෙල කියෙව්වෙ ගෙදර කවුරුවත් නැතුව තනියම ඉන්න වෙලාවක.මගේ ඒ වෙලාවෙ මානසික තත්වය තෙරුම් ගන්න පුලුවන් නෙ.කොහොම උනත් ඔය දිගටම ලියාගෙන යන්න.මට මෙකෙ අවසානයට මොකද උනේ කියල දැන ගන්නම ඔනෙ.

    ReplyDelete
  6. @ Dimuth: හරි! ඔයා මේක කියවන්න, කතාවක් විතරයි කියලා හිතාගන්න සහෝ.. මේ වගේ අත්දැකීම් ලැබෙන්නේ නැහැ හැමෝටම... ඒ නිසා බය වෙන්න එපා... අනික මේක අත්දැකපු මම මේ ඉන්නේ යහතින්! මම ගෙදර තනියම ඉන්න දවස් තියෙනවා සැහෙන්න... එත් දැන් හිතේ බයක් නැහැ!

    ReplyDelete
  7. එල එල දිගටම ලියන්න...ආසාවෙන් එක හුස්මට කියෙව්වා...අනික් කොටසුත් ඉක්මනටම දෙන්න...

    ReplyDelete
  8. @ Salinda: හරි! පුළුවන් ඉක්මනට දාන්නම්! :)

    ReplyDelete
  9. dear,oya aththatama pothak liyanna ,oyata pudumaaakara liwime hakiyawak thiyanawa.meka kiyawaddi nawakathawak kiyawanna wage kathawa film ekak wage hithe mawenawa,GREAT.......

    ReplyDelete
  10. @ Anony: තාම නම් එහෙම අදහසක් නැහැ...ඒත් ඉදිරියේදී හිතන්න, මම මතක තියා ගන්නම් ඔයා කියපු දේ!ඔයාට බොහොම ස්තුතියි! :)

    ReplyDelete
  11. sirawata pothak liuwanam maru,,,ano ge idea ekata mama ekagai..math holmanak eka parak dakala thiyana nisa mewa wishwasai jayawewa

    ReplyDelete
  12. @ Pubudu: හිතලා බලන්න ඕනේ ඉදිරියේදී! ස්තුතියි පුබුදු! :)

    ReplyDelete